1987 මාර්තු 3 වන දින පාකිස්තානයේ බලොකිස්තාන පවුලක උපත ලැබූ මුනිබා හැදී වැඩුණේ ඉතා සාම්ප්‍රදායික පසුබිමකයි.
කුඩා කල සිටම ඇය සතු වූ සුවිශේෂී හැකියාව වූයේ සිතුවම් ඇඳීමයි. ඇයට අවශ්‍ය වූයේ සිතුවම් අඳින කලාකාරිනියක වීමට වූවත්,දෛවය ඇයට වෙනත් මාවතක් තෝරා දී තිබුණේය.
එවකට පැවති සමාජ ක්‍රමය තුළ ගැහැනු ළමයෙකුට තම සිහින හඹා යාමට තිබූ ඉඩකඩ සීමිත විය.
ඇගේ ජීවිතයේ මුල්ම කඩාවැටීම සිදු වූයේ වයස අවුරුදු 18 දී ඇයට සිදු වූ බලහත්කාරී විවාහයත් සමඟයි.
ඇගේ පියාගේ කැමැත්ත මත සිදුවූ එම විවාහය තුළ තරුණියක ලෙස ඇයට තිබූ නිදහස සහ කලාකාමී සිහින එතැනින් වැළලී ගියේය.
මුනිබාගේ ජීවිතය උඩුයටිකුරු වූයේ 2007 වසරේදීය. එවකට 21 හැවිරිදි වියේ පසු වූ ඇය සහ ඇගේ සැමියා ගමන් කළ මෝටර් රථය දරුණු අනතුරකට ලක් විය.
මාස කිහිපයක් රෝහල් ඇඳක ගත කළ ඇයට වෛද්‍යවරුන් දරුණු තීන්දු කිහිපයක් ඇයට ලබා දුන්හ.
ඇගේ කොඳු ඇට පෙළට සිදු වූ හානිය නිසා ඇයට නැවත කිසිදා ඇවිදීමට නොහැකි බවත්, කිසිදා මව් පදවිය ලැබීමට නොහැකි වනු ඇතැයි ඔවුහු පැවසූහ.රෝහල් ඇඳ මත සිටියදී ඇගේ සැමියා ද ඇයව අත්හැර ගියේ ඇයව තනි කරමිනි.
බොහෝ දෙනෙකු මෙවන් තත්ත්වයකදී ජීවිතය ගැන බලාපොරොත්තු අත්හැර ගත්තද, මුනිබා තෝරාගත්තේ වෙනස්ම මාවතකි.
ඇය රෝහල් ඇඳේ සිටියදීම පින්සල අතට ගත්තාය.
තමාට ‘නැත’ යැයි පැවසූ දේ ‘ඇත’ බවට පත් කිරීමට තීරණය කළාය. ඇය වෙළුම් පටි දැමූ දෑතින් පින්සලක් ගෙන තමාගේ වේදනාව සහ බලාපොරොත්තුව කැන්වසය මත සිතුවම් කළාය.ඇය තම වේදනාව වර්ණ බවට පත් කළාය.ඇය පැවසූවේ, “මා ජීවත්ව සිටින බව මට දැනුණේ මා සිතුවම් අඳින විට පමණයි” යනුවෙනි.ඇගේ සිතුවම් තුළින් ඇගේ වේදනාව සහ බලාපොරොත්තුව ලොවටම පෙනෙන්නට විය.
එය ඇගේ ජයග්‍රහණයේ පළමු පියවරයි.එම සිතුවම් හරහා ඇය ලෝකයේ අවධානය දිනාගත් අතර, අද වන විට ඇය පාකිස්තානයේ සිටින දක්ෂතම චිත්‍ර ශිල්පිනියක ලෙස පිළිගැනීමට ලක්ව ඇත.
මුනිබාගේ ජීවිත ගමන රෝද පුටුවකට සීමා වූයේ නැත. ඇය අභියෝග රැසක් ජය ගනිමින් ඉතිහාසයට එක් වූයේ මෙලෙසිනි:
* එක්සත් ජාතීන්ගේ නියෝජිතවරිය: එක්සත් ජාතීන්ගේ කාන්තා අංශයේ (UN Women) පාකිස්තානය වෙනුවෙන් පත් වූ පළමු ජාතික තානාපතිනිය ඇයයි.
* පළමු රෝද පුටු නිරූපිකාව: රෝද පුටුවක සිටිමින් නිරූපණ ක්ෂේත්රයට (Modeling) පිවිසි පළමු පාකිස්තානු කාන්තාව ඇයයි.
* නිවේදිකාවක සහ ගායිකාවක: රූපවාහිනී වැඩසටහන් නිවේදිකාවක් මෙන්ම දක්ෂ ගායිකාවක ලෙස ද ඇය තම දක්ෂතා ප්‍රකට කළාය.
* මව් පදවිය: තමාට දරුවන් ලැබිය නොහැකි බව පැවසූ ලෝකයට පිළිතුරක් ලෙස, ඇය කුඩා දරුවෙකු හදා වඩා ගැනීමට (Adopt) තීරණය කළාය.
මුනිබා මසාරි පවසන එක් ප්‍රසිද්ධ අදහසක් ඇත. ඇය පෙන්වා දෙන්නේ ශක්තිය රඳා පවතින්නේ සිරුරේ නොව ආත්මය තුළ බවයි. “සැබෑ ආබාධිතභාවය ඇත්තේ ශරීරයේ නොව, මනස තුළයි.” බාහිර රූපය හෝ ශාරීරික ශක්තියට වඩා වැදගත් වන්නේ නොසැලෙන ආත්ම විශ්වාසය බව ඇය ක්‍රියාවෙන් ඔප්පු කර පෙන්වා ඇත.![]()
උපුටා ගැනීමකි.
තවත් කෙනෙක්ට දැනගන්න ශෙයා කරන්න…
උපුටා ගැනීම : Dutu Nodutu Lokaya


