අද අපේ කතාබහට මාතෘකාව වෙන්නේ ප්‍රකට පුරාවිද්‍යාඥ ආචාර්ය පී. ඊ. පී. දැරණියගල මහතා විසින් ඇඳි ඉතා සුවිශේෂී සිතුවමක්. ඒ තමයි “බලංගොඩ මානවයාගේ” ආහාර පරිභෝජනය සහ ජීවන රටාව දැක්වෙන මේ රූප සටහන. මෙය හුදෙක් චිත්‍රයක් නෙවෙයි, එය අපේ අතීතය අපට කියවා දෙන විවෘත පොතක්.
මුලින්ම අපි මේ චරිතය හඳුනාගෙන ඉමු. “බලංගොඩ මානවයා” කියන්නේ විද්‍යාත්මකව Homo sapiens balangodensis ලෙස හඳුන්වන ශ්‍රී ලංකාවට ආවේණික වූ ප්‍රාග් ඓතිහාසික මානවයාටයි. මධ්‍ය ශිලා යුගයට අයත් මොවුන් ඉතාමත් ශක්තිමත් දේහයකින් සහ දියුණු බුද්ධියකින් සමන්විත වුණා. බලංගොඩ බෙලි ලෙන, කුරුවිට බටදොඹ ලෙන, සහ පාහියන්ගල වැනි ලෙන් ආශ්‍රිතව මොවුන්ගේ සාක්ෂි බහුලව හමුවෙනවා. මේ මානවයා හුදෙක් දඩයක්කාරයෙක් විතරක් නෙවෙයි. ඔහු සොබාදහම සමඟ ඉතාමත් මැනවින් බද්ධ වුණු ලාංකිකයෙක්.
අද මෙනුව ‘තලගොයා’ ද?
සිතුවම දෙස හොඳින් බලන්න. බලංගොඩ මානවයා අසල එල්ලා තිබෙන්නේ දඩයම් කරගත් තලගොයෙක්. අද කාලේ වගේ සුපිරි වෙළඳසැල් නැති ඒ කාලේ, ප්‍රධාන ප්‍රෝටීන් ප්‍රභවය වුණේ වනාන්තරයේ වෙසෙන සතුන්. පුරාවිද්‍යා කැණීම්වලදී හමුවුණු සත්ව ඇටකටු සාක්ෂි අනුව බලංගොඩ මානවයාගේ ආහාර වේලට මේ සතුන් නිතර එකතු වුණා,
තලගොයා සහ ඉබ්බා: මේ සතුන් අල්ලා ගැනීම සාපේක්ෂව පහසු වන්නට ඇති.
මී මින්නා සහ දඬු ලේනා: ඉතාමත් ප්‍රණීත ආහාර ලෙස ඔවුන් මේ කුඩා සතුන් සලකන්නට ඇති බව පෙනෙනවා.
වල් ඌරා සහ ගෝනා: විශාල දඩයම් සඳහා ඔවුන් කණ්ඩායම් වශයෙන් දඩයමේ ගියා.
වඳුරා: ලාංකීය ප්‍රාග් ඓතිහාසික මානවයාගේ ආහාර වේලේ ප්‍රධාන තැනක් වඳුරු මස් වලට හිමිවුණු බව කැණීම් වලින් තහවුරු වී තිබෙනවා.
සිතුවමේ පහළ කොටස දෙස බලන්න. එහි විවිධ වර්ගයේ බෙල්ලන් සහ ගොළුබෙල්ලන් දක්නට ලැබෙනවා. මෙය ඉතාමත් වැදගත් කරුණක්. බලංගොඩ මානවයා හුදෙක් මස් පාරිභෝජනය කරන්නෙක් පමණක් නෙවෙයි. ඔවුන් ගංගා සහ ඇළ දොළ වලින් හමුවන මිරිදිය බෙල්ලන් ආහාරයට ගැනීමට දැඩි රුචිකත්වයක් දක්වා තිබෙනවා. බොහෝ ලෙන් වලින් ටොන් ගණනින් ගොළුබෙලි කටු හමුවීමෙන් පැහැදිලි වෙන්නේ, දඩයමක් සොයා ගැනීමට අපහසු කාලවලදී හෝ අතිරේක පෝෂණයක් ලෙස ඔවුන් මේවා භාවිතා කළ බවයි.
