ආතරයිටීස් රෝගයේදී සිදු වන්නේ සන්ධි වලට ආබාධ ඇති වීමයි. ආතරයිටීස් රෝගයේ ලක්‍ෂණ ලෙස සන්ධි වේදනාව, නම්‍යශීලීත්වය ගිලිහී යැම, සන්ධි ඉදිමුම සහ චලනයේ දැඩි අපහසුව පෙන්වා දිය හැකියි. ආතරයිටීස් රෝගය ඕනෑම වයසකදී ඇති වෙන්න පුළුවන්. අවුරුදු 30 පසු කල බහුතරයක් දෙනාට මෙය වැළඳීමේ අවදානමක් පවතිනවා. ආතරයිටීස් රෝගයේ ප්‍රභේද 100කට අධික ප්‍රමාණයක් තිබෙනවා.
ආතරයිටීස් රෝගියෙකු තම ආහාර රටාව ගැන විශේෂයෙන් සැලකිලිමත් විය යුතුයි. සිරුරේ බර සහ ආතරයිටීස් රෝගය අතර පැහැදිලි සම්බන්ධයක් පවතී. සිරුරේ බර වැඩි වන තරමට සන්ධි වලට ඇති වන පීඩනය වැඩි වෙනවා. උකුළ, දණහිස්, වළලුකර වැනි සිරුරේ බර දරන අස්ථින් සිරුරේ බර වැඩි වීමේදී වැඩි පීඩනයකට ලක් වේ.
යමෙකු ඇවිදින විට ඔහුගේ සිරුරේ බර මෙන් හය ගුණයක පීඩනයක් දණහිසට එල්ල වන බව කියවෙනවා. ඉතින් ඔබේ සිරුරේ බර සුළු ප්‍රමාණයකින් අඩු වුවත් එහි ප්‍රතිඵලය ලැබෙන්නේ කිහිප ගුණයකින්.
සිරුරේ බර වැඩි, ස්ථුලතාවයෙන් පෙලෙන පුද්ගලයෙකු හට ආතරයිටිස් රෝගය වැළඳීමේ අවදානම, සාමාන්‍ය බරකින් යුතු පුද්ගලයෙකුට සාපේක්ෂව පස් ගුණයකින් වැඩිය.
ආතරයිටීස් රෝගයෙන් පීඩා විඳින්නෙකු ආහාර ගත යුතු ආකාරය
– සමතුලිත ආහාර වේලක් ලබා ගන්න.
– අහිතකර මේදය සහිත ආහාර ලබා ගැනීමෙන් වළකින්න. ඒ වෙනුවට හිතකර මේදය ලබා ගන්න.
– මස් වලට සාපේක්ෂව මාළු ආහාරයට ගැනීම වැඩි කරන්න. මාළු සහ මස් යන දෙවර්ගයෙන්ම සිරුරට ප්‍රෝටීන් සහ යකඩ ලැබෙනවා. නමුත් මස් වල අඩංගු මේද ප්‍රමාණය මාළු වල අඩංගු මේද ප්‍රමාණයට සාපේක්ෂව වැඩියි. මේ නිසා වැඩිපුර මාළු ආහාරයට ගැනීම සුදුසුයි. ඒ වගේම මාළු වැඩිපුර ආහාරයට ගැනීමෙන් ආතරයිටිස් තත්වය අඩු කර ගත හැකි බවත් සනාථ වී තිබෙනවා.
– එළවලු සහ පලතුරු වැඩිපුර ආහාරයට ගන්න. එමඟින් සිරුරේ බර අඩු කර ගත හැකියි. අනවශ්‍ය මේද කොටස් සිරුරෙන් බැහැර කිරීමට තන්තු උපකාරී වෙනවා.
– පිෂ්ටය අඩංගු ආහාර හැකි තාක් සීමා කරන්න.
– බටර් ආහාරයට ගැනීම සීමා කරන්න.
– පැණි රස ආහාර ලබා ගැනීම සීමා කරන්න.
– ශීතකරණයේ තැබූ ආහාර නැවත රත් කර ආහාරයට ගැනීම සීමා කරන්න. බහුතරයක් දෙනා මේ පුරුද්දට හුරු වෙලා ඉන්නේ කාර්යබහුලත්වය නිසයි. නමුත් මෙහිදී ආහාර වල නිපදවෙන සිරුරට අහිතකර සංයෝග සන්ධි වල ගැටළු ඇති කිරීම කෙරෙහි බලපානවා.
පිරිමින්ට සාපේක්ෂව කාන්තාවන්ට ආතරයිටිස් රෝගය වැළඳීමේ අවදානම වැඩියි. මේ නිසා කාන්තාවන් තම ආහාර රටාව ගැන විශේෂයෙන් සැලකිලිමත් විය යුතුයි. ශ්‍රී ලාංකික ගෘහණියන් බොහෝ දෙනෙක් නිවැරදි ලෙස ආහාර ගන්නේ නැහැ. සමහර කාන්තාවන් ආහාර ලබා ගන්නේ ඉතුරු වුනොත් විතරයි. තවත් සමහර කාන්තාවන් සැමියාට සහ දරුවන්ට ව්‍යංජන වැඩිපුර ලබා දී, ඇය විසින් වැඩිපුර බත් ආහාරයට ගන්නවා. තවත් සමහර ගෘහණියන් ඉතිරි වන ආහාර විසි කරන්න බැහැ කියලා පමණට වඩා ආහාර ලබා ගන්නවා.
උපුටා ගැනීම : Wellnessexpert


