අධික ලෙස තෙල් සහිත ආහාර අනුභව කිරීම නිසා හෘද රෝග, අධික තරබාරු ගතිය, අංශභාගය වැනි රෝග වැළඳීමට වැඩි ඉඩකඩක් පවතින බැවින් බොහෝ දෙනෙක් තෙල් සහිත ආහාර අනුභව කිරීමට බියක් දක්වනවා. නමුත් එදිනෙදා ආහාර වේල් සඳහා අවශ්‍ය පමණට තෙල් එකතු කර ගැනීමට වග බලා ගත්තොත් එවැනි අනවශ්‍ය බියක් ඇති කර ගත යුතු වන්නේ නෑ. නිවැරදි ආහාර රටාවක් අනුගමනය කරන පුද්ගලයෙකුට සාමාන්‍යයෙන් දිනකට අවශ්‍ය වෙන්නේ තෙල් මේස හැඳි 3 – 5 ක් අතර ප්‍රමාණයක් පමණයි.
වෙළඳපොලේ ඇති, අප ආහාරයට ගන්නා තෙල් වර්ග අතර සෞඛ්‍යයට හිතකර මෙන්ම අහිතකර තෙල් වර්ගද අඩංගුයි. ඒ අතර සුරියකාන්ත තෙල්, කැනෝලා තෙල්, තල තෙල්, ඉරිඟු තෙල්, ඔලිව් තෙල් වැනි තෙල් වර්ග සෞඛ්‍යයට අහිතකර නොවන තෙල් වර්ග වශයෙන් හඳුන්වන්න පුළුවන්. නමුත් පාම් තෙල් සහ මාගරින් ආහාරය සඳහා ඒ තරම් සුදුසු තෙල් වර්ග ලෙස හැඳින්වීමේ හැකියාවක් නැහැ. කිසියම් අවස්ථාවක ඔබට පාම් තෙල් හෝ මාගරින් භාවිතා කිරීමට අවශ්‍ය වුවහොත් ඒ වෙනුවට පොල් තෙල් භාවිතා කිරීම ඊට වඩා සුදුසුයි. මක් නිසාද එම තෙල් වර්ග දෙකට වඩා පොල් තෙල් ශරීරයට හිතකරයි.

ඒ වගේම ඔබ තවත් හොඳින් මතක තබා ගත යුතු කරුණක් තමයි ආහාර ගැඹුරු තෙල් වල බැදීම ඉතාම අහිතකර බව. විශේෂයෙන්ම කළු දුම පිටවන තෙක් තෙල් රත් කිරීම තවත් අහිතකරයි. එවැනි අවස්ථා වල තෙල් වල සංයුතිය වෙනස් වීම තුලින් එය ආහාරයට ගැනීම සඳහා අහිතකර තත්වයකට පත් වෙනවා. මේ නිසා භාජනයකට තෙල් දැමීමට පෙර එයට වතුර ස්වල්පයක් දමා ඊට පසු තෙල් දැමීම වඩාත් සුදුසුයි. එසේ කිරීමෙන් අධික ලෙස තෙල් රත් වීමක් සිදු වෙන්නේ නැහැ. ඒ වගේම ඉහත කිසිඳු තෙල් වර්ගයක් ගැඹුරු තෙලේ බැදීම සඳහා සුදුසු නොවන අතර අවශ්‍යම නම් ඒ සඳහා පොල් තෙල් භාවිතා කල හැකියි.
උපුටා ගැනීම: wellnessexpert


