in

වැඩි වේලාවක් අත් ඔරලෝසුවක් පැළඳ සිටීමේ අවාසි

අත් ඔරලෝසුව ඇතැම් විටෙක වෙලාව බැලීමට උපකාරීවන උපකරණයක්. තවත් විටෙක විලාසිතාවක්. ඇඳුම් විලාසිතාවේ සුන්දරත්වය ඉහළ නංවන්න වගේම සමාජ තත්වය පෙන්වන්නත් අත් ඔරලෝසුවේ ස්වභාවය බලපානවා. කොහොම වුණත් නිරන්තරයෙන් අත් ඔරලෝසුවක් පැළඳ ගෙන සිටීම ඔබගේ සෞඛ්‍යයට හිතකර වන්නේ නම් නැහැ. දවසකට පැය කිහිපයක් පමණක් අත් ඔරලෝසුවක් පැළඳ ගෙන සිටීම ගැටලුවක් නොවුණත් දවස පුරා අත් ඔරලෝසුව පැලඳගෙන සිටිනවා නම් මෙවැනි ගැටලුවලට මුහුණ දෙන්නට සිදු වේවි.

සමහරු අත් ඔරලෝසුවේ පටිය බොහොම තදට බඳිනවා. තවත් සමහරු බරින් වැඩි අත් ඔරලෝසු පලඳිනවා. මේ වැරදි පුරුදු නිසා මැණික් කටුවේ ස්නායුවලට බලපෑම් ඇතිවෙනවා. එහි ප්‍රතිඵලයක් විදිහට මැණික් කටුවේ වේදනාවක් හට ගන්නවා. මුලදී මෙම තත්ත්වය දැනෙන්නේ මැණික් කටුව ප්‍රදේශයේ හිරිවැටීමක්, සුළු වේදනාවක් ලෙසයි. බොහෝ දෙනෙක් මෙවැනි විටකදී කරන්නේ වේදනාව නොසලකා හැරීමයි. නමුත් දිගින් දිගටම නොගැලපෙන අත් ඔරලෝසුවක් පැළඳීම නිසා මැණික් කටුව ප්‍රදේශයේ වේදනාව උත්සන්න වෙනවා. මෙය බරපතළ වී ස්නායුවලට හානි සිදු වෙන්න පුළුවන්. මෙය වළක්වා ගැනීමට අත්ඔරලෝසුව ලිහිල්ව බැඳීමත්, බරින් අඩු අත් ඔරලෝසුවක් තෝරා ගැනීමත් සුදුසු වෙනවා.

කාපල් ටනල් සින්ඩ්‍රෝමය ඇති වීමට මෙය හේතුවක් වෙනවා. කාපල් ටනල් සින්ඩ්‍රෝමය (CTS) යනු මැණික් කටුවෙහි ස්නායුවක් මත ඇති වන පීඩනයකි. මෙය නිසා අත සහ ඇඟිලිවල හිරි වැටීමක් ඇති වෙනවා. මෙම තත්වය හඳුනා ගත් විගස ප්‍රතිකාර ආරම්භ කලත් සුව වීමට වීමට මාස කිහිපයක් ගත වෙනවා. ඇතැම්විට ඉඳිකටු වලින් අනින්නාක් මෙන් වේදනාවක් දැනෙනවා. තවත් විටෙක යමක් අල්ලා ගැනීමේ අපහසුතාවයක් මතු වෙනවා. බොහෝ විට මෙම වේදනාව රාත්‍රියේදී උත්සන්න වෙනවා.

දවසට වැඩි පැය ගණනක් අත් ඔරලෝසුව බැඳගෙන සිටීම නිසා අතෙහි කැසීමක් මතුවීම, සම රතුවීම සහ ආසාදන මතුවීම වැනි දේ සිදුවිය හැකිය. බොහෝ විට මෙය සිදු වන්නේ ඔරලෝසුවේ පටිය තද වැඩි නිසාය. තවත් සමහර විටෙක ඔරලෝසුවේ පටිය ඔබගේ සමට නොගැලපෙන නිසාය. අපගේ සමද ආශ්වාස ප්‍රශ්වාස කරන බව ඔබ දන්නවාද? නමුත් ඔරලෝසුවේ පටිය තදින් අත ආවරණය කරගෙන සිටිනවානම් සමේ එම කොටසට ආශ්වාස ප්‍රශ්වාස කරන්නට අවස්ථාවක් හිමි වන්නේ නැහැ. මෙහි ප්‍රතිඵලයක් ලෙස සමේ ආසාදනය උත්සන්න වෙන්න පුළුවන්.

සමහර ස්මාර්ට් ඔරලෝසු ඔබගේ හෘද ස්පන්දන වේගය ඇතුළු බොහෝ සෞඛ්‍ය සංරචක මනිනු ලබනවා. ඉතින් මෙම තොරතුරු සහ දත්ත නිවැරදිව ලබා ගැනීමට නම් ඔබට අත් ඔරලෝසුව පැය 24 පුරාම පැළඳ ගෙන සිටීමට සිදුවෙනවා. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය යහපත්ව තබා ගැනීමට මෙවැනි අත් ඔරලෝසු උදව් වුණත් මාංශ පේශි වල කැක්කුමක් හටගැනීමට මෙය හේතුවක් වෙනවා. දවස පුරා අත් ඔරලෝසුව පැළඳගෙන සිටීම නිසා රුධිර සංසරණය සීමා වෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස අත හිරි වැටෙනවා. ඉන් අනතුරුව මාංශපේෂි වේදනාව හට ගන්නා අතර දිගින් දිගටම එය නොසලකා හැරීමෙන් වේදනාව උත්සන්න වෙනවා.

උපුටා ගැනීම : wellnessexpert

What do you think?

Written by Mic

සිරුරේ මේදය අඩු කරන එදිනෙදා පුරුදු