සුනාමියක් සේ රටම කැලඹූ පෑලියගොඩ මාළු පොකුර

1 min read

මාළු කන්න බය වෙන්න එපා; සෞඛ්‍යාරක්ෂිත ක්‍රම අනුගමනය කිරීම වැදගත්

විකුණාගත නොහැකිව මාළු කිලෝ ලක්ෂ ගණනක් ගොඩ ගැහිලා

කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වයිරස් ව්‍යාප්තියේ දෙවන රැල්ල මේ වන විට මෙරට සාමාන්‍ය ජන ජීවිතය හා සමස්ත ආර්ථිකයම සමතලා කර දැමූ දැවැන්ත සුනාමියක් සේ මෙරටට කඩා වැදී හමාරය. මිනුවන්ගොඩ බ්‍රැන්ඩෙක්ස් ඇඟලුම් කර්මාන්ත ශාලාව කේන්ද්‍ර කර ගනිමින් විශාල කොවිඩ් පොකුරක් නිර්මාණය කළ මේ ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් නිසා මේ වන විටද මෙරට සෞඛ්‍ය අංශ වෙත පාලනය කර ගැනීමට අසීරු වූ තවත් දැවැන්ත කොවිඩ් පොකුරක් පෑලියගොඩ මත්ස්‍ය වෙළෙදපොළ කේන්ද්‍ර කර ගනිමින්ද ව්‍යාප්ත වීම සිදු වෙමින් තිබේ. සැබවින්ම මේ අලුත් කොවිඩ් පොකුරු නිර්මාණය වීම හා ඒවා තවදුරටත් ව්‍යාප්ත වීම සිදු වීම නිසා ඉතා සාර්ථක ලෙස කොවිඩ් පළමු රැල්ල පාලනය කළ අප රටට දැන් දැන් උදාවෙමින් ඇත්තේ කොවිඩ්-19 වසංගතයේ අසීරුතම අවදියයි.

බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුරට වඩා වැඩි වේගයකින් පෑලියගොඩ මාළු වෙළෙඳපොළේ කොරෝනා පොකුර ව්‍යාප්ත වීමත් සමඟ මේ වන විට දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකින්ම පාහේ කොවිඩ් 19 නව කොරෝනා රෝගීන් වාර්තා වෙමින් තිබීම ඉතා අවාසනාවන්ත තත්ත්වයකි. මේ සටහන ලියන මොහොත වන විටද මෙරට සමස්ථ කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව දස දහසේ සීමාවට ආසන්න වී තිබුණු අතර සෞඛ්‍ය අංශ මගින් අනාවැකි පළ කර තිබුණේ රෝගය පැතිරයමින් තිබුණු ස්වභාවය අනුව ඉදිරි සතිය වන විට එම සංඛ්‍යාවට තවත් සැළකිය යුතු රෝගීන් පිරිසක් නිසැකවම එකතු වීම සිදු වනු ඇති බවයි. පසුගිය අඟහරුවාදා දිනයේදී පමණක් මෙරටින් නව කොරෝනා මරණ තුනක් වාර්තා වූ අතර එම දිනය වන විට මෙරටින් වාර්තා වූ සමස්ථ කොවිඩ් මරණ ප්‍රමාණය 19ක් දක්වා ඉහළ යාමෙන්ද මෙවර මේ කොවිඩ් දෙවැනි රැල්ල අප රටේ සෞඛ්‍ය පද්ධතියටද එල්ල කළ බලපෑම කොතෙක්ද යන්න පැහැදිලිවම විද්‍යමාන කරවයි. තත්ත්වය පාලනය කර ගැනීම සදහා දිවයිනේ පොලිස් බල ප්‍රදේශ 486 අතරින් පොලිස් බල ප්‍රදේශ 67 නිරෝධායන ඇඳිරි නීතිය පවා ක්‍රියාත්මක කළ අතර මේ වන විට සමස්ථ බස්නාහිර පළාතටම එකී නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමටද රජය පියවර ගෙන තිබේ.

