බුදුරාජාණන් වහන්සේගේ පාද ස්පර්ශයෙන් පසු ශ්‍රී ලාංකික ජනතාව පමණක් නොව විදේශිකයින් අතරද මහත් ගෞරවාදරයට පාත්‍ර වූ පරම පූජනීය වාර්ෂික සිරිපා වන්දනා වාරය 14 දිනට යෙදුණු උඳුවප් පොහෝ දිනෙන් ඇරඹුනි.
සිරිපා වන්දනාවේදී ඔබ දැනුම්වත්ව හෝ නොදැනුම්වත්ව කරන වැරදි මඟහැර පුදබිමේ ගෞරවය වගේම පරිසර සුන්දරත්වය ගැනත් වන්දනාකරුවන් සැලකිලිමත් විය යුතු අතර පින්බර සිරිපා කරුණාවක් සඳහා ඔබේ ආරක්ෂාවට විශේෂ උපදෙස් මාලාවක් ඔබගේ අවධානය සඳහා ඉදිරිපත් කරමු.
- පොලිතින් ඇසුරුම්, ෂොපිං බෑග් වැනි නොදිරන අපද්‍රව්‍ය ගෙනයන්න එපා.
සිරිපා කරුණා කරන විට බිස්කට් පැකට්, ප්ලාස්ටික් වතුර බෝතල්, විවිධ පොලිතින් ඇසුරුම්, ෂොපිං බෑග් වැනි නොදිරන අපද්‍රව්‍ය මේ වටිනා පරිසරයේ තැන තැන දැමීමෙන් වැළකිය යුතුය. මෙවැනි දේ ඔබ සතුව තිබේ නම් ඒවා ඔබේ ගමන් මල්ලේ තබාගෙන කසළ බඳුනක් හමු වූ විට එහි දමන්න. ඔබ හා සිරිපා වඳින්නට යන අය ද මේ පිළිබඳ කරුණාවෙන් දැනුම්වත් කරන්න. ඔබට අවශ්‍ය දෑ කුඩා රෙදි බෑග් එකක දමාගෙන එන්න.
- නොදන්නා කුඩා දියකඩිති වලින් නෑමෙන් වළකින්න.
ඔබ නොදන්නා සමහර ගැඹුරු තැන් ජීවිත හානි කිරීමටද පිළිවන. එසේම හැටන් නල්ලත්නිය මාර්ගයෙන් යන විට මෝහිනී ඇල්ලෙන් හා සීත ගඟුලේ පහළ කොටසින් දිය නෑමෙන් වළකින්න.
- තමන් ගැන මෙන්ම තමන් සමඟ සිටින පිරිස ගැන අවධානයෙන් ඉන්න.
සිරිපා කරුණාවේදී නිතරම ඔබ සමග යන වන්දනා නඩය සමගම ගැවසීමට වගබලා ගන්න. විශේෂයෙන් ඔබ කාන්තාවක හෝ තරුණියක් නම් වැඩිහිටියන් සමග ගමන් කරන්න. ඔබ සමග කරුණා කරන කුඩා දරුවන් සහ වැඩිහිටියන් ගැන මනා අවබෝධයකින් සිටීමට ද අමතක නොකරන්න.
කුඩා දරුවන් අතදරුවන් රැගෙන යන මවුවරුන් ද අතරමඟ දී හමුවන්නන් ගැන ප්‍රවේසම් වන්න. ඔබ ගැන අනුකම්පාවෙන් දරුවා වඩාගෙන ඉහළට ගොස් දෙන බව පවසා දරුවා වඩා ගන්නන්ගෙන් ප්‍රවේසම් වන්න. එසේ රැගෙන ගොස් දරුවන්ගේ කරාබු, මාල, පංචායුධ වැනි වටිනා දේ ගලවාගෙන දරුවා ඉහළ තැන්වල දමා ගිය අවස්ථා ද තිබෙන බැවින් දරුවන් නොහඳුනනවුනට දීමෙන් වළකින්න.
- දකුණු පැත්තෙන් ගමන් කිරීමට කාරුණික වන්න.
සිරිපා මළුවට කරුණා කිරීමේදී විශේෂයෙන්ම ඉඳිකටුපාන, මහගිරිදඹ සිට ශ්‍රී පාද මළුවට පිවිසෙන තෙක් හා නැවත පහලට කරුණා කිරීමේදී ඉඳිකටුපාන දක්වා එන විට සෑම විමට දකුණු පැත්තෙන් ගමන් කිරීමට කාරුණික වන්න.
- ඇඳුම් ගැන සැලකිලිමත් වන්න.
විශේෂයෙන් ඔබ කාන්තා පක්ෂයේ කෙනෙකු නම් සිරිපා කරුණා කරන විට ඔබගේ ඇඳුම් ගැන සැලකිලිමත් වන්න. ඉහළට නගින විට සුළඟේ යන කෙටි ඇඳුම් ඇඳීමෙන් වළකින්න. නිතරම දිග කලිසමකට ඔබින දිගු බ්ලවුසයක් හැඳගෙන යන්න. අඩ නිරුවතින් ඇඳුම් ඇඳගෙන ගොස් අනුන්ගේ උසුළු විසුළු වලට ලක් වන්න එපා.
කළු පාට ඇඳුම් වලින් සැරසී එන වන්දනාකරුවන්ට මාවුස්සාකැලේ සමන් දේවාලය වැඳපුදා ගැනීමට අවස්ථාව ලැබෙන්නේ නැත. එබැවින් ඔබගේ ඇඳුම්වල වර්ණය ගැනත් සැලකිලිමත් වන්න.
- විනෝද ගමනක් කර නොගන්න.
සංගීත භාණ්ඩ, ගුවන්විදුලි යන්ත්‍ර, කැසට් යන්ත්‍ර ඉහළට රැගෙන යාමෙන් වළකින්න. මෙය හුදු විනෝද ගමනක් නොවේ. ශ්‍රද්ධාවෙන් යුතුව එසේම අවට පරිසරයේ වෙසෙන සතුන්ට අවහිර නොවන පරිදි යා යුතු වන්දනා ගමනකි. මේවා රැගෙන ගිය හොත් සිදු වන්නේ මේවා පොලිසිය බාරයේ තබා යාමටය. මේ ආකාරයට අවවාද නොතකා රැගෙන එන සංගීත භාණ්ඩ විශාල සංඛ්‍යාවක් පොලිස් ස්ථානවල ගොඩගසා තිබේ.
කිසිසේත්ම මත්පැන් රැගෙන යන්න එපා. ඒවා අත්අඩංගුවට ගැනීමට විශේෂ පොලිස් කණ්ඩායම් යොදවා තිබේ. එසේම බීමතින් සිරිපා වන්දනා කරන්නන්ටද සිදුවන්නේ වෙරි හිඳෙන තුරු එහි තිබෙන සිර මැදිරියක කොටුවන්නටය.