in

ආයුර්වේදයේ එන ඉඟුරු වල ඖෂධීය ගුණ විමසා බලමු

විද්‍යාත්මකව Zingiber officinale ලෙස හඳුන්වන ඉඟුරු, ආයුර්වේදයේ සහ නවීන ශාකසාර වෛද්‍ය විද්‍යාවේ එන ඉතා ප්‍රචලිත ඖෂධ පැළෑටියකි. ශතවර්ෂ ගණනාවක් තිස්සේ ආයුර්වේද වෛද්‍යවරුන් විසින් විවිධ රෝගාබාධ සඳහා ඉඟුරු ඖෂධයක් ලෙස භාවිතා කර ඇත. අද වන විට, නවීන පර්යේෂණ මගින් ඉඟුරු ඖෂධීය වශයෙන් ප්‍රබල සංයෝගයක් බවට වන පැරණි ප්‍රඥාව තවදුරටත් තහවුරු කරමින් පවතියි.

සාම්ප්‍රදායික ප්‍රඥාව නවීන විද්‍යාව සමඟ ඒකාබද්ධ කරන BetterLife.lk හි අපි, සෑම මුළුතැන්ගෙයකම තිබිය යුතු ඉඟුරු වල ඖෂධීය ගුණ පිලිබඳ මෙම ලිපිය තුලින් ගවේෂණය කරමු.

ඉඟුරු: කාලය විසින් ඔප්පු කරන ලද විවිධ රෝග සඳහා පිළියමකි

ආයුර්වේදයේ ඉඟුරු පහත පරිදි වර්ගීකරණය කර ඇත:

  • දීපනී – ආහාර රුචිය වැඩි දියුණු කරයි
  • පාචන – ආහාර ජීර්ණයට උපකාරී වෙයි
  • ශෝථහරා – ඉදිමීම අඩු කරයි
  • ජ්වරඝ්න – උණ සමනය කරයි
  • කාසහරා – කැස්ස සමනය කරයි
  • ස්වර්‍ය – කටහඬ පැහැදිලි කරයි
  • හෘද්‍යා – හෘද සෞඛ්‍යයට සහාය වේ

සාම්ප්‍රදායිකව, අජීර්ණය, ඇදුම, රක්තහීනතාවය, තෙහෙට්ටුව, සන්ධි වේදනාව, කැස්ස, අක්මා ආබාධ, සහ දියවැඩියාව හා ආතරයිටිස් වැනි නිදන්ගත තත්වයන් ඇතුළු සෞඛ්‍ය තත්ව 50කට අධික ප්‍රමාණයක් සඳහා ඉඟුරු භාවිතා කරයි.

නවීන විද්‍යාව පවසන ඉඟුරුවල ගුණ

1. ප්‍රතිවෛරස් ගුණ

නවීන අධ්‍යයනවලින් හෙළි වන්නේ ඉඟුරුවලට පහත සඳහන් වෛරස් ආසාදනවලට එරෙහිව සටන් කළ හැකි බවයි:

  • ශ්වසන වෛරස් (උදා: RSV සහ ඉන්ෆ්ලුවෙන්සා A)
  • හෙපටයිටිස් සී වෛරසය
  • නොරෝ වයිරස් සහ හර්පීස් සිම්ප්ලෙක්ස් වෛරසය

එය ඉන්ටර්ෆෙරෝන් නිෂ්පාදනය වැඩි කිරීම, වෛරස් ප්‍රජනනය අඩු කිරීම සහ ශ්ලේෂ්මල පටලවල ප්‍රතිශක්තිය වැඩි කිරීම මගින් ප්‍රතිවෛරස ලෙස ක්‍රියා කරයි – මෙම ගුණය සෙම්ප්‍රතිශ්‍යාව, කැස්ස සහ උණ සඳහා ආයුර්වේදයේ භාවිතයට ගැනෙයි.

2. විකිරණ ආරක්ෂණයක් ලෙස ක්‍රියා කිරීම

ඉඟුරු වල ඇති zingerone සහ dehydrogingerone වැනි ප්‍රතිඔක්සිකාරක සංයෝග සාමාන්‍ය සෛල විකිරණ-ප්‍රේරිත හානිවලින් ආරක්ෂා කරයි. එම නිසා ඉඟුරු විකිරණ ප්‍රතිකාර නිසා ඇතිවන ශාරීරික දුර්වලතා මැඩලීම සඳහා නිර්දේශ කරයි. විකිරණ චිකිත්සාවෙන් පසු සුවය ලැබීම සඳහා ඉඟුරු භාවිතයට ගත හැකිය.