සිතුවමේ සිටින මානවයා අත ඇත්තේ තියුණු ගල් ආයුධයක්. බලංගොඩ මානවයා ජ්‍යාමිතික ක්ෂුද්‍ර ශිලා මෙවලම් නිපදවීමේ ලා ලෝකයේම ප්‍රමුඛස්ථානයක් ගන්නවා. ඔවුන් ක්වාර්ට්ස් සහ තිරිවානා ගල් පතුරු ගසා ඉතාමත් තියුණු ලෙස සකස් කරගත් ආයුධ මස් කැපීමට, සතුන්ගේ හම් ඉවත් කිරීමට සහ පෑහීමට භාවිතා කළා. අද අපේ මුළුතැන්ගෙයි තියෙන ස්ටේන්ලස් ස්ටීල් පිහි වලට වඩා, මේ ගල් මෙවලම් කාර්යක්ෂමව භාවිතා කරන්න ඔවුන් දැන සිටියා.
අතුරුපස?
සිතුවමේ සෘජුවම නොපෙනුණත්, ඔවුන්ගේ ආහාර සංස්කෘතියේ තවත් ප්‍රධාන අංගයක් වුණේ වල් අල සහ පළතුරුයි. කටු අල, හිඟුරල වැනි දේවල් ඔවුන් හාරා ගෙන පුලුස්සා ආහාරයට ගත්තා. එමෙන්ම වන මී පැණි ඔවුන්ගේ ප්‍රියතම ආහාරයක් වන්නට ඇති බවට විශ්වාස කෙරෙනවා. මෙයින් පෙනී යන්නේ ඔවුන් “සමබර ආහාර වේලක්” ගැන අද අපිටත් වඩා හොඳින් දැන සිටි බව නොවේද?
ඔවුන්ගේ දත් සහ ඇටකටු පරීක්ෂා කළ විද්‍යාඥයන් පවසන්නේ බලංගොඩ මානවයා ඉතාමත් නිරෝගී, ශක්තිමත් දත් දෙපළක් හිමි අය බව. සීනි සහ පිරිපහදු කළ ආහාර නැති ඔවුන්ගේ ආහාර රටාව ඊට ප්‍රධාන හේතුවයි. සිතුවමේ මානවයා අසල තිබෙන ගල් මතුවන්නේ ඔහු ගින්දර භාවිතා කිරීමට හුරු වී සිටි බවයි. ඔවුන් ආහාර අමුවෙන් වගේම පුලුස්සා ආහාරයට ගැනීමටත් හුරු වී සිටියා. ගින්දර කියන්නේ ඔවුන්ට ආරක්ෂාව වගේම ආහාර රසවත් කරගන්නා මාධ්‍යයක් ද වුණා.
කලින් කී ලෙස මෙම සිතුවම ආචාර්ය පී. ඊ. පී. දැරණියගල මහතා, ඔහු විසින් සිදුකළ පුරාවිද්‍යා පර්යේෂණ ඇසුරින් නිර්මාණය කරන ලද්දක්. ආචාර්ය දැරණියගල යනු ශ්‍රී ලංකාවෙන් බිහිවූ අසහාය සත්ත්ව විද්‍යාඥයෙක් මෙන්ම ලොව පිළිගත් පුරාවිද්‍යාඥයෙක්. ඔහු ලාංකීය ඉතිහාසය සහ ප්‍රාග් ඓතිහාසික යුගය පිළිබඳව අප සතු දැනුම පෝෂණය කිරීමට කළ මෙහෙය මිල කළ නොහැකියි. ඔහුගේ ජීවිතය සහ සේවය පිළිබඳව වැදගත් කරුණු කිහිපයක් මෙසේ පෙළගැස්විය හැකියි.
ඔහු උපත ලැබුවේ 1900 වසරේදී වන අතර ශ්‍රී ලංකාවේ ප්‍රකට ඉතිහාසඥයෙකු වූ සර් පෝල් ඊ. පීරිස් මහතාගේ පුත්‍රයාය. කේම්බ්‍රිජ් සහ හාවඩ් වැනි ලොව සුපිරි විශ්වවිද්‍යාල වලින් අධ්‍යාපනය ලැබූ ඔහු, සත්ත්ව විද්‍යාව සහ මානව විද්‍යාව පිළිබඳ මහා ප්‍රාඥයෙක් විය. ඔහු 1939 සිට 1963 දක්වා, කෞතුකාගාරයේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළේය. ඔහුගේ පාලන කාලය තුළ කෞතුකාගාරය හුදෙක් ප්‍රදර්ශන භාණ්ඩ තබන තැනක් නොව, පර්යේෂණ මධ්‍යස්ථානයක් බවට පත් විය. ඔහුගේ විශිෂ්ටතම සොයා ගැනීම ලෙස සැලකෙන්නේ, මෙම බලංගොඩ මානවයා පිළිබඳ පර්යේෂණයි. ඔහු පර්යේෂකයෙකු පමණක් නොව දක්ෂ චිත්‍ර ශිල්පියෙකි.
