නිවසේ සිටම අදායම් මාර්ග දියුණු කර ගත හැකි සාර්ථක ව්‍යාපාරයක් ආරම්භ කරන්නේ කෙසේද ? –

1 min read

ගෘහිණියන් වන ඔබ කියවිය යුතුම ලිපියක්.

ගෘහණියක ලෙස කාන්තාව සිය පවුලේ ආදරණීයයන්  රැක බලා ගැනීම උදෙසා බොහෝ කැපකිරීම් සිදු කරනා බව අප දන්නවා.  එලෙස ඔබ   කරන කැප කිරීම් අතර රැකියාවකට නොයා, දරුවන්  සඳහා ආරක්ෂාව සහ ආදරය ලබා දීමට කැප කරන කාලය ප්‍රමුඛත්වයක් ගන්නවා කිවහොත් නිවැරදියි. 

ආදරණීයයන් වෙනුවෙන් කාන්තාවන් වන ඔබ කැප කරන කාලය මුල්‍යමය වශයෙන් ඵලදායී  සහ කාර්යක්ෂම ලෙස භාවිතා  කළ හැකි නම් එය කෙතරම් වටිනවද යන්න ලෙස අයෙකු ප්‍රශ්ණයක් ඇසුවොත්, එයට පිළිතුර නම්, ආර්ථිකමය වශයෙන් අප පසු කරමින් සිටින මෙම අසීරු කාල සීමාව තුළ එය පවුලට ඉතා වටිනාකමක් එකතු කරනවා යන්නයි.   

ගෘහාශ්‍රිත ව්‍යාපාර, එසේත් නැති නම් නිවසේ සිටම සිදු කළ හැකි විවිධ ව්‍යාපාරයන් අද වන විට ගෝලීයව මෙන්ම දේශීය වශයෙන්ද ඉතා ප්‍රචලිතයි. විශේෂයෙන්ම විවිධ වෘත්තීන්වල නිරත කාන්තාවන් අතර මෙම සංකල්පය ඉතා ප්‍රචලිත වනවා. ඒ සිය දරුවන්ට අවශ්‍ය රැකවරණය ලබා දීම අනිවාර්ය කොට සලකමින්, නිවසේ සිටම රැකියාවන් සිදු කිරීමට දැඩි පෙළඹවීමක් වර්තමානයේ ඔවුන් තුළ දක්නට ලැබෙන නිසා. ඔවුන්ට අමතරව නිවසේ සිටින කාන්තාවන්ද සිය පවුලේ අදායම් මාර්ග පුළුල් කළ හැකි ක්‍රමවේදයන් පිළිබඳ විශාල අවධානයකින් පසු වනවා. 

මෙම දැඩි පෙළඹවීම පිටුපස සාධක රැසක් පවතිනවා. අමතර මුදලක් උපයා ගැනීම එහි ප්‍රධාන අරමුණ වුවත්, රැකියාවට යන එන අතරතුර මුහුණදීමට සිදු වන විවිධ සමාජීය ගැටළු, කාලය හා සම්බන්ධ ගැටළු හා වෙනත් දුෂ්කරතා ප්‍රමුඛත්වයක් ගන්නවා. ඒ හේතුවෙන් කාන්තාවන් විසින් සිය මානසික සහනය උදෙසා සහ ආර්ථික වශයෙන් සිය පවුල සවිබල ගැන්වීම අරමුණු කර ගනිමින් මෙලෙස ගෘහාශ්‍රීත ව්‍යාපාරවලට දැඩි ලෙස කැමැත්තක් දක්වනවා. ඔවුනට මේ හරහා මුල්‍යමය අංශයට පමණක් සීමා නොවූ විශාල වාසි ප්‍රමාණයක් ලැබෙනවා.  

නමුත් මෙහිදී අප සියලු දෙනාම අවධානය යොමු කළ යුතු ප්‍රධාන කාරණයක් තිබෙනවා. ව්‍යපාරයක් ආරම්භ කිරීම යනු දිගු කාලීන දැක්මක්, අරමුණක් ඇතුව නිර්මාණය කළ යුතු අභියෝගයන්ගෙන් පිරි, නිමා නොවන චාරිකාවක් වැනිය යන්නයි. අප සරල උදාහරණයක් දෙස බලමු. ඔබ චාරිකාවක් යෑමට කටයුතු සූදානම් කරන අවස්ථාව සිහියට ගන්න. එහිදී  කොහෙද අපි යන්නේ? කවද්ද යන්නේ? කවුද යන්නේ? මොනවද අපි එදාට ඇඳගෙන යන්නේ? මොනවද ගිහින් කන්නේ? කොච්චර මුදලක් අපිට මේකට යනවද? මේ වගේ ප්‍රශ්ණ රැසක් ගැන හිතනවා නේද? අන්න ඒ වගේ තමයි සාර්ථක ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ ක්‍රියාවලියත්. 

