in

බරින් වැඩිම සතා

විද්‍යාඥයන්ට හමුවුණු ලොව බරම සතා ලෝකයේ ලොකුම සතා කවුරුද? ලෝකයේ ලොකුම සතා නිල් තල්මසාය. හරියටම කීවොත්, ඇන්ටාක්ටික් නිල් තල්මසා Antarctic Blue Whale ය. බර ටොන් 190 කි. ඒ බර, අලි ඇතුන් 33 දෙනකුගේ බරට සමානය. දිග අඩි 100 (මීටර් 30) කි. ඒ අනුව, ලොව බරින් වැඩිම සතා ද ඇන්ටාක්ටික් නිල් තල්මසා ය. 

නිල් තල්මසාගේ හදවත පුංචි කාර් එකක් තරම්ය. ලොව ලොකුම හඬ පිට කරන සත්වයා ද නිල් තල්මසාය. නිල් තල්මසාගේ හඬ ජෙට් ඇන්ජිමක හඬටත් වඩා වැඩිය. ඩෙසිබල් 188 කි. ජෙට් ඇන්ජිමක හඬ ඩෙසිබල් 140 කි. මේ කතාව ඇන්ටාක්ටික් නිල් තල්මසා ගැන නොවෙයි. අතීතයේ ජීවත් වුණු වෙනත් තල්මසකු ගැනය. 

මේ තල්මසා ලොව මුලින්ම බිහිවුණු තල්මසුන්ගෙන් එකෙකි. නිල් තල්මසාගේ ආදිතමයකු විය හැකිය. නිල් තල්මසා තරම් දිගින් වැඩි නොවුණත්, ලොව බරින් බැඩිම සත්වයා මෙයා යැයි පොසිල විද්‍යාඥයෝ පසුගිය දා ලොවට අනාවරණය කළහ. පොසිල විද්‍යාඥයන් මෙම ආදිතම තල්මසාට නම් තබා ඇත්තේ පෙරුසීටස් කොලෝසස් Perucetus Colossus යනුවෙනි. 

Whale-01

පෙරුසීටස් කොලෝසස්ගේ පොසිල අස්ථි සොයා ගැනීමට හැකිවී ඇත්තේ දකුණු ඇමෙරිකාවෙනි. පෙරුසීටස් කොලෝසස් තල්මසා අවුරුදු මිලියන 39 කට කලින් ජීවත් වූ බව පොසිල අස්ථි කාල නිර්ණයට ලක් කිරීමෙන් පැහැදිලි වී තිබේ. පෙරුසීටස් කොලෝසස් පෙනුමින් යෝධ හංගොල්ලෙක්; එසේත් නැතිනම් මූදු ඌරකු වැනිය. අප අද දකින නිල් තල්මසා වගේ හෝ තල්මස් පවුලේ අනෙකුත් සාමාජිකයන් වගේ නොවෙයි. මේ සටහන සමඟ දකින්න ලැබෙන රූපවලින් ඒ බව පැහැදිලි වේවි. 

බර සිරුරක් තිබුණු බැවින්, පෙරුසීටස් කොලෝසස්ට වේගයෙන් පිහිනීමේ හැකියාවක් නැතැයි විද්‍යාඥයන්ගේ අදහසය. විද්‍යාඥයන් අනුමාන කරන්නේ මේ සත්වයා ගොඩබිමට නුදුරින් මුහුදේ ජීවත් වෙන්න ඇති බවය. 

පෙරුසීටස් කොලෝසස් යන නම මේ සත්වයාට යොදා ඇත්තේ, දකුණු ඇමෙරිකාවේ පේරු රටේ පිස්කෝ නිම්නයේ කළ කැණීම්වලින් පොසිල අස්ථි හමුවුණු බැවිනි. එම පොසිල අස්ථි හමුවූයේ ද අද ඊයේ නොවෙයි; 2006 වසරේදී ය. අස්ථි දැකීමෙන් පොසිල විද්‍යාඥයන් පුදුමයට පත් වූයේ, ඒවා කුමන ආකාරයේ සත්වකයකුගේදැයි මුලින් තහවුරු කර ගැනීමට නොහැකි වුණු බැවිනි. 