3. ප්‍රති ප්‍රදාහක ලෙස ක්‍රියා කරයි(Anti Inflammatory)

ඉඟුරු පහත ආකාරවලින් ප්‍රදාහක ප්‍රතිචාරවලට එරෙහිව සටන් කරයි:

  • TNF-α සහ IL-1β නිෂේධනය කිරීම
  • ප්‍රොස්ටැග්ලැන්ඩින් සහ ලියුකොට්‍රීන් සංස්ලේෂණය අඩු කිරීම

මෙය රුමැටොයිඩ් ආතරයිටිස් (ආමවාතය), රක්තවාතය, ආර්තව වේදනාව සහ ව්‍යායාමයෙන් පසු මාංශ පේශි යථා තත්ත්වයට පත් කිරීම සඳහා ආයුර්වේදයේ භාවිතයට ගැනෙයි.

4. පිළිකා නාශක ලෙස ක්‍රියා කිරීම

6-gingerol, 6-shogaol, zerumbone වැනි ජෛව ක්‍රියාකාරී සංයෝග පිළිකා නාශක ක්‍රියාකාරිත්වයක් පෙන්නුම් කරයි:

  • මහා බඩවැල්, අක්මා, ඩිම්බ කෝෂ, පියයුරු සහ පුරස්ථි ග්‍රන්ථි පිළිකා මර්දනය කිරීමට හා ඇති වීම වැලැක්වීමට ඉඟුරුවලට හැකියාව ඇත
  • මෙම සංයෝග පිළිකා සෛලවල ඇපොප්ටෝසිස් (ස්වාභාවික සෛල මරණය) ප්‍රවර්ධනය කරයි

5. ප්‍රතිඔක්සිකාරක සහ ස්නායු ආරක්ෂණ බලපෑම්

ඉඟුරු නිදහස් රැඩිකල් අංශු ලෙස හඳුන්වන හානිකර රසායන ශරිරයෙන් ඉවත් කරන අතර ශරීරයේ ප්‍රතිඔක්සිකාරක එන්සයිම වැඩි දියුණු කරයි, එනම්:

  • ග්ලූටතයෝන් පෙරොක්සිඩේස්
  • සුපර්ඔක්සයිඩ් ඩිස්මියුටේස් යනාදී එන්සයිමයි

එය පාකින්සන් රෝගය, වකුගඩු අකර්මණ්‍ය වීම සහ අක්මාවට හානි වීම වැනි තත්වයන් සඳහා ප්‍රතිකාරයක් වන අතර, ක්ෂය වීම සහ පරිවෘත්තීය ආබාධ නිසා ඇතිවන රෝග සඳහා ආයුර්වේද භාවිතයට ගැලපේ.

ඉඟුරු වල ක්‍රියාකාරී සංයෝග

ඉඟුරු වල විද්‍යාත්මකව තහවුරු කරන ලද ප්‍රධාන සංයෝග සමහරක් පහතින් දැක්වේ:

  • 6-ජින්ජරෝල් (6-Gingerol)
  • 6-ෂෝගෝල් (6-Shogaol)
  • සින්ජරෝන් (Zingerone)
  • සෙරම්බෝන් (Zerumbone)

මෙම සංයෝග ඉඟුරු වල පුළුල් පරාසයක ඖෂධීය ක්‍රියාකාරකම් සඳහා උපකාරී වේ.

ඉඟුරු ආහාරයට එක් කර ගත හැක්කේ කෙසේද?

ඉඟුරු පහත ආකාරවලට සකසා භාවිතයට ගත හැකිය.

  • නැවුම් ඉඟුරු
  • වියළි ඉඟුරු
  • ඉඟුරු තේ
  • ඉඟුරු පේස්ට්/තෙල්

පූර්වාරක්ෂාව: අධික ලෙස භාවිතා කිරීම නුසුදුසු අතර වැඩිදුර උපදෙස් සඳහා ඔබේ ආයුර්වේද වෛද්‍යවරයා හමුවන්න.

අවසාන අදහස්

ඉඟුරු යනු හුදෙක් කුළුබඩුවක් නොවේ – එය පුරාණ ආයුර්වේද ප්‍රඥාවෙන් සහ නවීන විද්‍යාත්මක පර්යේෂණවලින් අනුග්‍රහය ලබන ස්වභාවික ඖෂධයකි. එහි බහුවිධ ප්‍රතිලාභ නිසා රෝග නිවාරණයට, සෞඛ්‍ය ප්‍රවර්ධනයට සහ සමබරතාවය යථා තත්ත්වයට පත් කිරීමට හැකි හොඳම ඖෂධ පැළෑටිවලින් එකක් බවට අද වන විට පත් වී ඇත.

ඔබේ සෞඛ්‍ය තවදුරටත් ඉහල නංවා ගැනීමට ඉඟුරු ඔබේ දෛනික ආහාරවලට ඇතුළත් කර ගැනීම ඔබට පහසුවෙන් කල හැකිය.

උපුටා ගැනීම: betterlife.lk

What do you think?

Written by Mic

වානේ තරමට ම ශක්තිමත් ‘සුපර්වුඩ්’ දැව

දුම්බර මායිමේ කඳු අතර සැඟවුණු පුරාණ ගම: හීල්ඔය