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙදපොළ ආශ්‍රිතව නිර්මාණය වූ දැවැන්ත කොවිඩ් පොකුරත් සමග ජනතාව මාළු පරිභෝජනය සදහාද බියවී ඇති බව පෙනී යයි.මේ වන විට පෑලියගොඩද ඇතුළුව ප්‍රධාන පෙළේ මාළු වෙළෙඳපොලවල් රැසක්ම වසා දමා ඇත. මාළු පරිභෝජනයට ජනතාව තුළ හට ගෙන ඇති බිය නිසාම සුපිරි වෙළඳසැල්වල පවා පිහිටි මාළු වෙළෙඳසැල් රැසක්ම වසා දැමීමටද පියවර ගැණුනි.රට පුරා විසිරී සිටින බොහෝ මාළු වෙළෙදුන් පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයෙන් මාළු මිලදී ගෙන අලෙවි කරන බව දන්නා නිසාම මාළු මිලදී ගෙන ඒවා පරිභෝජනය සදහා ජනතාව තුළ ඇති වී තිබෙන මේ බිය දෙගුණ,තෙගුණ වී තිබේ.

මිනුවන්ගොඩ බ්‍රැන්ඩෙක්ස් කොව්ඩ් පොකුරේ වපසරිය විශාලව ගොස් පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය කේන්ද්‍ර කර ගනිමින් මේ වන විට මුළු රටටම තර්ජනයක් වී ඇති මේ නව කොවිඩ් පොකුර නිර්මාණය වන විට මෙරට පිහිටි ධීවර වරාය 20න් එක් දිනකට මාළු කිලෝ 300,000ත් 400,000ත් අතර ප්‍රමාණයක් ජනතාවගේ පරිභෝජනය සඳහා දිනපතා මුදා හැර තිබුණු බව කියවේ. මීට අමතරව පෑලියගොඩ මත්ස්‍ය සංකීර්ණයෙන් පමණක් දිනකට මාළු කිලෝ 400,000ක් පමණ අලෙවි වූ බවද මාධ්‍ය වාර්තා රැසකම සඳහන් වී තිබුණි.

දිනෙන් දින උග්‍ර වන මේ කොරෝනා වයිරස් ව්‍යාප්තිය නිසා දැනට රටතුළ ඇති වී තිබෙන වාතාවරණය හමුවේ දිවයින පුරා ප්‍රධාන ධීවර වරායන් රැසක්ම මේ වන විට අකර්මණ්‍ය වී ගොස් ඇත. පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළ සමග සෘජු සබදතා පැවැත්වූ ගාල්ල,බේරුවල සහ වාලච්චේන යන ධීවර වරායන් ආරක්ෂිත පියවරක් ලෙස වහා වසා දැමුණු අතර ඈත දියඹ සිට මත්ස්‍ය අස්වැන්න සමඟ එම ප්‍රධාන ධීවර වරායන් වෙත පැමිණ තිබූ ට්‍රෝලර් යාත්‍රා රැසක තිබෙන මාළු කිලෝ තුන් ලක්ෂ පනස් දහසක්(350,000) පමණ ගොඩබෑමට නොහැකි තත්ත්වයක්ද නිර්මාණය කර තිබීමෙන් කොරෝනා දෙවන රැල්ල මෙරට මත්ස්‍ය වෙළෙදාම සඳහා දැනට කර ඇති බලපෑම කොතෙක් දැයි මැනවින් කියා පායි. මේ නිසා ධීවර කර්මාන්තය ආශ්‍රිතව සිය ජීවන මාර්ගය සපුරා ගත් ධීවරයින් දහස් සංඛ්‍යාත පිරිසකට මේ වන විටත් සිය ආදායම් මාර්ග අහිමි වී ගොස් තිබීමද බරපතළ ඛේදවාචකයකි. ගාල්ල,බේරුවල සහ වාලච්චේන යන ධීවර වරායන් වලට අමතරව හික්කඩුව, මිරිස්ස, තංගල්ල, මීගමුව සහ දෙවුන්දර ධීවර වරායන් වලද මේ ආකාරයෙන් මාළු කිලෝ ලක්ෂ ගණනක් ගොඩ ගැසී ඇති බවටද වාර්තා පළ විය.