කෙසේ නමුත් වැඩිදුර අධ්‍යයන සිදු කර, හමුවුණු අස්ථි ආදීතම තල්මසකුගේ යැයි තහවුරු කර ලොවට හෙළි කළේ පසුගියදාය. කොලෝසස් යන්නෙහි අර්ථය යෝධයා ය. පෙරුසීටස් කොලෝසස් යන නමේ අර්ථය පේරු රටින් හමුවුණු යෝධ තල්මසා යන්නය. පොසිල විද්‍යාඥයන්ට පෙරුසීටස් කොලෝසස්ගේ ක්ශේරුකා අස්ථි 13 ක්, ඉල ඇට කොටස් 4 ක් සහ උකුල් අස්ථියක් සොයා ගැනීමට හැකිවිය. ඒවා ඇසුරින් සත්වයාගේ පෙනුම පරිගණක යොදා ගෙන නිර්මාණය කෙරුණි. 

බර කෙසේ වෙතත්, ඇන්ටාක්ටික් නිල් තල්මසා, පෙරුසීටස් කොලෝසස්ට වඩා දිගින් වැඩිය. පෙරුසීටස් කොලෝසස්ගේ දිග මීටර් 20 ක් (අඩි 65) පමණ යැයි පැවැසෙයි. බර ටොන් 85 ත් 340 ත් අතරේය. පෙරුසීටස් කොලෝසස් ආදීතම තල්මසා ලොවට හඳුන්වා දුන්නේ පොසිල විද්‍යාඥ එලී ඇම්සොන්ය. මැය ජර්මනියේ ස්වභාව ඉතිහාස කෞතුකාගාරයේ පොසිල විද්‍යාඥවරියකි. 

Whale-05

කැණීම්වලින් සොයා ගත් පොසිල අස්ථි අතරේ, පෙරුසීටස් කොලෝසස්ගේ දත් තිබුණේ නැත. එහෙයින්, තල්මසාගේ ආහාර රටාව ගැන පැහැදිලි අවබෝධයක් ඇති කර ගැනීමට එලී ඇම්සොන් ප්‍රමුඛ ඇගේ කණ්ඩායමට හැකිවී නැත. ඒත්, විද්‍යාඥවරිය පවසන්නේ මෙම ආදිතම තල්මසා කුඩා මාළු ආහාරයට ගනිමින් ජීවත් වෙන්න ඇතැයි කියාය. බර සිරුරක් ඇති බැවින්, වේගයෙන් පිහිනමින් සතුන් ගොදුරු කර ගැනීමේ හැකියාව තල්මසාට නොතිබුණු බව නම් සහතිකය‍. 

සමහර විට මුහුදේ මියගිය සතුන්ගේ මළකුණු ද පෙරුසීටස් කොලෝසස් ආහාරයට ගන්න ඇතැයි එලී ඇම්සොන්ගේ අදහස වී තිබේ. පොසිල විද්‍යාඥයන්ට අනුව, පෙරුසීටස් කොලෝසස් ජීවත් වූයේ ඉයෝසීන යුගයේය. එම කාලයේ පේරු රට පිහිටි ප්‍රදේශය සාගරයෙන් යට වී තිබෙන්න ඇතැයි පැවැසෙයි. 

2006 වසරේ දී සොයා ගත් පෙරුසීටස් කොලෝසස් පොසිල අස්ථි මේ වනවිට පේරු රටේ ලීමා නුවර ස්වභාවික ඉතිහාස කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇඅති අතර, එය දෙස් විදෙස් බොහෝ දෙනාගේ ආකර්ශණයට ලක් වී ඇතැයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

උපුටා ගැනීම: mawitha

What do you think?

Written by Mic

ලස්සන ඇහිබැමක් ඇති ඩයිනසෝරයා

බිහිසුණු සතෙක්ද? නැද්ද?