සාමාන්‍යයෙන් කුරුලු කූඩුවක් කිව්වම අපිට මතක් වෙන්නේ එක කුරුලු පවුලකට ඉන්න හදපු පුංචි කැදැල්ලක්නේ. හැබැයි අප්‍රිකාවේ කලහාරි (Kalahari) කාන්තාරය වගේ වියළි ප්‍රදේශවල ජීවත් වෙන “සෝෂබල් වීවර්” (Sociable weaver) කියන කුඩා කුරුලු විශේෂය කූඩු හදන්නේ අපි හිතනවාට වඩා සම්පූර්ණයෙන්ම වෙනස්, පුදුමසහගත විදිහකටයි.
මේ කුරුල්ලෝ තනි තනිව කූඩු හදනවා වෙනුවට, ලොකු ගස් උඩ හරි විදුලි කණු උඩ හරි පිදුරු ගොඩක් වගේ පෙනෙන දැවැන්ත කැදැල්ලක් එකතුවෙලා නිර්මාණය කරනවා. මේක හරියට සත්ව ලෝකයේ තට්ටු නිවාස සංකීර්ණයක් වගේ! මේ එක යෝධ කැදැල්ලක කුරුලු පවුල් 100කට විතර, ඒ කියන්නේ කුරුල්ලන් 300ත් 500ත් අතර ප්‍රමාණයකට එකට ජීවත් වෙන්න පුළුවන්. වියළි තණකොළ සහ කෝටු කෑලි එකතු කරලා හදන මේ කැදැල්ල ඇතුළට යන්න වෙන වෙනම උමං මාර්ග පවා තියෙනවා. මේ අපූරු කැදලි පරම්පරා ගාණක් පුරාවට කුරුල්ලන් විසින් අලුත්වැඩියා කරමින් පාවිච්චි කරනවා.
මේකේ තියෙන පුදුමසහගතම දේ තමයි මේ කැදැල්ලේ තියෙන ස්වභාවික වායුසමීකරණ (Air conditioning) පද්ධතිය. කාන්තාරයේ තියෙන දරුණු කාලගුණයට මුහුණ දෙන්න මේ කැදැල්ල අපූරුවට හැඩගැහිලා තියෙනවා. දවල් කාලයේ තියෙන අධික රස්නයෙන් බේරෙන්න, මේ කැදැල්ල ඇතුළේ උෂ්ණත්වය පිටතට වඩා සෙල්සියස් අංශක 13කින් (13°C) විතර අඩුවෙන් පවත්වා ගන්නවා. ඒ වගේම රෑට තියෙන අධික සීතලෙන් බේරෙන්න කුරුල්ලන්ගේ ශරීර උෂ්ණත්වය කැදැල්ල ඇතුළේ රඳවාගන්නත් මේ අපූරු නිර්මාණයට පුළුවන්.
උපුටා ගැනීම :Beyond Imagination – නොසිතූ ලොවක්


