ජීවයේ උපත සිදු වූයේ කෙසේදැයි දැනගැනීම අප කිසිවෙකුටත් ප්‍රයෝජනවත් ප්‍රතිඵලයක් ගෙනදෙන්නට කෙතරම් සමත් දැයි නිශ්චිත නොවූවත්, ජීවයේ උපත කිනම් කලෙක, කෙලෙස සිදුවී දැයි දැනගැනීමට ඔබත්, මමත් එක සිතින් කැමති වනවා නොඅනුමානය. එවන් කුතුහලය දනවන සිතිවිල්ලකට වඩාත් තර්කානුකූල සහ පිළිගත හැකි ආකාරයේ පිළිතුරක් මුල් වතාවට ලැබී ඇත්තේ ඉංග්‍රීසි ජාතිකයෙකු වූ චාල්ස් ඩාවින් විසින් වර්ෂ 1859 නොවැම්බර් මස 24 වන දින පළ කරන ලද The Origin of Species නැමැති ග්රන්ථයෙනි. ජීවය යනු හුදු මැවුම්කාර දෙවියෙකුගේ ප්රාතිහාර්යයක් ලෙස අදහාගෙන සිටි ලොවට ඩාවින්ගේ නව අදහස උමතුවක් ලෙස වුව පෙනෙන්නට හැකි වුවද; ජීවයේ උපත, පැවැත්ම සහ ප්රගමනය පිළිඹඳව එදාමෙදාතුර ලොව වඩාත්ම සම්භාවනාවට පාත්‍ර වූ න්‍යාය වශයෙන් ඩාවින්ගේ පරිණාමවාදය නොහොත් ස්වභාවික වරණවාදය දැක්විය හැක. එය සනාථ කරන ඓතිහාසික මෙන්ම ජෛව විද්‍යාත්මක සාධකද ඕනෑ තරම් වෙයි.
ස්වභාවධර්මවේදියෙකු (Naturalist) වූ ඩාවින් ඉතා විශ්මිත නිරීක්ෂණ රැසක් තුළින් එළඹෙන ලද නිගමන වල අග්‍ර ඵලය ලෙස; වානරයාට සම්බන්ධ මූලයකින් ආරම්භව ක්‍රමක්‍රමයෙන් වර්තමාන හෝමෝසේපියන්-සේපියන් මානවයා දක්වා දියුණු වූ නූතන මිනිසාගේ පරිණාමය හඳුනාගත හැකිය. වර්තමානයේදී වුවද මානව පරිණාමය සම්බන්ධයෙන් පිළිගැනෙනුයේ චිම්පන්සියා, ගෝරිල්ලා, ඔරංඔටං මෙන්ම මිනිසාද පොදු මුතුන්මිත්තෙකුගෙන් පැවත එන ජීවී විශේෂයන් බවයි. පරිසරයේ සිදුවූ වෙනස්කම් වලට අනුගතවීමේ හැකියාව අනුව මෙම විවිධ විශේෂයන් බිහිවූ බව පිළිගැනීමයි.
ඩාවින්ගේ පරිණාමවාද න්‍යාය ඉදිරිපත් කිරීමෙන් අන්තුරුව වසර 150කට අධික කාලයක් ගතවුවද එයට අභියෝග කළ හැකි මට්ටමේ කිසිදු න්‍යායක් ජීවයේ පරිණාමය සම්බන්ධයෙන් මෙතෙක් ලොව පහළ වී නැත. එනමුත්, ඩාවින් ඉතිරි කොට ගිය, අද වන තුරුත් නොවිසඳුන අභිරහසක් මානව පරිණාමය තුළ සැඟව ඇත. එය නම් මිනිසාගේ ආදිතම මුතුන්මිත්තන් ලෙස සැලකෙන ඇන්ත්‍රොපොයිඩ් (වානර) කුලය සහ නූතන මානවයා (anatomical modern human) අතර ප්රත්යක්ෂ ලෙස හුවාදැක්විය හැකි සහසම්බන්ධතාවයක් නොමැති වීමයි. මානව පරිණාමය පිළිඹඳ හදාරන ලොව පුරා පර්යේෂකයින් විසින් මෙම කරුණ ගැන සඳහන් කරන්නේ missing link (ගිලිහුණ පුරුක) යනුවෙනි. සැබවින්ම මිනිසා නම් ජීවී කොට්ඨාශය පොදු වානරයෙකුගෙන් පැවත එයි නම්, නිශ්චිත ලෙස ප්‍රකාශ කළ හැකි සම්බන්ධයක් ඇන්ත්‍රොපොයිඩ් කුලය සහ මානවයින් අතර පැවතිය යුතුය.