කුඩා, මධ්‍යම හෝ මහා පරිමාණ යන මේ ඕනෑම ප්‍රමාණයක ව්‍යාපාරයක් ආරම්භ කිරීමට ප්‍රථම ඕනෑම අයකු විසින් පිළිතුරු සොයා ගත යුතු ප්‍රශ්ණ කිහිපයක් පවතිනවා.  

1. ඔබ ගෘහාශ්‍රිත ව්‍යාපාරයක් ආරම්භ කළද, එසේත් නැති නම් වෙනත් බාහිර ස්ථානයක ව්‍යාපාරයක් ආරම්භ කළද, එහි ප්‍රධාන වත්කම වන්නේ ඔබයි. එම නිසා ඔබ ඔබගෙන්ම ඇසිය යුතු පළමුවන ප්‍රශ්ණය වනුයේ ඔබට සාර්ථක ව්‍යවසායකයකු වීමට අවශ්‍ය ගුණාංග ඔබ තුළ පවතින්නේද යන්නයි. 

ව්‍යවසායකයකු යනු සෑම විටම අවදානම් දරන්නෙක්. ව්‍යපාරයක් ආරම්භ කිරීමත් විශාල අවදානමක්. ආරම්භයේදී සෑම විටම ඔබට සාර්ථකත්වයම ලැබෙන්නේ නැහැ. ඒ වගේම ඔබ සිතන තරම් සොඳුරු ලෝකයක් වෙත නොවේ  ඔබ පියමං කරන්නේ. විශේෂයෙන්ම ව්‍යාපාරයේ මුල් අවදිය තුළදී ඔබට විශාල දුෂ්කරතා සහ ගැටළු රැසකට මුහුණපෑමට සිදු වනවා. ඔබ සිතන ආකාරයෙන්ම සියලු දේ සිදු වන්නේ නැහැ. එම නිසා එවැනි අවදානම් සඳහා මුහුණදීමට ඔබ ශාරීරික සහ මානසික වශයෙන් සූදානම් වීම ඉතා වැදගත්. 

සාර්ථක ව්‍යවසායකයකු වීමට ඔබ තුළ තිබිය යුතු ගුණාංග අටක්  අත්වැල කණ්ඩායම විසින් ගවේෂණය කර සොයාගත්තා.

1. විවිධ ව්‍යාපාර කුසලතා, නිවැරදි ආකල්ප සහ මනා පළපුරුද්ද

2. මනා සෞඛ්‍යය සහ ආතතියට මුහුණදීමේ හැකියාව

3. ආත්ම විශ්වාසය සහ ධනාත්මක චින්තනය

4. පුද්ගල නිපුණතා 

5. දැඩි අධිෂ්ඨානය සහ කැපවීම

6. නවෝත්පාදන උදෙසා ඇති කැමැත්ත හා නිර්මාණශීලීත්වය

7. ජීවන රටාව, සමබර පවුල් ජීවිතය සහ මනා මුදල් පාලනය  

8. යථාර්ථවාදී බව සහ අවදානම් තක්සේරු කිරීමේ හැකියාව 

ඉහත එක් එක් කාණ්ඩය තුළ ඔබගේ වර්තමාන තත්වය පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම උදෙසා අප විසින් ප්‍රකාශ අටක් සකස් කරා. මේ හරහා ඔබට කාණ්ඩ අට සඳහා ප්‍රශ්න 64 පිළිතුරු ලබා දීමට අවස්ථාව හිමි වන අතර ඒ සඳහා ඔබට  “ඔව්” හෝ “නැත” තේරීමෙන් ඉතා පහසුවෙන් පිළිතුරු සැපයිය හැකිය. නිදසුනක් වශයෙන්, ගෘහාශ්‍රිත ව්‍යාපාරයක සාර්ථකත්වයට ඉතා වැදගත් වන ජීවන රටාව කාණ්ඩය යටතේ අපට පහත සඳහන් ප්‍රකාශ තිබේ:

1. මාගේ පවුලේ සියලු දෙනාම මාගේ ව්‍යාපාරික අදහස සඳහා සහයෝගය දක්වනවා, මාව දිරිමත් කරනවා. 

2. මා විසින් මෙම ව්‍යාපාරය සාර්ථක කර ගැනීම උදෙසා දැඩි කැපවීමකින් සහ අධිෂ්ඨානයකින් යුතුව කටයුතු කිරීම මාගේ පවුලේ අය විසින් ප්‍රශංශා කර සිටිනවා. 

