ෆැටි ලිවර් (Fatty Liver) හෙවත් අක්මාවේ තෙල් තැන්පත් වීම: සරල පැහැදිලි කිරීමක් ![]()
අපේ සිරුරේ තියෙන ඉතාම වැදගත් සහ ලොකුම ඉන්ද්‍රියයක් තමයි අක්මාව (Liver). මේක හරියට අපේ ඇඟ ඇතුලේ තියෙන මහා පරිමාණ “පිරිසිදු කරන කර්මාන්ත ශාලාවක්” (Factory) වගේ. අපි කන බොන කෑම වල තියෙන වස විස ඉවත් කරන්නෙත්, අපිට අවශ්‍ය ශක්තිය ගබඩා කරලා තියාගන්නෙත් මේ අක්මාව තමයි. ![]()
![]()
සාමාන්‍යයෙන් ඕනෑම කෙනෙකුගේ අක්මාව තුළ ඉතා කුඩා ප්‍රමාණයකට මේදය (තෙල්) තියෙන්න පුළුවන්. ඒක සාමාන්‍ය දෙයක්. නමුත්, මේ තෙල් ප්‍රමාණය අක්මාවේ බරෙන් 5% කට වඩා වැඩි වුණොත්, අපි ඒ තත්ත්වය “මේද අක්මාව” නැත්නම් “Fatty Liver” කියලා හඳුන්වනවා.
මේක හරියට අපි ගෙදර වතුර යන බටයක කුණු රොඩු, තෙල් පිරිලා වතුර යන්න බැරි වෙලා හිර වෙනවා වගේ වැඩක්. අක්මාවේ සෛල ඇතුලේ තෙල් පිරුනම, අක්මාවට එයාගේ සුපුරුදු රාජකාරිය හරියට කරගන්න බැරි වෙනවා. ![]()
![]()
ඇයි මෙහෙම වෙන්නේ? (හේතු) ![]()
මේකට ප්‍රධානම හේතුව තමයි අපේ නවීන, වැරදි ජීවන රටාව.
වැරදි කෑම රටාව: අපි පැණි රස කෑම (සීනි අධික), පිටි සහිත ආහාර (පාන්, බනිස්, රයිස්, කොත්තු), සහ තෙල් අධික කෑම (ෆාස්ට් ෆුඩ්) ඕනවට වඩා කෑවම, අපේ ඇඟට ඒ ඔක්කොම දවාල පාවිච්චි කරන්න බැරි වෙනවා. ඉතින් ඇඟ විසින් කරන්නේ, මේ ඉතුරු වෙන අමතර සීනි සහ පිටි කොටස්, ‘තෙල්’ බවට හරවලා අක්මාවේ ගබඩා කරන එකයි. හරියට ගෙදර පාවිච්චි වෙන්නේ නැති බඩු, ඉඩ මදි නිසා ස්ටෝරු කාමරේට දාලා පුරවනවා වගේ වැඩක්. ![]()
![]()
![]()
ව්‍යායාම මදි කම: අපි කන කෑම ප්‍රමාණයට සරිලන මහන්සි වීමක් නැත්නම් (උදාහරණයකට දවසම පුටුවක වාඩි වෙලා කරන රස්සාවක් නම්), අර එකතු වුණු තෙල් දිය වෙන්නේ නැහැ. ඒවා එන්න එන්නම අක්මාවේ පිරෙනවා. ![]()
![]()
මත්පැන් පානය: අධික ලෙස මත්පැන් (Alcohol) පානය කිරීමත් අක්මාවේ තෙල් තැන්පත් වෙන්න සහ අක්මාව නරක් වෙන්න ප්‍රධානම හේතුවක්. ![]()
![]()
වෙනත් රෝග: දියවැඩියාව, රුධිරයේ කොලෙස්ටරෝල් වැඩි වීම සහ අධික ස්ථුලතාවය (බර වැඩි වීම) තියෙන අයට මේ රෝගය හැදෙන්න ලොකු ඉඩක් තියෙනවා. ![]()
රෝග ලක්ෂණ සහ භයානකම දේ ![]()
“ෆැටි ලිවර්” රෝගයේ තියෙන භයානකම දේ තමයි, මුල් කාලයේදී මේකේ කිසිම රෝග ලක්ෂණයක් පෙන්නුම් කරන්නේ නැති වීම. ඒක “නිහඬ මාරයෙක්” වගේ. ගොඩක් අය තමන්ට මේ ලෙඩේ තියෙනවා කියලා දැනගන්නේ වෙනත් අසනීපයකට බඩේ ස්කෑන් (Ultrasound Scan) පරීක්ෂණයක් කළාම අහම්බෙන්. ![]()
කලාතුරකින් සමහරුන්ට, රෝගය ටිකක් වැඩි වුණාම බඩේ දකුණු පැත්තේ ඉහළ කොටසේ (ඉල ඇට කූඩුවට යටින්) යම් අපහසුතාවයක්, බර ගතියක් හෝ නිතරම මහන්සියක් දැනෙන්න පුළුවන්.
අවදානම: මේක ගණන් ගන්නේ නැතුව දිගටම වැරදි විදියට හිටියොත්, කල් යද්දී අක්මාව ඉදිමිලා, තුවාල වෙන්න පටන් ගන්නවා. අන්තිමට අක්මාව ගල් වෙලා, සවි වෙලා ක්‍රියාකාරීත්වය සම්පූර්ණයෙන්ම නැති වෙන “සිරෝසිස්” (Cirrhosis) කියන භයානක තත්ත්වයට පත් වෙන්න පුළුවන්. ඒ වගේම අක්මා පිළිකා ඇති වෙන්නත් මේක හේතුවක් වෙන්න පුළුවන්. ![]()
![]()
වළක්වා ගැනීම සහ සුව කරගැනීම ![]()
![]()
හොඳම ආරංචිය තමයි, මුල් අවස්ථාවේදීම මේක හඳුනා ගත්තොත්, බෙහෙත් බීමකින් තොරව අපේ ජීවන රටාව වෙනස් කරගැනීමෙන් පමණක් මේක සම්පූර්ණයෙන්ම සුව කරගන්න පුළුවන් වීම.
කෑම පාලනය: සීනි, පැණි බීම සහ පිටි කෑම පුළුවන් තරම් අඩු කරන්න. එළවළු, පලතුරු සහ තන්තු වැඩිපුර අඩංගු ආහාර වේලට එකතු කරගන්න. ![]()
![]()
![]()
ව්‍යායාම: දවසකට විනාඩි 30-45ක් වත් හොඳට දාඩිය දාන ව්‍යායාමයක නිරත වෙන්න (උදා: වේගයෙන් ඇවිදීම, දිවීම, පිහිනීම, බයිසිකල් පැදීම). ![]()
![]()
![]()
බර අඩු කරගැනීම: ඔබ ඉන්නේ නියමිත බරට වඩා වැඩියෙන් නම්, බරෙන් 10%ක් වත් අඩු කරගන්න උත්සාහ කරන්න. විශේෂයෙන් බඩේ මේදය අඩු කරගන්න.
මත්පැන්: මත්පැන් පානය සම්පූර්ණයෙන්ම නවත්වන්න. ![]()
මේ දේවල් හරියට කළොත්, ඔබේ අක්මාව නැවතත් නීරෝගී කරගන්න ඔබට අනිවාර්යයෙන්ම පුළුවන්.
උපුටා ගැනීම : Lung Doctor ෆේස්බුක් පිටුව

