in

විටමින් ඩී ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණක්

අතිරේකව විටමින් D ගැනීමේදී ඔබ දැනගත යුතු දෙයක්

ඔබ ගන්නා එක් විටමින් D වර්ගයක අතිරේකයක් මගින්, ශරීරයට වඩාත් පහසුවෙන් භාවිතා කළ හැකි තවත් විටමින් D වර්ගයක කාර්යසාධන මට්ටම අඩු කළ හැකි බව නවතම අධ්‍යනයකින් හෙළි වී තිබේ. මෙය අපගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට බලපෑම් ඇති කළ හැකිය.

විටමින් D අපට ලැබෙන්නේ කෙසේද?

අපගේ සිරුර ස්වභාවිකවම විටමින් D නිපදවයි. ඒ, හිරු එළියේ ඇති පාරජම්බුල කිරණ සමේ ඇති ප්‍රෝටීනයක් මගින්, විටමින් D3 නම් විටමින් වර්ගය බවට පත් කිරීමෙනි. නමුත්, හිරු එළිය අඩු සරත් සහ ශීත ඍතු කාලවලදී, බොහෝවිට පෙති වසයෙන් විටමින් D අතිරේක ව ලබාගන්නා ලෙස එක්සත් රාජධානිය වැනි රටවල් නිර්දේශ කරයි.

මෙම අතිරේක ප්‍රධාන වර්ග දෙකකින් ලබා ගත හැකිය:

  1. විටමින් D3 (කෝලිකැල්සිෆෙරෝල්): මෙය සාමාන්‍යයෙන් සත්ව නිෂ්පාදනයකි. බැටළු ලොම්වල ඇති ඉටි වැනි ද්‍රව්‍යයක් වන ලැනොලින් වලින් මෙය නිපදවයි.
  2. විටමින් D2 (අර්ගොකැල්සිෆෙරෝල්): මෙය ප්‍රධාන වශයෙන් ශාකමය ප්‍රභවයක් වන හතු වලින් ලබා ගනී.

මීට පෙර බොහෝ දෙනා සිතුවේ මේ දෙවර්ගයෙන් කුමක් ලබා ගත්තත් ලොකු වෙනසක් නොමැති බවයි.


නවතම සොයාගැනීම කුමක්ද?

එක්සත් රාජධානියේ සරේ විශ්වවිද්‍යාලයේ (University of Surrey) එමිලි බ්‍රවුන් සහ ඇගේ කණ්ඩායම, පුද්ගලයන් 655 දෙනෙකු සහභාගී වූ පෙර පර්යේෂණ 11ක් විශ්ලේෂණය කර තිබේ.

ඔවුන්ගේ ප්‍රධාන සොයාගැනීම වූයේ විටමින් D2 අතිරේක ලබා ගැනීම මගින්, ශරීරයේ ස්වභාවිකව ඇති විටමින් D3 මට්ටම අඩු විය හැකි බවයි. මෙය සිදුවන්නේ ඇයිද යන්න හෝ විටමින් D3 ගැනීමෙන් D2 මට්ටම අඩු වේද යන්න තවමත් පැහැදිලි නැත.

පුදුමයට කරුණ නම්, සමහර අධ්‍යයනවලදී විටමින් D2 ලබාගත් පුද්ගලයින්ගේ D3 මට්ටම, කිසිදු විටමින් D අතිරේකයක් නොගත් අයටත් වඩා අඩු මට්ටමක පැවතීමයි. “මෙය මීට පෙර කිසිවෙකු නොදැන සිටි බලපෑමක්,” යැයි බ්‍රවුන් පවසයි.

මෙය වැදගත් ඇයි?

2022 දී සිදු කළ අධ්‍යයනයකින් පෙනී යන්නේ D2 සහ D3 යන දෙකම ප්‍රතිශක්තියට සහය වුවත්, ඒවායේ කාර්යභාරයන් තරමක් වෙනස් බවයි. උදාහරණයක් ලෙස, බැක්ටීරියා සහ වෛරස් වලට එරෙහිව සටන් කරන අපගේ ශරීරයේ ප්‍රධාන ආරක්ෂක පද්ධතියක් උත්තේජනය කිරීමට හැකියාව ඇත්තේ විටමින් D3 වලට පමණි.

බ්‍රවුන් පවසන්නේ මෙම සොයාගැනීම් අනුව, බොහෝ දෙනෙකුට වඩාත් වාසිදායක වන්නේ විටමින් D2 වලට වඩා විටමින් D3 අතිරේක බවයි. නමුත්, සත්ව නිෂ්පාදන වලින් වැළකී සිටීම වැනි පෞද්ගලික තේරීම් ද සලකා බැලිය යුතු බව ඇය වැඩිදුරටත් සඳහන් කරයි.

“ඔබ විටමින් D2 අතිරේකය ලබා ගත්තත් ඔබේ සිරුරේ විටමින් D මට්ටම ප්‍රමාණවත් වනු ඇත, නමුත් එහි කාර්යක්ෂමතාව තරමක් අඩු විය හැකියි.”


ඔබ විටමින් D2 ගැනීම නැවැත්විය යුතුද?

නැත. “ඔබ විටමින් D2 අතිරේක ලබා ගත්තද, ඔබේ ශරීරයේ සම්පූර්ණ විටමින් D මට්ටම ප්‍රමාණවත් මට්ටමක පවතිනු ඇත. නමුත් එහි කාර්යක්ෂමතාව තරමක් අඩු විය හැකි අතර ප්‍රතිශක්තියට ලැබෙන සමහර අමතර වාසි ඔබට අහිමි විය හැකියි,” ඇය පවසයි.

විශේෂ අවස්ථා:

  • වැඩිහිටියන්: සමහර අධ්‍යයන පෙන්වා දී ඇත්තේ වයස්ගත පුද්ගලයින්ගේ සිරුරට විටමින් D3 එහි සක්‍රීය ස්වරූපය බවට පත් කිරීමේ හැකියාව අඩු බවයි. එම නිසා, ඔවුන්ට විටමින් D2 අතිරේක ගැනීම වඩාත් ප්‍රයෝජනවත් විය හැකිය.
  • වීගන් (Vegan) පුද්ගලයින්: සත්ව නිෂ්පාදන කිසිවක් පරිභෝජනය නොකරන අයෙකුට විටමින් D ඌනතාවයක් ඇත්නම්, කිසිවක් නොගෙන සිටීමට වඩා විටමින් D2 අතිරේකයක් ගැනීම නුවණැති තේරීමක් බව විශේෂඥයෝ පවසති.

මෙම පර්යේෂණය මගින් විටමින් D අතිරේක ලබා ගැනීමේ වැදගත්කම මිනිසුන්ට නැවත මතක් කර දෙනු ඇතැයි පර්යේෂණ කණ්ඩායම බලාපොරොත්තු වේ.

නිව් සයන්ටිස්ට් සඟරාවෙන්

උපුටා ගැනීම : thathu

What do you think?

Written by Mic

ආශා ද වොස් : ලාංකික තල්මසුන් හඳුන්වා දුන් විශේෂඥවරිය

දන්තාලේප (Toothpaste) අපගේ මුඛයේ වෙසෙන බැක්ටීරියා කෙරෙහි බලපාන්නේ කෙසේද?