කරුණා ධාරාව ගලා යෑමෙන් මහ පොළොවේ අජිව සජීව හැම වස්තුවක් ම නිවී සැනහීම් බවට පත් කළ ශාන්ත ධර්මයේ ආලෝකයෙන් මුළු තුන්ලොව සතුන්ගේ සිත් එළිය කළ වීතරාගී තිලෝගුරු බුදුරජාණන් වහන්සේ ගේ ලොව පහළවීම – බුදුවීම – පිරිනිවන් පෑම යන අසිරිමත් මංගල කරුණු රැසකින් දේවත්වයට පූජනීයත්වයට පාරිශුද්ධත්වයට ඓතිහාසිත්වයට පත්වුණු ශ්‍රී වෛශාඛ පෞර්ණමී දිනය සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාව ගේ පරම පූජනීය ආගමික දිනය යි. ඒ නිමිති කොට පෙර අපර දෙ දිග හීනයාන මහායාන යන කොටස් දෙකට ඇතළත් හැටකෝටියකට අධික බෞද්ධ ජනතාව විසින් ආමිෂපූජා හා ප්‍රතිපත්ති පූජාවන්හි යෙදීමෙන් බුදුහිමියන් ගේ ශ්‍රී නාමයට නො මැරෙන නො සිඳෙන බැති කුසුම් පුදා කෘතගුණ සලකනු ලැබේ. මුළු ලොව පුබුදු කරවන වෙසක් පුනු පොහොය සමස්ත ලෝකවාසී බෞද්ධයන් ගේ උත්තරීතර ආගමික දිනය වන අතර ලංකාවාසී සිංහල බෞද්ධයන් ගේ ශ්‍රෙෂ්ඨතම ජාතික දිනය ද වන්නේ ය.
අපේ රට කුඩා වුව ද ලෝක බෞද්ධ සංවිධානයේ පෙරමුණ මේ පුංචි ලංකාවට ලැබීම සිංහලයන් වූ අපගේ මහත් භාග්‍යයකි. අවුරුදු දෙදහස් ගණනකට අධික කාලයක් මුළුල්ලෙහි ශ්‍රෙෂ්ඨ බුද්ධ ධර්මය ආරක්ෂා කර ගත් උදාර ජාතියක් වශයෙන් මුළු ලෝකයෙන් ම සිංහලයාට අයත් වනුයේ විශාල ගෞරවයකි. සම්බුද්ධ ධර්මාලෝකයෙන් ආභාසය ලබා නිර්මාණය වුණු නිර්මල සංස්කෘතියක් හා සභ්‍යත්වයක් ඇති අදීන ජාතියක් හැටියට සිංහල ජාතිය ලොව පතළ වීමට ප්‍රධාන හේතුව වූයේ ශුද්ධ බුද්ධ ධර්මය යි. අපේ බෞද්ධ සභ්‍යත්වයට බෞද්ධ සංස්කෘතියට බෞද්ධ ශිෂ්ටාචාරයට ආගමික ගුණධර්ම වලට ජාතික හා ආගමික කලාවන්ට පණ දෙන එක ම දිනය වෙසක් පොහෝ දිනය යි. බෞද්ධයා ගේ ශ්‍රද්ධා භක්තියත් කලා කාරයාගේ නිර්මාණ ශක්තියත් එකට එක් කරන මෙදින ලෝකයා ලබන නිරාමිෂ ප්‍රීතිය සැනසිල්ල අන් කිසිදු දිනයක නො ලබයි. ජාතියත් ආගමත් දෙක එකට අත්වැල් බැඳගෙන යම් උත්සවයක් ලෝකයේ ජාතීන් විසින් පවත්වනු ලැබේ නම් ඒ එක ම උත්සවය සිංහල බෞද්ධයන් විසින් පවත්වනු ලබන වෙසක් උත්සවය යි.
වෙසක් පොහෝ දින වැදගත්කම

1. බෝධිසත්වයන් වහන්සේ මතු බුදුබව පතා ප්‍රථම වරට නියත විවරණ ලැබීම.
2. සිද්ධාර්ථ බෝසත් කුමරු ඉපදීම.
3. සිදුහත් කුමරුන් බුදු වීම.
4. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑම.
5. බුද්ධත්වයෙන් පසුව කිඹුල්වත් පුරට වැඩමවීම සහ යමා මහ පෙළහර පෑම.
6. බුදුරජාණන් වහන්සේගේ තුන් වන ලංකාගමනය වූ කැළණියට වැඩම කිරීම සහ එදිනම සමනල කන්දේ සිරිපා සටහන තැබීම.
7. විජය කුමරු ලක්දිවට පැමිණීම සහ සිංහල ජාතියේ ආරම්භය සිදු වීම.
8. ධර්මාශෝක අධිරාජයාගේ නියමයෙන් දෙවන පෑතිස් රජු දෙවෙනි වර අභිෂේක කිරීම.
9. දුටුගැමුණු රජු රුවන් වැලි මහ සෑ රජුන්ගේ වැඩ ඇරැඹීම.
10. ධර්ම භාණ්ඩාගාරික ආනන්ද තෙරුන් පිරිනිවන් පෑම.
තෙරුවන් සරණයි!
සුපින්බර වෙසක් පුන් පොහොය දිනයක් වේවා!