අප මේ කතා කරන බලංගොඩ මානවයාගේ සිතුවම වැනි නිර්මාණ හරහා, වියුක්ත විද්‍යාත්මක කරුණු සාමාන්‍ය ජනයාට තේරුම් ගත හැකි අයුරින් දෘශ්‍යමාන කිරීමට ඔහුට අපූර්ව හැකියාවක් තිබුණි. ආචාර්ය දැරණියගල නොසිටින්නට ලංකාවේ ප්‍රාග් ඓතිහාසික යුගය සහ වඳ වී ගිය සත්ත්ව විශේෂ පිළිබඳ බොහෝ තොරතුරු අදටත් වැළලී තිබෙන්නට ඉඩ තිබුණි. ඔහු ලියා තැබූ “Sessional Papers” සහ පර්යේෂණ ග්‍රන්ථ අදටත් පුරාවිද්‍යා සිසුන්ට අත්පොතක් වැනිය.
ලංකාවට “සිංහල” සහ “සිංහ ද්වීපය” යන නම ලැබුණේ සිංහයන් සිටි නිසාද? යන විවාදයට විද්‍යාත්මක පිළිතුරක් ලැබුණේ දැරණියගල මහතා ගෙනි. ඔහු විසින් කුරුවිට ඒකනායක පතලෙන් සොයාගත් සිංහ දත් සහ හකු අස්ථි මගින් මීට වසර දහස් ගණනකට පෙර ලංකාවේ සැබෑ සිංහයන් ජීවත් වූ බව තහවුරු විය. මොවුන් ඉන්දියාවේ වෙසෙන සිංහයන්ට වඩා තරමක් වෙනස්, ලංකාවටම ආවේණික උප විශේෂයක් ලෙස ඔහු නම් කළා.
හෙළ රයිනොසිරස්?
අද අපිට රයිනොසිරස් පෙනෙන්නට ලැබෙන්නේ අප්‍රිකාවේ හෝ ඉන්දියාවේ වුවත්, අතීත හෙළ දෙරණේ රයිනොසිරස් විශේෂ දෙකක් ජීවත් වූ බව දැරණියගල මහතා සොයාගත්තා. මෙම විශේෂය ද ලංකාවේ තෙත් කලාපීය වනාන්තරවල සැරිසැරූ බවට සාක්ෂි හමුවුණා.
ලාංකීය හිපපොටේමස්?
ලංකාවේ ගංගා නිම්නවල හිපපොටේමස්ලා සිටියා යැයි කීවොත් අද කෙනෙකුට පුදුමයක් විය හැකියි. නමුත් දැරණියගල මහතා රත්නපුර ප්‍රදේශයෙන් හිපපොටේමස්ගේ දත් සහ අස්ථි කොටස් සොයාගත්තා. හැබැයි මොවුන් සාමාන්‍ය හිපපොටේමස්ලාට වඩා ප්‍රමාණයෙන් කුඩා, මඩ වගුරු වලට හුරු වූ සතුන් පිරිසක් බව සොයාගෙන තිබෙනවා.
අද අප දකින අලින්ට වඩා වෙනස්, “රත්නපුර අලියා” ලෙස හඳුන්වන වඳවී ගිය අලි විශේෂ පිළිබඳවත් ඔහු පර්යේෂණ කළා. මොවුන්ගේ දත්වල ව්‍යුහය අද සිටින අලින්ට වඩා තරමක් වෙනස් බව ඔහු පෙන්වා දුන්නා. අතීත ලංකාවේ ජීවත් වූ ගව විශේෂ පිළිබඳව ද ඔහු ෆොසිල සාක්ෂි ඉදිරිපත් කළා. මොවුන් අද සිටින ගවයන්ට වඩා විශාල සහ ශක්තිමත් අං තට්ටු වලින් යුක්ත වූ බව ඔහුගේ පර්යේෂණ පත්‍රිකාවල සඳහන් වෙනවා.
