in

ගංවතුරෙන් වැළඳිය හැකි ලෙඩ රෝග

ගංවතුර ආපදාවක් කියන්නේ මහා ජනතාවගේ සෞඛ්‍යයට බරපතල තර්ජනයක් වන තත්වයක්. මෙමඟින් විවිධ වර්ගයේ රෝග වැළඳීමේ අවදානම වැඩි වෙනවා. මෙම රෝග ප්‍රධාන වශයෙන් කාණ්ඩ තුනකට බෙදිය හැකියි.

ජලයෙන් බෝවන රෝග

කොලරාව 

ගංවතුර කාලවලදී පැතිර යන භයානක රෝගයකි. අපිරිසිඳු ජලය පානය කිරීමෙන් මෙය වැළඳෙන අතර, පාචනය, වමනය ඇති වීමෙන් විජලනය හට ගෙන ජීවිතයට තර්ජනයක් ඇති විය හැකිය. කොලරාව ඉතා වේගයෙන් පැතිරෙන රෝගයකි.

ටයිපොයිඩ් උණ 

අපිරිසිඳු ජලය සහ ආහාර හරහා බෝවේ. මෙහි රෝග ලක්ෂණ අතර උණ, හිසරදය, ආමාශ ගැටලු ආදිය ඇතුළත් වේ. නිසි ප්‍රතිකාර නොලැබුණහොත් මාරාන්තික විය හැකිය.

හෙපටයිටිස් A සහ E 

විෂබීජ මගින් අක්මාව ආසාදනය වන රෝග වන අතර, අපිරිසිඳු ජලය හරහා පැතිරේ. වමනය, උණ සහ ඇස් කහ වීම මෙහි ප්‍රධාන රෝග ලක්ෂණ වේ.

අතීසාරය 

ගංවතුර කාලයේ ඇති වන රෝගයකි. අපිරිසිඳු ජලය හා ආහාර නිසා බැක්ටීරියා, විෂබීජ හෝ පරපෝෂිතයන් බඩවැල්වලට ඇතුළු වන අතර, පාචනය, වමනය සහ උදර වේදනාව ඇති වෙනවා.

මී උණ

 මෙය මීයන්ගේ මුත්‍රා මගින් අපිරිසිඳු වූ ජලය හරහා මිනිසුන්ට බෝවේ. තුවාල වැනි සමේ බාහිර විවරයන්ගෙන් මෙම බැක්ටීරියා ශරීරයට ඇතුළු වන අතර, උණ, මාංශ පේශි වේදනාව, හිසරදය වැනි අපහසුකම් මතු වේ. වකුගඩු හා අක්මාව ආශ්‍රිත ගැටලු ඇති වේ.

මදුරුවන් මගින් බෝවන රෝග

ඩෙංගු උණ 

ගංවතුරෙන් පසු ඉතිරි වූ ජලයේ මදුරුවන් බෝ වීම නිසා ඩෙංගු රෝගය ඇති විය හැකිය. අධික උණ, අධික සන්ධි වේදනාව, හිසරදය සහ රක්තපාතය ඇතිවිය හැකිය.

මැලේරියාව 

මදුරු දෂ්ටනය මගින් බෝවන මෙම රෝගය ගංවතුරෙන් පසු පසු මදුරුවන්ගේ බෝවීම වැඩි වී, විවිධ ප්‍රදේශවල පැතිරෙන්නට පුළුවන්.

Japanese Encephalitis 

මදුරුවන් නිසා මොළය ආශ්‍රිතව ඇති වන  රෝගයකි.

සමේ සහ ඇස්වල ඇති වන රෝග

දිලීර ආසාදන 

තෙතමනය සහ අපිරිසිඳු ජලය සමේ තැවරීම නිසා සමේ දිලීර ආසාදන ඇති වෙනවා. සමේ කැසීම, රතු පැහැ ගැන්ම සහ දැවිල්ල ඇති වෙනවා. විශේෂයෙන් අත්-පා අතර, ඇඟිලි අතර සහ තෙතමනය රැඳී පවතින ශරීර කොටස්වල මෙම ආසාදන මතු වේ. ප්‍රතිකාර නොකළහොත් ආසාදනය ගැඹුරට පැතිරී යා හැකියි.  ඒ නිසා ඔබ අපිරිසිඳු වතුරට නිරාවරණය වුවහොත් ශරීරය සෝදා ගන්න. තෙත් ඇඳුම් වහාම ගලවා වියළි ඇඳුම් වලට මාරු වෙන්න. සම වියලිව තබා ගන්න.

ඇස්වල ආසාදන 

අපිරිසිඳු ජලය ඇස්වලට යාමෙන් ඇස් රතු වීම, කඳුළු ගැලීම, ආලෝකයට සංවේදී වීම සහ වේදනාව ඇති වෙනවා. මෙය සිදු වන්නේ සෘජුවම අප්රිසිඳු ජලය දෙනෙත් වලට යාමෙන් පමණක් නොවේ. අපිරිසිඳු ජලය ඇල්ලු අතින් දෙනෙත් ස්පර්ශ කිරීමෙනුත් මේ අවදානම මතු වෙනවා. ප්‍රතිකාර නොකළහොත් පෙනීම දුර්වල වන තරමේ බරපතල ආසාදනයක් දක්වා වර්ධනය වීමට ඉඩ තිබෙනවා.

ශ්වසන පද්ධතිය  ආශ්‍රිත රෝග

තෙතමනය සහ සීතල පරිසරය නිසා නියුමෝනියාව, උණ, සෙම්ප්‍රතිශ්‍යාව වැනි ශ්වසන ආසාදන වැඩි වෙනවා.

ගංවතුරෙන් වැළඳිය හැකි රෝග වළක්වා ගැනීම සඳහා ප්‍රධාන වශයෙන් අනුගමනය කළ යුතු ක්‍රම කිහිපයක් තිබෙනවා. පිරිසිදු ජලය පමණක් පානය කිරීම, ජලය උනු කර හෝ පිරිපහදු කර පානය කිරීම කළ යුතුයි. සබන් යොදා අත් නිතර සේදීම මඟින් රෝග බෝවීම වැළැක්වා ගත යුතුයි. අපිරිසිඳු ජලයට නිරාවරණය වීමෙන් හැකි තරම් වළකින්න. ආහාර වල සනීපාරක්ෂාව පිළිබඳව සැලකිලිමත් වන්න. හොඳින් පිසූ ආහාර පමණක් ගන්න. මදුරුවන් පාලනය කිරීම සඳහා මදුරු දැල් සහ විකර්ෂක ද්‍රව්‍ය භාවිතා කරන්න.

උපුටා ගැනීම: wellnessexpert

What do you think?

Written by Mic

එලොව ගිහින් මෙලොව ආ සහෝදරියෝ

එදිනෙදා සිදු විය හැකි පුංචි පුංචි අනතුරු වලදී හැකි ප්‍රතිකර්ම