in

රසදිය අඩංගු මාළු සෞඛ්‍යට අහිතකර වන්නේ ඇයි?

සමහර මාළු වර්ග වල රසදිය බහුල වශයෙන් අඩංගු වෙනවා. මේවා ආහාරයට ගැනීමෙන් විවිධ සෞඛ්‍ය අවදානම් මතුවෙනවා. විශේෂයෙන්ම ගර්භණී කාන්තාවන්, කුඩා දරුවන් රසදිය අඩංගු මාළු වර්ග වලින් ප්‍රවේශම් විය යුතුයි. අද අපි ඒ ගැන කතා කරමු.

මාළුන්ට රසදිය ශරීරගත වන්නේ කොහොමද ?

රසදිය කියන්නේ පසේ සහ ජලය තියෙන ස්වභාවික මූල ද්‍රව්‍යයක්. හැබැයි මිනිස් ක්‍රියාකාරකම් වලින් සාමාන්‍ය ප්‍රමාණයට වඩා අධික රසදිය ප්‍රමාණයක් සාගර සහ විල් වලට එකතු වෙනවා  මිනිසුන් විසින් සිදු කරන ගල් අඟුරු ක්‍රියාකාරකම්, පතල් කැණීම කාර්මික අපද්‍රව්‍ය පරිසරයට එකතු කිරීම ආදියෙන් රසදිය ජලයට එකතු වෙනවා. රසදිය ජලයට එකතු වූ පසුව බැක්ටීරියා ක්‍රියාකාරීත්වයට ලක් වී එය මෙතිල් රසදිය බවට පරිවර්තනය කරනවා. එය විෂ සහිතයි.

කුඩා මසුන් ජලයෙන් සහ ආහාර වලින් රසදිය අවශෝෂණය කරගන්නවා. කුඩා මසුන් ආහාරයට ගන්නා විශාල මසුන් ගේ ශරීරවල ඊටත් වඩා වැඩි ප්‍රමාණයකින් රසදිය එකතු වෙනවා. මෙම විශාල මසුන් වන්නේ ටූනා, මෝරා වැනි මසුන්ය. මත්ස්‍යයාගේ ප්‍රමාණය විශාල වන තරමට සහ වයසින් වැඩිවන තරමට ඔවුන්ගේ ශරීරයේ තිබෙන රසදිය ප්‍රමාණය වැඩි බව සොයාගෙන තිබෙනවා.

රසදිය සෞඛ්‍යයට අහිතකර වන්නේ ඇයි?

මෙතිල් ස්වරූපයෙන් පවතින රසදිය ස්නායු පද්ධතියට විෂ සහිතයි. රසදිය ශරීරයට ඇතුළු වූ විට එය පහසුවෙන් ඉවත් නොවන අතර, ශරීරයේ පටක වල එකතු වී කාලයක් තිස්සේ අහිතකර බලපෑම් ඇති කරවනවා. මෙහි ප්‍රධාන සෞඛ්‍ය අවදානම් කිහිපයක් තිබෙනවා.

මොළයට සහ ස්නායු පද්ධතියට වන හානි

මෙතිල් රසදිය මොළයේ ආරක්‍ෂක ආවරණය හරහා ගමන් කරමින් මොළයට ඍජුවම බලපෑම් කරයි. මෙම අවස්ථාවේදී මතක ශක්තිය අඩු වීම, වෙව්ලීම, චලන සම්බන්ධීකරණ ගැටළු මතු වීම, කතා කිරීමේ හා ශ්‍රවණයේ දුෂ්කරතා මතු වීම, පෙනීමේ ගැටළු ඇති වීම සහ අවධානය අඩු වීම වැනි අහිතකර ප්‍රතඵල මතු වෙනවා. දීර්ඝ කාලීනව රසදියට නිරාවරණය වීම නිසා ස්ථිර ස්නායු හානි පවා සිදු වෙන්න පුළුවන්.

ගර්භණී කාන්තාවන් සහ වර්ධනය වන දරුවන්ට රසදිය නිසා සිදු වන අවදානම ඉහලයි.

රසදිය වැදෑමහ හරහා ගොස් ගර්භාෂයේ සිටින දරුවාට පහසුවෙන් ලඟා වෙනවා. මෙය අතිශය අවදානම් සහගතයි. මෙයින් දරුවාගේ බුද්ධිමය සංවර්ධනයට හානි වෙනවා. දරුවාගේ මොළය වර්ධනය වන කාලයේදී රසදිය සෘජුවම හානි ඇති කරනවා. එවැනි දරුවන් තුල පසුකාලීනව අධ්‍යාපන සහ චර්යාත්මක ගැටළු මතු වෙනවා.

ගර්භණී කාන්තාවන්, කිරි දෙන මවුවරුන් සහ කුඩා දරුවන් රසදිය සහිත මාළු වලින් විශේෂයෙන් ප්‍රවේසම් විය යුතුයි.

හෘද වාහිනී පද්ධතියට බලපෑම් ඇති වීම 

නවීන පර්යේෂණ වලින් පෙන්වා දෙන්නේ රසදියට නිරාවරණය වීම නිසා රුධිර පීඩනය ඉහළ යා හැකියි. හෘද රෝග අවදානම වැඩි කරන අතර රුධිර නාල  වල සෞඛ්‍යයට හානි ඇති කරනවා.

 ප්‍රතිශක්තිකරණ පද්ධතියට බලපෑම් ඇති වීම 

රසදිය නිරාවරණය වීම මගින් ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වෙනවා. ආසාදන වලට ප්‍රතිරෝධය අඩු වෙන අතර ආසාත්මිකතා තත්ත්වයන් උත්සන්න වෙනවා. ස්වයං ප්‍රතිශක්තිකරණය දුර්වල වී රෝග අවදානම වැඩි වෙනවා.

සෑම මාළු වර්ගයක්ම එක හා සමාන ප්‍රමාණයකින් රසදිය අඩංගු නොවේ. සාමාන්‍යයෙන් වැඩි රසදිය අඩංගු මාළු වර්ග වන්නේ ප්‍රමාණයෙන් විශාල මසුන්ය. ආරක්ෂිතව මාළු පරිභෝජනය කිරීම සඳහා එකම මාළු වර්ගය දිගටම නොගෙන නොව විවිධ වර්ග මාරුවෙන් මාරුවට ආහාරයට ගන්න. කුඩා මාළු වර්ග තෝරාගන්න. මාළු බැදීමේදී රසදිය වැඩිපුර රැඳෙන ස්ථානයක් වන සමේ ලිපිඩ තට්ටුව ඉවත් කරන්න.

උපුටා ගැනීම: Wellnessexpert

What do you think?

Written by Mic

පෝෂණීය ශාකමය කිරි වර්ග

දේශීය පලතුරු වල ගුණ