in

ගංවතුර තත්ත්වයත් සමඟ මතුවිය හැකි බෝවන රෝග පැතිරීමේ අවදානම

ගංවතුර උවදුරෙන් අනතුරුව, රක්ත අතීසාරය (ලේ අතීසාරය), පාචනය හා මී උණ (ලෙප්ටොස්පයිරෝසිස්) වැනි වසංගත රෝග ව්‍යාප්තවීමේ අවදානමක් ඇති බවට වෛද්‍යවරුන් අනතුරු අඟවයි.

ලේ අතීසාරය, පාචනය, මී උණ වැනි රෝග සාමාන්‍යයෙන් පැතිරීම සිදුවන්නේ ජලය මූලික කරගෙනය. රෝග ගත් විට එම රෝගකාරක ක්ෂුද්‍රජීවීන් නිරෝගී පුද්ගලයකුගේ සිරැරට මුඛය හරහා ඇතුළු වන අතර අපිරිසුදු ආහාර ගැනීමෙන්, අපිරිසුදු ජලය බීමට ගැනීමෙන්, මැස්සන් වැනි කෘමීන් හරහා සහ අපිරිසුදු දෑත් නිසා මෙසේ ඇතුළු විය හැක.
ගංවතුර පවතින ප්‍රදේශවල ජල මට්ටම ඉහළ යාමත් සමඟම එම ප්‍රදේශවල වැසිකිළි වළවල් ඉතිරීමෙන් හා පසෙහි පවතින කුණු කසළ සේදීයාමෙන් ළිං වැනි ජල මූලාශ්‍ර අපවිත්‍ර වීමේ අවදානමක් පවතින නිසා හැකිතාක් එම ජලය පරිභෝජනය කිරීමෙන් වැළකී සිටින ලෙසයි මෙහිදී ජනතාව දැනුම්වත් කර ඇත්තේ. අපිරිසුදු ජලයට බැසීම නිසා චර්ම රෝගද හටගත හැකි බැවින් ඒ සම්බන්ධයෙන්ද ජනතාව අවධානය යොමුකළ යුතු බව වෛද්‍ය මතයයි.
පාචනයේදී සිදුවන්නේ සාමාන්‍ය ප්‍රමාණයට වඩා ජලය සහිත දියාරැ මළ දිනකට දෙවතාවකට වඩා හෝ කෙනකුට සාමාන්‍යයෙන් පුරුදු වාර ගණනට වඩා වැඩි වාර ගණනක් පිටවීමකි. බොහෝ රෝගීන්ට මෙම තත්ත්වය දින දෙක තුනක් පැවතී නැවතී යයි. පාචනය නිසා විජලනය වැනි රෝග අවස්ථාවන් ඇතිවිය හැකි අතර ලේ සහ සීදම් සහිත මළ පිටවේ නම් එය දරුණු තත්ත්වයකි. මෙය හැඳින්වෙන්නේ ලේ අතීසාරය ලෙසයි. මෙම රෝග තත්ත්වයන්වලදී දියාරු මළ පිටවීමට අමතරව වමනය, බඩේ කැක්කුම, උණ වැනි රෝග තත්ත්වයන්ද හටගත හැක. පාචනය ඇතිකිරීමේ රෝගකාරක බොහොමයක්ම ඇති අතර ශ්‍රී ලංකාවේ වඩාත් බහුල වන්නේ වෛරස් ආසාදනයකි. ඊට අමතරව ඊ.කෝලයි, සැල්මොනෙල්ලා වැනි බැක්ටීරියාවන් මගින්ද, එන්ටැමීබා වැනි ප්‍රෝටසෝවන් හා කස පණුවන් මගින් ද පාචනය ඇතිවේ. මෙම රෝගකාරක විෂබීජ සහ ඔවුන් පිටකරන විෂ ද්‍රව්‍ය හේතුවෙන් අන්ත්‍රවල ඇතුළු බිත්තියට හානි සිදුවේ. එමගින් ජලය හා ලවණ විශාල ප්‍රමාණයක් මළ සමඟ පිටවීම හරහා විජලනයට මඟ පාදයි.
ගංවතුර පවතින ප්‍රදේශවල මෙවැනි රෝගකාරක ව්‍යාප්තිය සීග්‍රයෙන් සිදුවිය හැකි අතර ආහාරපාන හා පානීය ජලය හරහා ඒවා ශරීරගතවීමේ හැකියාව ඇත. එම ප්‍රදේශ මුළුමනින්ම පිරිසුදු කර ළිං වැනි ජල මූලාශ්‍ර ද ජලය ඉස පිරිසුදු කර පරිභෝජනයට සුදුසු ආකාරයෙන් පිළියෙළ කරගන්නා තුරු ඒවා භාවිත නොකළ යුතු බවට වෛද්‍යවරුන් සඳහන් කරන්නේ මෙහි අවදානමක් පවතින නිසාය.

What do you think?

Written by Author

එදිනෙදා ජීවිතයේදී මුදල් ඉතිරි කිරීමට සරල ක්‍රම

මොකක්ද මේ ” සෙල්ෆ් ලව් ” කියන්නේ ….අද කතා කරමු ඒ ගැන …