3. ඕනෑම ව්‍යාපාරයක් ආරම්භයේදී සැළකිය යුතු ප්‍රමාණයක ආදායමක් හෝ ලාභයක් නොලැබිය හැකිය යන්න පිළිබඳ මාගේ පවුලේ අය දැනුවත්. එම නිසා ඔවුන් මාගේ ව්‍යාපාරයෙන් ස්ථිර අදායමක් බලාපොරොත්තු වන්නේ නැහැ.

4. නිවසේ සියලුම කටයුතු සමග මාගේ ව්‍යපාරය මැනවින් සමබරව කළමණාකරණය කරගැනීමට අවශ්‍ය ශක්තිය මා සතුයි. 

5. මාගේ ව්‍යාපාරයෙන් යම් කිසි අලාභයක් ඇති වුවහොත්, එය දරා ගැනීමට තරම් මාගේ පවුලේ අය ශක්තිමත්. 

6. මාගේ පෞද්ගලික වියදම් සහ පවුලේ අනෙකුත් වියදම් පිළිබඳ මට මනා අවබෝධයක් තිබෙනවා. 

7. මාගේ ව්‍යාපාරය සාර්ථක තත්ත්වයට පත්වන තුරු පවුලේ සාමාන්‍ය කටයුතු සිදු කිරීම උදෙසා අවශ්‍ය මුල්‍යමය ශක්තිය මාගේ පවුලට තිබෙනවා. 

8. මාගේ ව්‍යපාරික අරමුණු, මාගේ ජීවිතයේ අරමුණු හා සමාන වනවා මෙන්ම මා විසින් ජීවිතයේ ළඟා කරගැනීමට අපේක්ෂාවෙන් සිටින අරමුණු ඒ හා බද්ධව පවතිනවා. 

මෙම ප්‍රශ්න සඳහා පිළිතුරු ලබා දුන් පසු ඔබ සිටිනා ස්ථානය පිළිබඳ යම් කිසි අවබෝධයක් ඔබට ලැබේවි.  

මේ ආකාරයෙන් සියලුම ප්‍රශ්න (64) සඳහා පිළිතුරු දුන් පසු, ඔබට වැටහේවි ඔබගේ ශක්තීන් සහ දුර්වලතා මොනවද, ඔබ විසින් දියුණු කර ගත යුතු අංශයන් මොනවද යන්න කියා.  

මෙහි ඇති ප්‍රශ්න කාණ්ඩයන් දිගු විස්තර සහිත ඒවා නොවුනද, මේ හරහා ඔබට සාර්ථක ව්‍යවසායකයකු වීමේ සිහිනය සැබෑ කරගැනීමට විශාල අඩිතාලමක් සපයන බව නොඅනුමානයි. මෙහිදී සෑම ප්‍රශ්නයක් සඳහාම පිළිතුර “ඔව්” යන්න පැවසීමට කිසිදු කෙනෙකුට අවස්ථාව හිමි වේ යැයි අප සිතන්නේ නැහැ. පුද්ගලිකව මේ ප්‍රශ්න 64න් 63කට “ඔව්” කියා කියන්නට මට හැකි වුණා. “නැත” කීවේ කොයි ප්‍රශ්නයටද කියා වෙන දවසක කියන්නම්.

මෙය ඔබගේ සාර්ථකත්වයට ආරම්භයක් පමණයි. මේ හරහා ඔබට ඔබගේ දුර්වලතා හඳුනාගෙන ජයග්‍රහණය කරා යෑමට විශාල අත්වැලක් සපයනවා. සෑම විටම මතක තබාගන්න සාර්ථක ව්‍යවසායකයින් උපතින් බිහි වූ අය නම් නොවෙයි. ඔවුන් මෙවැනිම ගැටළු රාශිකයකට සාර්ථක ලෙස මුහුණ දුන් පිරිසක්.  

ඉතින් ඔබ මේ ලිපිය හරහා ඔබට සාර්ථක ව්‍යවසායකයකු වීමට මුලින්ම අවශ්‍ය පරිසරය සහ ඒ සඳහා වූ ගුණාංග පිළිබඳ අවබෝධයක් ලබාගන්නට ඇති කියා අප සිතනවා.  ඊළඟ සතියේ අපි බලමු නිවැරදි ව්‍යාපාරික අදහසක් තෝරා ගන්නේ කෙසේද කියා.  

කෙමෙන් කෙමෙන් ඔබ මේ ළඟා වන්නේ සාර්ථකත්වය වෙතටයි.  

-නිපුනි-

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Copyright © All rights reserved. | Newsphere by AF themes.