මේ අභිරහස විසඳමින් විද්‍යා ලෝකය කළඹන හෙළිදරව්වක් 1912දී පමණ එංගලන්තයෙන් වාර්තා විය. ජාතික ඉතිහාස කෞතුකාගාරයේ සේවය කළ පාෂාණවේදියෙකු (paleontologist) වූ ස්මිත් වුඩ්වර්ඩ් සහ ආධුනික ඉතිහාසඥයෙකු (antiquarian) වූ චාල්ස් ඩෝසන් විසින් 1912 දෙසැම්බර් මස භූ විද්‍යා සංගමයට සිය නවතම සොයාගැනීම ඉදිරිපත් කරමින් ප්‍රකාශ කර සිටියේ, ඩාවින්ගේ පරිණාමවාදයෙහි හිඩැස නොහොත් missing link එක සොයාගන්නට තමන් දෙපළ සමත් වූ බවයි. එංගලන්තයේ සසෙක්ස් ප්‍රාන්තයේ පිහිටි පිල්ට්ඩවුන් (Piltdown) නම් ප්‍රදේශයේ සිදුකරන ලද කැනීම් වලින් වානරයින් සහ නූතන මානවයි අතර පරිණාමයේදී ඇති සම්බන්ධය තහවුරු කරන ෆොසිල සාක්ෂි තමන්ට හමුවූ බව මේ දෙපළ විසින් ප්‍රකාශ කරන ලදී. කාලයක් මුළුල්ලේ පිල්ට්ඩවුන්හි සිදුකරන ලද කැණීම් සහ පර්යේෂණයන්හි ප්‍රතිඵලයක් ලෙස මිනිසෙකුට සමාන හිස්කබලක්, දත් කිහිපයක් සහිත හනුවක් සහ රදනක හෝ නල දතක් හමුවූ බව ප්‍රකාශ කළ පර්යේෂකයින් එම ෆොසිලයන් අයිති එකම ජීවියෙකුට බවත්, ෆොසිල අධ්‍යයනයෙන් එහි නූතන මානව ලක්ෂණ මෙන්ම, ඉපැරණි වානර ලක්ෂණද පැවති බව නිරීක්ෂණය කළ ඔවුන් මේ සැබවින්ම පරිණාමයෙහි එතෙක් කල් නොවිසඳුනු අභිරහස වූ missing link එක බව නිගමනය කොට ප්‍රකාශ කරන ලදී.
මෙම ෆොසිල කොටස් පිල්ට්ඩවුන් මානවයා (Piltdown Man) යනුවෙන් නම් කරන ලද අතර, මුළුමහත් විද්‍යා ලෝකයම එයින් උද්දාමයට පත්විය. මෙහිදී සොයාගන්නා ලද හිස්කබල මින්පෙර සොයාගෙන තිබූ මානව හිස්කබල් වලට වඩා විශාලත්වයෙන් වැඩිවූ බැවින් පිල්ට්ඩවුන් මානවයා වඩාත් දියුණු වූ ජීවියෙකු ලෙස සලකන ලදී. එයින් අනතුරුව පර්යේෂකයින්ගේ අවධානය ඒ ඔස්සේ නවමු මානයකට යොමුවිය. පළමු ලෝක යුද්ධය ආරම්භ වන තුරුම බාධාවකින් තොරව සිය පර්යේෂනයන්හි නියැලුන වුඩ්වර්ඩ් සහ ඩෝසන් දෙපළ තවත් ෆොසිල කොටස් කිහිපයක්ම සොයාගන්නා ලදී. 1915දී පමණ වුඩ්වර්ඩ් වෙත ලිපියක් යවමින් තමන් මුල් ස්ථානයට සැතපුම් දෙකක් පමණ එපිටින් තවත් මානව අවශේෂ කොටස් කිහිපයක් සොයාගත් බව දන්වා සිටින ලදී. එම ෆොසිල කොටස් පිල්ට්ඩවුන් දෙවන මානවයා ලෙස නම් කරන ලදී. කෙසේ වෙතත් 1916දී ඩෝසන් අභාවයට පත්වූ අතර වුඩ්වර්ඩ් විසින් ඔවුන්ගේ සොයාගැනීම් වෙනුවෙන් පෙනීසිටියේය. ඔහු විසින් පසු කලෙක මේ සම්බන්ධයෙක් කුඩා ග්‍රන්ථයක්ද ලියා පළකොට ඇත.

