හොරු රංචුවකට අහුවෙලා, යන ට්‍රක් එකකින් පැනලා, මහ පාරවල් සහ කැලෑ මැදින් කිලෝමීටර් 17ක් පයින්ම ගෙදර එනවා කියන්නේ ලේසි වැඩක් නෙවෙයි. හැබැයි චීනයේ ජිලින් (Jilin) ප්‍රාන්තයේ එකම ගමේ හිටපු බල්ලන් හත්දෙනෙක් එකතුවෙලා මෑතකදී අන්න ඒ වගේ අදහාගන්න බැරි වීරක්‍රියාවක් කළා.
මස් සඳහා විකුණන්න මේ බල්ලන් හත්දෙනාව හොරකම් කරගෙන ට්‍රක් රථයකින් අරගෙන යද්දී, අධිවේගී මාර්ගයකදී ඔවුන්ට ට්‍රක් එකෙන් පැනගන්න පුළුවන් වුණා. හැබැයි පුදුමේ කියන්නේ ඔවුන් පණ බේරගන්න හිතාගෙන එක එක පැතිවලට දිව්වේ නැහැ. ඔවුන් හත්දෙනාම එක කණ්ඩායමක් විදිහට එකටම ගමන් කළා. මේ කණ්ඩායමට නායකත්වය දුන්නේ පුංචි “කෝර්ජි” (Corgi) වර්ගයේ බල්ලෙක්. මේ පුංචි බල්ලා ඉස්සරහින්ම ගිහින් පාර පෙන්නද්දී, රංචුව මැද හිටපු තුවාල වුණු ජර්මන් ෂෙපර්ඩ් (German Shepherd) බල්ලාව ගෝල්ඩන් රිට්‍රීවර් (Golden Retriever) සහ ලැබ්‍රඩෝර් (Labrador) වගේ ලොකු බල්ලන් විසින් වටකරගෙන ආරක්ෂා කරමින් ගමන් කළා.
දවස් දෙකක් පුරාවට කිලෝමීටර් 17ක් දුර ගමන් කරපු මේ බල්ලන් එක මොහොතකටවත් තමන්ගේ යාළුවන්ව දාලා ගියේ නැහැ. හමුදාවක් වගේ පාර අයිනෙන් ගමන් කරපු මේ අපූරු රංචුව කෙනෙක් වීඩියෝ කරලා අන්තර්ජාලයට දැම්මට පස්සේ ඒක මිලියන 230කට වඩා බලලා තිබුණා. මේ වීඩියෝව නිසා ඩ්‍රෝන කැමරා සහ ස්වේච්ඡා සේවකයන්ගේ උදව්වෙන් මේ බල්ලන්ව හොයාගන්න පුළුවන් වුණු අතර, හත්දෙනාටම නිරුපද්‍රිතව තමන්ගේ අයිතිකරුවන් ළඟට යන්න පුළුවන් වුණා.
උපුටා ගැනීම : Beyond Imagination – නොසිතූ ලොවක්