ඔහු මේවා සොයාගත්තේ කොහොමද?
ඒක තමයි වැදගත්ම ප්‍රශ්නය. දැරණියගල මහතා වැඩිපුරම පර්යේෂණ කළේ රත්නපුර ඇලුවියල් තැන්පතු (Gem pits) ආශ්‍රිතව. මැණික් ගැරීම සඳහා පතල් කපන විට අඩි 20-40ක් පොළොව යටින් හමුවන මෙම අස්ථි කොටස්, සාමාන්‍ය මිනිසුන් ඉවත දැමුවත් ඔහු ඒවායේ විද්‍යාත්මක අගය වටහාගත්තා. ඔහු මෙම සොයාගැනීම් හරහා ලෝකයට පෙන්නුම් කළේ ලංකාව කියන්නේ කලකට පෙර ඉන්දියාව සමඟ සම්බන්ධ වී තිබූ ඉතාමත් විවිධාංගීකරණය වූ දැවැන්ත සතුන්ගෙන් ගහණ වූ භූමියක් බව.
මේ සතුන් වඳවී යන්නට හේතුව දේශගුණික විපර්යාස ද එසේත් නැතිනම් මානව ක්‍රියාකාරකම් ද යන්න ගැන අදටත් විද්‍යාඥයන් අතර විවාද පවතිනවා. බලංගොඩ මානවයාගේ මේ සිතුවම දෙස බලන විට අපට හැඟෙන දෙයක් තිබෙනවා. ඔවුන් සතුව තිබුණේ “අවම සම්පත් වලින් උපරිම ජීවිතයක්” ගත කිරීමේ කලාව බව!
සොබාදහම විනාශ නොකර, තමන්ට අවශ්‍ය දේ පමණක් සොබාදහමෙන් ලබාගෙන, ඔවුන් වසර දහස් ගණනක් මේ පොළොවේ ජීවත් වුණා. අද අපි අධිපාරිභෝජනවාදී ලෝකයක ජීවත් වෙමින් සෞඛ්‍ය ගැටලු රැසකට මුහුණ දෙනවා. බලංගොඩ මානවයාගේ ස්වභාවික ආහාර රටාව සහ සක්‍රිය ජීවන රටාව අපට නිහඬව පවසන්නේ “සරල බව තුළ නිරෝගීකම ඇති” බවයි.
බටහිටවාදී අධ්‍යාපනයක් ලැබූ අපි බොහෝ විට ඉතිහාසය දෙස බලන්නේ “දියුණු” අප “නොදියුණු” අතීතය දෙස බලන දෘෂ්ටියකිනුයි. නමුත් ආචාර්ය පී. ඊ. පී. දැරණියගලගේ සිතුවමේ සිටින ඒ බලංගොඩ මානවයාගේ දෑස් දෙස, මොහොතක් බලා සිටින්න. එහි ඇත්තේ හුදු දඩයක්කාරයෙකුගේ රළු බවක්ද, නැතිනම් සමස්ත විශ්වය සමඟම ඇති නිහඬ බැඳීමක්ද?
අද්වෛත වේදාන්තයේ මූලික ඉගැන්වීම වන්නේ “දෙකක් නැත” යන්නයි. මා සහ මට පරිබාහිර ලෝකය කියා වෙන් කිරීමක් එහි නැත. බලංගොඩ මානවයා තම ආහාරය සඳහා තලගොයෙකු දඩයම් කරන විට හෝ බෙල්ලන් එකතු කරන විට, ඔහු එය කළේ ලෝකයෙන් වෙන්වූ “පාරිභෝගිකයෙකු” ලෙස නොවෙයි. ඔහුට පරිසරය යනු තවත් කොටසක් නොව, තමන්ගේම ශරීරයේ දිගුවක් බඳුය.
