රයිනෝසිරස් කියන්නේ කැලේ ඉන්න දැවැන්තම, ශක්තිමත්ම සතෙක් බව අපි කවුරුත් දන්නවනේ. හැබැයි මේ යෝධයාටත් ලොකු දුර්වලකම් දෙකක් තියෙනවා. එකක් තමයි එයාගේ පෙනීම හරිම දුර්වලයි. අනිත් එක තමයි එයාගේ ඝනකම් හම අස්සේ හැංගිලා ඉන්න කිනිතුල්ලන් වගේ පරපෝෂිතයන්ගෙන් එයාට ලොකු කරදරයක් තියෙනවා.
මෙන්න මෙතැනදී තමයි “ඔක්ස්පෙකර්” (Oxpecker) කියන පුංචි කුරුල්ලා උදව්වට එන්නේ.
මේක හරිම අපූරු හුවමාරුවක්. මේ කුරුල්ලා රයිනෝගේ පිට උඩ ඉඳගෙන අර කරදරකාරී කිනිතුල්ලන්ව ආහාරයට ගන්නවා. රයිනෝට නොමිලේම තමන්ගේ ඇඟ පිරිසිදු කරගන්න ලැබෙනවා වගේම, කුරුල්ලාට රසවත් කෑම වේලක් ලැබෙනවා.
ඒ විතරක් නෙවෙයි, රයිනෝට ඈත එච්චර පේන්නේ නැති නිසා, අනතුරක් ළඟට එනකොටම මේ කුරුල්ලා හයියෙන් කෑගහලා රයිනෝව දැනුවත් කරනවා. හරියට පුද්ගලික ආරක්ෂක නිලධාරියෙක් වගේ! කලාතුරකින් මේ කුරුල්ලන් රයිනෝගේ තුවාල වලටත් කොටන අවස්ථා තිබුණත්, මේ දෙන්නාගේ එකමුතුකම කැලේට හරිම වටිනවා.
මේකෙන් අපිට ගන්න පාඩමක් තියෙනවා. අපි කොච්චර ලොකුයි, බලවත් කියලා හිතුවත්, අපිටත් බැරි දේවල් තියෙනවා. අපේ අඩුපාඩු දැකලා අපිට උදව් කරන, අපේ ආරක්ෂාව ගැන හිතන යාළුවෝ හැමෝටම ඕන කරනවා.
උපුටා ගැනීම : Beyond Imagination – නොසිතූ ලොවක්

