රුධිරයේ සීනි මට්ටම පාලනය කිරීම සහ සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවකට අනුගත වීම අපහසුයි කියලා නිරෝගී අය හිතන්න පෙළඹෙනවා. හැබැයි දියවැඩියා රෝගයට ගොදුරු වූ කෙනෙක් ඊට වඩා වැඩි පීඩාවකට ගොදුරු වෙනවා. විශේෂයෙන්ම විවිධ හේතු නිසා ඔවුන්ගේ මානසික පීඩනය ඉහල යනවා.
රෝගය වැළඳීමට තමන්ගේ වැරදි පුරුදු හේතු බව දන්නා නිසා ඇති වන වරදකාරි හැඟීම මානසික ආතතිය සහ කාංසාව සිට මානසික අවපීඩනය දක්වා හේතුකාරකයක් වෙනවා. දියවැඩියාව ඇති පුද්ගලයින් බොහෝ විට චිත්තවේගීය ගැටළු රැසකට මුහුණ දෙනවා. රුධිරයේ සීනි නිරීක්ෂණය සඳහා නිරන්තර පරීක්ෂාවන්ට ගොදුරු වීමට සිදු වීම, සුපුරුදු ජීවන රටාව වෙනස් කිරීමට සිදු වීම, ඇති විය හැකි සංකූලතා පිළිබඳ බියක් ඇති වීම, ඖෂධ ලබා ගැනීමට සිදු වීම, තමන්ටම සීමාවන් පනවා ගැනීමට සිදු වීම, සමාජය සහ සමීප සබන්ධතා දියවැඩියා රෝගය කෙරෙහි දක්වන සෘණාත්මක ප්‍රතිචාර වැනි හදිසි වෙනස්කම් නිසාත් ඔවුන්ගේ මානසික ආතතිය ඉහල යනවා.
මේ සඳහා විසඳුම්
- දියවැඩියා රෝගීන් දිරිගැන්වීමට සමත් වන, සහයෝගය දක්වන පිරිසක් සමඟ රෝගියා එකතු විය යුතුය. එවැනි කණ්ඩායම් සමාජ මාධ්‍යය හරහා සොයා ගත හැකි වනු ඇත.
- පවුලේ අය, මිතුරන් දියවැඩියා රෝගය සහ රෝගියාගේ මානසික තත්වය ගැන දැනුම ලබා ගැනීම තවත් විසඳුමකි. රෝගියාගේ වෛද්‍යවරයා විසින් පවුලේ අයව දැනුවත් කිරීම වැදගත් වේ.
- සෞඛ්‍ය සේවා වෘත්තිකයන් හෝ චිකිත්සකයින් වැනි විශ්වාසවන්ත පුද්ගලයන් සමඟ රෝගියා සිය හැඟීම් අවංකව බෙදා ගත යුතුය. වෛද්‍යවරයෙකු සමඟ විවෘතව සන්නිවේදනයේ යෙදීමෙන් චිත්තවේගීය බර අඩු කර ගැනීමට හැකි වනු ඇත.
- ආතති කළමනාකරණ ශිල්පීය ක්‍රම අනුගමනය කිරීමට පෙළඹිය යුතුය. මනස ලිහිල් කරන අභ්‍යාස වල නියැලීම, ගැඹුරින් හුස්ම ගැනීම, භාවනා කිරීම හෝ ප්‍රීතිය සහ විවේකය ගෙන දෙන විනෝදාංශ සහ ක්‍රියාකාරකම් වල නිරත වන්න.
- දියවැඩියා කළමනාකරණය කරන ක්‍රියාවලියේදී ඉටු කර ගත හැකි යථාර්ථවාදී ඉලක්ක ස්ථාපිත කරන්න. සුළු ප්‍රමාණයකින් බර අඩු කර ගැනීම, සුළු ප්‍රමාණයකින් රුධිරගත සීනි ප්‍රමාණය අඩු කර ගැනීම වැනි ඉලක්ක ඇති කරගෙන ඒවා ඉටු කර ගන්න. කුඩා ඉලක්ක ජය ගත් විට ඒවා ගැන සතුටු වෙමින් සමරන්න. එය මානසික තත්වය යහපත් අතට හැරෙන්න හේතුවක් වනු ඇත.
- නිතිපතා ව්‍යායාම කිරීම, සෞඛ්‍ය සම්පන්න ආහාර ගැනීම, ප්‍රමාණවත් නින්දක් සහ විවේකයක් ලබා ගැනීම වැනි ස්වයං රැකවරණ පිළිවෙත් වල නිරත වන්න.
- දියවැඩියා රෝගය සහ ඉන් ඇති විය හැකි මානසික බලපෑම් ගැන රෝගියා විසින් අධ්‍යනය කිරීම තවත් විසඳුමකි. එමඟින් දැනුවත්භාවය වැඩි වන අතර මානසික කඩා වැටීමකදී කල යුතු දේ ගැනද දැනුවත් වේ.
උපුටා ගැනීම : Wellnessexpert