1920′ සහ 1930′ දශක අතරතුර කාලයේදීද ලෝ වටා පර්යේෂකයින්ට පිල්ට්ඩවුන් මානවයාට වඩා පැරණි ෆොසිල කොටස් හමුවූ නමුත් පිල්ට්ඩවුන් මානවයාගේ ලක්ෂණයන්ට සම කළ හැකි කිසිවක් හමු නොවීය. පිල්ට්ඩවුන් මානවයා පිළිඹඳ වඩාත් ගැඹුරින් අධ්‍යයනය කරන්නට අවස්ථාවක් 1940′ දශකයේ අග භාගයේදී විද්‍යාඥයන්ට හැකි විය. රසායනික කාල නිර්ණන පරීක්ෂා කිරීමේ ක්‍රමවේදය සොයාගැනීමත් සමගම පිල්ට්ඩවුන් මානවයා පිළිඹඳවත් සැබෑම තොරතුරු හෙළිවන්නට විය. ෆ්ලෝරයිඩ් මාධ්‍ය පරීක්ෂණයකින් අනතුරුව පිල්ට්ඩවුන් මානවයා ලෙස සැලකුණ ෆොසිල කොටස් වල හිස්කබල අවුරුදු 500ක් පමණක් පැරණි බවත්, හනුව කොටස දශක කිහිපයක් පමණක් පැරණි බවත් අනාවරණය විය. නයිට්රජන් මාධ්‍ය පරීක්ෂණයකින්ද මේ තොරතුරු නැවත වරක් සනාථ කරන ලදී. තවද මෙම ෆොසිල කොටස් ඉපැරණි ඒවා බව හැඟවීම සඳහා යකඩ සහ පොටෑසියම් ඩයික්‍රොමේට් භාවිතයෙන් වර්ණ ගන්වා තිබුණ බවද හෙළිවිය. මෙම නොමඟ යැවීම පිළිඹඳව පර්යේෂණය කළ වෙයිනර්, ඕක්ලි සහ පාක් තම නිරීක්ෂණ 1953 නොවැම්බර් මස Times Magazine කලාපයේ පළ කරන ලදී. එමෙන්ම පිල්ට්ඩවුන් මානවයා ලෙස සැලකුන ෆොසිල කොටස් වල හිස්කබල මිනිසෙකුගේ එකක් බවද, හනුව ඔරංඔටං සතෙකුගේ බවද අනාවරණය විය. ඔරංඔටං හනුව මිනිස් හිස්කබලට සවිකිරීම සඳහා මඳ වශයෙන් වෙනස් කිරීම් වලට භාජනය කොට ඇති බවද තහවුරු විය.
මෙම නොමඟ යැවීමේ මහ මොළකරු වශයෙන් චාර්ල්ස් ඩෝසන් සැලකෙන අතර ඔහු විසින් කරන ලද ව්‍යාජ මවාපෑම නිසා මුළුමහත් විද්‍යාවම දශක තුනක් මුළුල්ලේ නොමඟ සැරිසරන ලදී. කෙසේ වෙතත් මෙම නොමඟ යැවීම හෙලිවීමෙන් වසර 70කට ආසන්න කාලයක් ගත වුවද, ඩාවින්ගේ පරිණාමවාදයේ missing link එක සොයාගැනීමට අද දක්වාම කිසිවෙකුත් සමත්ව නැත. සමහරුන් විශ්වාස කරන්නේ පිටසක්වල බලපෑමකින් වානරයින් වඩාත් දියුණු ජීවී කොට්ඨාශයක් බවට පත්කොට මානවයා තැනුන බව හෝ මානවයින් කෙලින්ම පිටසක්වලින් පෘථිවියට පැමිණි ආගන්තුකයින් බවයි.එබැවින් මානව පරිණාමයේ නොවිසඳුන ගැටළුව අද මෙන්ම මතුවටත් අභිරහසක්වම පවතිනු ඇත !!
උපුටා ගැනීම: global insight