ඔහු ගස් කොළන්, සතුන් සහ ගංගා සමඟ පැවතියේ ඒකීය බැඳීමකිනි. ඔහු ගල් ආයුධයෙන් මස් කපන විට, ඒ ගලත්, මසත්, ඔහුගේ අතත් යන තුනම එකම ශක්ති ජාලයක කොටස්කරුවන් බව ඔහු සහජයෙන්ම දැන සිටින්නට ඇත. අද්වෛතයට අනුව “මම” සහ “විශ්වය” යනු එකකි. බලංගොඩ මානවයා ජීවත් වූයේ ඒ මහා එකඟතාවය හෙවත් ‘Oneness’ තුළයි. චීන තාඕ දර්ශනයේ එන “වු-වේ” සංකල්පයෙන් කියවෙන්නේ සොබාදහමේ රිද්මයට එරෙහි නොවී, ඒ රිද්මය සමඟ ගලා යාමයි.
බලංගොඩ මානවයාගේ ජීවිතය තාඕ දහමට සජීවී නිදසුනකි. ඔහුට “අතිකාල වැඩ” තිබුණේ නැත. ඔහුට පරිසරය දූෂණය කරමින් මහා පරිමාණයෙන් සම්පත් රැස් කිරීමේ උමතුවක් තිබුණේ නැත. සිතුවමේ ඔහු සිටින ඉරියව්ව බලන්න. එය කෙතරම් සැහැල්ලු සහ ස්වභාවිකද? ඔහු තලගොයා දඩයම් කරන්නේ කුසගින්න නිවා ගැනීමට මිස විනෝදයට හෝ ලාභයට නොවේ. ඔහු ගලා යන ගඟක ජලය මෙන් සොබාදහමේ චක්‍රයට අනුගත විය. තාඕ දහම පවසන පරිදි “පෘථිවිය මවක් නම්, ඔහු ඇගේ උණුසුම විඳිමින් ඇය පවසන රිද්මයට නැටූ දරුවෙකි.”
අද අප ජීවත් වන්නේ සොබාදහම පාලනය කිරීමට උත්සාහ කරන “අප හා සොබාදහම දෙකක් ලෙස දකින” ‘Dualistic’ ලෝකයකයි. අපි පරිසරය අපෙන් වෙන් කර, එය අපට අවශ්‍ය පරිදි නතු කර ගැනීමට උත්සාහ කරමු. එහි ප්‍රතිඵලය වී ඇත්තේ පීඩනය, රෝග සහ පරිසර විනාශයයි. නමුත් මේ බලංගොඩ මානවයා අපට කියා දෙන්නේ කුමක්ද?
ඔබට සැබවින්ම අවශ්‍ය දේ පමණක් සොබාදහමෙන් ලබාගන්න. ආහාරයක් ගන්නා විට එය තවත් ජීවයක පරිත්‍යාගයක් බව වටහාගෙන ගෞරවයෙන් එය භුක්ති විඳින්න. නිහඩවන්න. ඔහුගේ සිතුවම තුළ මහා නිහඬතාවයක් ඇත. මන්ද නිහඬතාවය තුළයි විශ්වයේ සැබෑ ප්‍රඥාව සැඟව ඇත්තේ. බලංගොඩ මානවයා යනු හුදු අතීත වැසියෙක් පමණක් නොවේ. ඔහු අද්වෛත දර්ශනය ප්‍රායෝගිකව ජීවත් කරවූ, තාඕ රිද්මය අනුව හුස්ම ගත් ප්‍රාඥයෙකි. ඔහුට අවශ්‍ය වූයේ “දියුණු” වීමට වඩා “සමබර” වීමටයි.
අද අපේ ජීවිත දිවෙන්නේ ඔරලෝසු කටුවලටත් වඩා වේගයෙන්. තාක්ෂණය, තරඟකාරීත්වය සහ නිරන්තර පීඩනය මැද අපට අපේ සැබෑ ස්වභාවය අමතක වී ගොස් ඇත. නමුත් මීට වසර 30,000කට පෙර අපේ මුතුන්මිත්තන් අත්විඳි ඒ සහජ නිදහස සහ අධ්‍යාත්මික ඒකීයත්වය අදටත් අප තුළම ජීවත් වේ. ඔබ ආහාර වේලක් ඉදිරියට ගත් විට, දුරකථනය හෝ රූපවාහිනිය ක්‍රියා විරහිත කරන්න. ඔබේ පිඟානේ ඇති බත් හා එළවළු දෙස මොහොතක් බලා සිටින්න. ඒ ආහාරය තුළ හිරු එළිය, වර්ෂාව, පස සහ ගොවියාගේ ශ්‍රමය අඩංගුය. ඒවා ආහාරය ගන්නා විට, ඒවා ඔබේ ශරීරය බවට පත්වන අයුරු සිහිකරන්න. “ආහාරය සහ මම දෙකක් නොව එකකි” යන හැඟීම ඇති කරගන්න. ප්‍රතිඵලය, අධික ලෙස ආහාර ගැනීම පාලනය වීමයි.