කෙසේ වුවත් පවතින කොවිඩ් 19 නව කොරෝනා වයිරස් ව්‍යාප්තිය හේතුවෙන් ගැටලු රැසකට මුහුණ දී සිටින ශ්‍රී ලංකාවේ ප්‍රධානතම කර්මාන්තයක් ලෙස පිළිගැනෙන ධීවර කර්මාන්තය බිඳ නොවැටී පවත්වා ගෙන යාම සදහා සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩිනමින් සැකසීමටද මේ වන විටත් සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන ඇති අතර කොරෝනා නිසා බරපතල ගැටළු රැසකට මුහුණ දී සිටින මෙරට ප්‍රධානතම කර්මාන්තයක් ලෙස පිළිගැනෙන මෙකී ධීවර කර්මාන්තය බිද නොවැටී පවත්වා ගෙන යාම සඳහා අවශ්‍ය සියලුම ක්‍රියාමාර්ග අප්‍රමාදව ක්‍රියාත්මක කරන්නැයි අතිගරු ජනාධිපතිතුමා හා ගරු අග්‍රාමාත්‍යතුමන් විසින් ධීවර, සෞඛ්‍ය හා ආරක්ෂක අංශ නියෝජනය කරන සියලුම බලධාරීන් වෙත මේ වන විටත් අවශ්‍ය සියලු උපදෙස් හා නියෝග ලබා දී ඇත.

ඒ අනුව ධීවර ප්‍රජාව පීඩාවට හා අසීරුවට ලක් කරමින් මේ වන විටත් දිවයිනේ සියළු ධීවර වරායන් හී ගොඩ ගැසී තිබෙන මාළු තොග මිලදී ගැනීමේ ක්‍රමවත් වැඩපිළිවෙලක්ද රජය මඟින් දැනටමත් ආරම්භ කර තිබීම පැසසිය යුතු වේ. ධීවර සංස්ථාව, ටින් මාළු කාර්මාන්ත ශාලා හා පුද්ගලික ආයතන ඒකාබද්ධව මෙම මිලදී ගැනීම් සිදු කරන අතර සෞඛ්‍ය හා නිරෝධායන නීතිරීතිවලට අනුකුලව එලෙස මත්ස්‍ය අස්වැන්න මිලදී ගැනීමේ කටයුත්ත ධීවර සංස්ථාව විසින් පසුගිය 26 වැනි දින ගාල්ල ධීවර වරායේදී ආරම්භ කරන ලදී. මෙහිදී කොරෝනා තර්ජන මැද සියලු ධීවර වරායන්හි දැනට ගොඩ ගැසී ඇති මත්ස්‍ය අස්වැන්න ධීවර ප්‍රජාව කිසිසේත් අධෛර්ය නොවන පරිදි ඉතාම සාධාරණ මිල ගණන් වලට මිලදී ගන්නා ලෙසට ධීවර අමාත්‍යවරයාද උපදෙස් ලබා දී ඇත. මේ වන විට ධීවර වරායන් පහක මාළු කිලෝ ලක්ෂ විසි එකක් ගබඩා කර ඇති අතර මෙම මාළු ධීවර සංස්ථාව මඟින් මිලදී ගෙන කරවල වෙළෙඳාමට සහ ටින් මාළු නිෂ්පාදනයටත් අලෙවි කිරීම සඳහාත් යොදා ගන්නා බව ධීවර අමාත්‍යාංශය පවසයි.මීට අමතරව ජනතාවට අවශ්‍යය මාළු සියළුම ධීවර අලෙවිසැල් මඟින් සෞඛ්‍යාරත්ෂිතව ලබා ගැනීමේ පහසුකම්ද සළසා ඇති බවද අමාත්‍යාංශය දැනුම් දෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Copyright © All rights reserved. | Newsphere by AF themes.