ලංකා ධරණිතලයේ හදවත බඳු වූ මධ්‍යම කඳුකරයේ, මීදුම් සළුවලින් වැසී ගිය නකල්ස් රක්ෂිතය කියන්නේ අබිරහස් සහ සොබා සෞන්දර්යයේ අපූරු සම්මිශ්‍රණයක්. ඔබ මීමුරේ ගැනත්, රාවණා පුරාවෘත්තය සඟවා ගත් ලකේගල ගැනත් ඕනෑ තරම් අසා ඇති. නමුත් හෙක්ටයාර 22,000කට අධික මේ මහා ඝන වනාන්තරයේ, දුම්බර මිටියාවතේ සැඟවුණු තවත් අපූරු ඉසව්වක් තිබෙනවා. රඹුක්කොළුව, පන්විල, බඹරැල්ල, රණමුරේ, ඇටන්වල සිට උඩුගල් දෙබොක්ක සහ ලුණුවත්ත දක්වා විහිදෙන සුන්දර ගම්මාන මැදින් දිවෙන මේ චාරිකාව ඔබේ ජීවිතයේ අමතක නොවන මතකයක් වනු නොඅනුමානයි.
නකල්ස් යනු හුදෙක් කැලයක් පමණක් නොවේ; එය කඳු නගින්නන්ට, දියඇලි සොයා යන්නන්ට සහ පතන බිම් ගවේෂණය කරන්නන්ට පාරාදීසයක්. කඳු මුදුන් හතළිස් ගණනක් සහ දියඇලි පනහකට වැඩි ප්‍රමාණයක් මෙහි සැඟවී තිබෙනවා. අළුගල්ලෙන, ලකේගල ගුහාව, දූවිලි ඇල්ල සහ වෙඩිලුණු ගුහාව වැනි තැන් පසුකරමින් යන විට හමුවන අපූරුම තැනක් තමයි ‘යහන්ගල’.
වෙලන්ගොල්ල පතන මධ්‍යයේ පිහිටි ලකේගල ගුහාව ගැන බොහෝ දෙනා දන්නවා. නමුත් මීටර් 1,100ක් උසැති වෙලන්ගොල්ල පතන මත පිහිටි, එනම් “කන්දක් උඩ පිහිටි කන්දක්” ලෙස හැඳින්විය හැකි යහන්ගල තරණය කිරීම ඊට වඩා හාත්පසින්ම වෙනස් අත්දැකීමක්. ජනප්‍රවාදයට අනුව මේ යහන්ගල කියන්නේ රාවණ රජු සිහි මූර්ඡා වූ පසු ඔහුගේ දේහය තැන්පත් කර තිබූ ස්ථානයයි. එලෙසම මෙය බලගතු ගලේබණ්ඩාර දෙවියන්ගේ අඩවියක් ලෙසත් ප්‍රචලිතයි.
යහන්ගල සොයා යන ගමන ආරම්භ වෙන්නේ නුවර-මහියංගන පාරේ උඩුදුම්බරින්. එතැන් සිට කඩගල පාර ඔස්සේ කැලෑවට පිවිසෙන විට, උඩක්කාව සහ උඩත්තාව දෙසට දිවෙන වනගත මාවත හමුවෙනවා. අඩි හතරක් පමණ පළලැති, කටු පඳුරු සහිත මේ දුෂ්කර මාර්ගයේ වන අලි ගැවසෙන බවටත් මතයක් තියෙනවා. ඒ නිසා මේ ගමන ත්‍රාසජනක බවින් අනූනයි.
වෙලන්ගොල්ල පතනට ගොඩවූ විට ඔබව පිළිගන්නේ අඩි අටක් තරම් උසට වැඩුණු මාන පඳුරු යායක් සහ අතරින් පතර තියෙන පයිනස් ගස් කීපයක්. යහන්ගලේ වම් පාදම දැකගැනීමට නම් පතන හරහා වමට ගමන් කළ යුතුයි. දකුණු දෙසට ඇත්තේ ඉහළට විහිදෙන තරමක් අවදානම් සහගත මාර්ගයක්. වම් පැත්තේ ඇති මහා හෙල නිසා මේ ගමන ඉතා ප්‍රවේශමෙන් යා යුතු එකක්. යහන්ගල මුදුනට නැගි විට අක්කර දෙක තුනක පමණ තලාවක් හමුවෙනවා. පුදුමයකට මෙන් මෙහි විශාල ගස් හෝ ජල උල්පත් දකින්නට නැහැ. නිතර අකුණු වදින නිසා ගල් පර්වතය තැනින් තැන පුපුරා ගොස් ඇති බවත් කියවෙනවා.
ගල මුදුනේ සිට බලන විට පෙනෙන දසුන වචනයෙන් විස්තර කළ නොහැකි තරම් චමත්කාරජනකයි. මීමුරේ, ලකේගල, ගැරඬිගල, දුම්බානාගල සහ මැදමහනුවර කඳු පන්ති සිතුවමක් ලෙස දිස්වෙනවා. කෙහෙල්පොත්දෙරුවෙ ගල යහන්ගලේ ළඟම අසල්වැසියා ලෙස පෙනී සිටිනවා. ඈතින් මහවැලි ගඟ රේඛාවක් ලෙස ඇදී යන අයුරුත්, සොරබොර සහ රත්කිඳ උල්හිටිය ජලාශවල සුන්දරත්වයත් මෙතැනට මනාව දිස්වෙනවා.
රාම-රාවණා යුද්ධය පැවති බවට සැලකෙන ලකේගල සහ ‘රහස් ගේ’ ප්‍රදේශයට ආසන්නව පිහිටි නිසා, රාවණ රජුගේ දේහය මෙහි තැන්පත් කළා යැයි කියන කතාව හුදෙක් ජනප්‍රවාදයක්ම නොවිය හැකියි. ඈතට යහන්ගල දිස්වන්නේද සුවිශාල ඇඳක් ආකාරයටයි.
යහන්ගලින් පහළට බසින විට මාන පඳුරු අතර සැඟවුණු කුඩා දියඇල්ලක් හමුවෙනවා. කඳවුරු බඳින්නට බලාපොරොත්තු වෙනවා නම් රාත්‍රියට වන අලින්ගෙන් සහ වල් ඌරන්ගෙන් ආරක්ෂා වීමට ගිනිමැළයක් දැල්වීම අනිවාර්යයි. රාත්‍රියට ගලන දැඩි සීතල මීදුම මැද, උදා හිරු කිරණින් දිදුලන කඳු පන්ති දෙස බලා සිටීම ජීවිතයේ එක් වරක් හෝ විඳිය යුතුම අත්දැකීමක්. උඩත්තාව ගමට සශ්‍රීකත්වය ගෙන ආ ගලේ බණ්ඩාර දෙවියන්ගේ බැල්ම ඇති මේ භූමියේදී ඔබටත් සොබාදහමේ ආශිර්වාදය නොඅඩුව හිමි වේවි.
උපුටා ගැනීම : aperata.net