වැඩ කරන ස්ථානයේදී අප බොහෝ විට පීඩනයට පත්වන්නේ සොබාදහමේ රිද්මයට එරෙහිව “බලහත්කාරයෙන්” කටයුතු කිරීමට උත්සාහ කිරීමෙනි. තාඕ දහමේ “වු-වේ” යනු කිසිවක් නොකර සිටීම නොව, ‘අප්‍රයත්න ක්‍රියාවයි’. ඔබ ඉතා කාර්යබහුල මොහොතක, තත්පර 30කට ඔබේ වැඩ නතර කරන්න. ඔබේ හුස්ම දෙස බලන්න. හුස්ම ගැනීම සඳහා ඔබ කිසිදු වෙහෙසක් නොගන්නා අතර එය ඉබේම සිදු වේ. ඔබේ රාජකාරියත් ඒ හුස්ම මෙන් ගලා යාමට ඉඩ හරින්න. “මම මෙය කරනවා” යන ආත්මාර්ථකාමී හැඟීම පසෙක තබා, විශ්වීය ශක්තිය තමන් හරහා ගලා යන බව සිතන්න. ප්‍රතිඵලය, වැඩ කිරීමේදී ඇති වන වෙහෙස එනම් ‘ Burnout’අඩු වී නිර්මාණශීලිත්වය වැඩි වීමයි.
බලංගොඩ මානවයාගේ සැබෑ නිවස වුයේ වනාන්තරයයි. අද අපට වනාන්තර නැති වුවත්, කුඩා ගසක් හෝ අහස දෙස බැලීමෙන් ඒ ශක්තිය ලබාගත හැකියි. උදෑසන හෝ සවස් කාලයේ තණකොළ පිස්සක් මත හෝ පොළොව මත පාවහන් නොමැතිව සිටගන්න. පොළොවේ සිසිලස ඔබේ දෙපතුල හරහා ශරීරයට උරාගන්නා බව සිතන්න. ගසක් දෙස බලන විට, “ගස ඔක්සිජන් පිට කරයි – මම එය ලබාගනිමි. මම කාබන් ඩයොක්සයිඩ් පිට කරමි – ගස එය ලබාගනියි” යන අන්‍යෝන්‍ය බැඳීම මෙනෙහි කරන්න.
ඕනෑම දිනයක අවසානයේ අපේ මනස සිතුවිලි වලින් පිරී පවතී. මෙය අතීත මානවයාට නොතිබුණු ලොකුම ගැටලුවකි. එනිසා නින්දට පෙර ඇඳේ දිගා වී, මුළු දිනයම සිතින් ආපසු බලන්න. සිදු වූ දේ ගැන හොඳ නරක ලෙස විනිශ්චය නොකරන්න (වෙන් නොකරන්න). ඔබ යනු ඒ සිදුවීම් නොව, ඒ සියල්ල දෙස බලා සිටින “නිහඬ සාක්ෂිකරු” පමණක් බව සිතන්න. ප්‍රතිඵලය, සිතුවිලි වලින් නිදහස් වී ගැඹුරු සහ සුවදායක නින්දක් ලැබීමයි.
අවසාන අදහස..
බලංගොඩ මානවයාට මේවා “භාවනා” වුණේ නැත. එය ඔහුගේ “ජීවිතය” විය. අපට මේවා අමුතුවෙන් පුහුණු වීමට සිදු වී ඇත්තේ අප සොබාදහමෙන් බොහෝ ඈතට ගොස් ඇති බැවිනි. නමුත් මතක තබා ගන්න, ඔබ අතීතයේ දඩයම් කළ ඒ වීර මානවයාගේම ජානමය දිගුවකි. ඔබ තුළ ඒ ශක්තිය, ඒ සන්සුන් බව තවමත් ඇත. අවශ්‍ය වන්නේ මොහොතකට නතර වී, ගැඹුරු හුස්මක් ගෙන, “මම ද මේ විශ්වයේම කොටසකි.” යන්න සිහිපත් කර ගැනීම පමණි.
උපුටා ගැනීම : සාගර දියගම ෆේස්බුක් පිටුව


