ඒනිරවි යුධ (Cold War) සමයයි. ඇමරිකා එක්සත් ජනපදය සහ සෝවියට් සමූහාණ්ඩුව එකිනෙකා පරයමින් තම යුධ ශක්තිය, ආර්ථික ශක්තිය, දේශපාලන බල පරාක්‍රමය ලෝකය පුරා උරගාමින් සිටියහ. දෙවැනි ලෝක යුද්ධයෙන් පසු ලොව සුපිරි බලවතුන් වූ මේ දෙපළ ලොව එකම සුපිරි බලවතා වීමේ අදිටනින් සෑම අතින්ම සිය අණසක පැතිරූ අවධියකි නිරවි යුධ සමය.
ක්‍රමයෙන් දෙරටෙහිම විශේෂිත අවධානයකට ලක්වූ විෂය පථයකි අජටාකාශ විද්‍යාව. පශ්චාත් දෙවන ලෝක යුධ සමයේ ගත කල පළමු දශකය රුසියානුවන් අජටාකාශය තරණය කිරීමේ ප්‍රමුඛයන් බවට පත් කල යුගයක් විය. අති සාර්ථකව ස්පුට්නික් 1 නම් චන්ද්‍රිකාව වර්ෂ 1957 ඔක්තෝබරයේදී කක්ෂ ගත කල ඔවුහු එම වසරේම නොවැම්බරයේදී ස්පුට්නික් 2 නම් චන්ද්‍රිකාවක් මාර්ගයෙන් ලයිකා නම් බැල්ල අභ්‍යවකාශයට ගුවන් ගතකර ප්‍රථමයෙන්ම සජීවී ප්‍රාණියෙක් සාර්ථකව අභ්‍යවකාශගත කල ලොව පළමු දේශය බවටද පත්විය. එතෙකින් නොනැවතී අභ්‍යවකාශ තරඟයේ ප්‍රමුඛයා තමන් බව තවදුරටත් තහවුරු කරමින් මානව ඉතිහාසයේ ප්‍රථම වරට මිනිසෙක් අභ්‍යවකාශගත කිරීමටද ඔවුහු සමත් විය. අප කවුරුත් දන්නා පරිදි සෝවියට් අජටාකාශගාමී යූරි ගගාරීන් එම වික්‍රමය කලේ වර්ෂ 1961 අප්‍රේල් මස වොස්ටොක් 1 නම් අභ්‍යවකාශ යානයේ නැගී පෘතුවිය වටා එක් කක්ෂයක් සම්පූර්ණ කිරීමෙනි.
රුසියානු කඳවුර මෙලෙස සාර්ථක වෙද්දී ඇමරිකානු අභ්‍යවකාශ වැඩපිළිවෙල කුමන හෝ හේතුවකට තවමත් සාර්ථකත්වයක් ලබා ගැනීමට සිහින මවමින් සිටියේය. අප කතා නායිකාව වූ කැතරින් ජී. ජොන්සන් (Katherine G. Johnson ) මෙකල වර්ජිනියා හි ලැන්ග්ලි අජටාකාශ පර්යේෂණ මධ්‍යස්ථානයේ (Langley Research Center) මානව පරිඝණකයක් (Human Computer) ලෙස රාජකාරී කලාය. කුඩාකල සිටම ජ්‍යාමිතිය සහ අංක ගණිතය කෙරෙහි විශේෂ දක්ෂතාවයක් තිබූ ඇය ලැන්ග්ලි පර්යේෂණ මධ්‍යස්ථානයේ සේවය කිරීමට වරම් ලද පළමු කලු ජාතික ඇමරිකානුවන් කණ්ඩායමේ සාමාජිකාවකි. වර්ණභේද වාදය එකල උපරිමයෙන් ඇමරිකානු සමාජය වෙලාගෙන තිබුණි. කළු ජාතිකයන්ට සලකනු ලැබුයේ ඉතාම පහත් ලෙසය. පොදු ස්ථානවල ඔවුනට හිඳගැනීමට, ආහාර ගැනීමට වෙනම අසුන් පනවා තිබුනි. වෙනම වැසිකිළි පහසුකම් ලබා දී තිබුනි. වෙනම කළු ජාතික පාසල් ඇතිකර තිබුණි. එවන් යුගයක වර්තමාන නාසා ආයතනයේ පළමු ක්ෂේත්‍ර මධ්‍යස්ථාන වලින් එකක් වූ ලැන්ග්ලි පර්යේෂණ මධ්‍යස්ථානයේ සේවය කිරීමට වරම් ලැබීම ඇය සතු ගණිත දැනුම මොනවට විදහා පායි. එකල මානව පරිඝණක වල කාර්යය වූයේ අජටාකාශ ගමන්වල සිදුවන සියලුම ගණනය කිරීම් සිදු කිරීමයි. කැතරීන් සතු වූ විශිෂ්ඨ විශ්ලේෂණ ජ්‍යාමිතික (Analytical Geometry) ගණිත හැකියාව නොබෝ දිනකින්ම ඇමරිකානුවන්ට අභ්‍යවකාශය ජයගැනීමට ඉමහත් රුකුලක් විය. ෆ්‍රෙන්ඩ්ෂිප් 7 (Friendship 7) යානයෙන් ඇමරිකානු අජටාකාශගාමී ජෝන් ග්ලෙන් (John Glen) අභයවකාශයට යවා පථිවි කක්ෂයේ වටා හතක් ගමන් කර නැවත පෘතුවියට ළඟාවීමේදී අවශ්‍ය සියලුම ඛණ්ඩාංක ගණනය කරනු ලැබුයේ කැතරින් විසිනි. යානයේ සිදුවූ තාක්ෂණික දෝශයක් නිසා සැලසුම් කල පරිදි පෘථිවි කක්ෂයේ වට හතක් සම්පූර්ණ කල නොහැකි වුවත් ජෝන් ග්ලෙන් රැගත් අභ්‍යවකාශ යානය පෘථිවි කක්ෂයේ වට තුනක් සම්පූර්ණ කිරීමෙන් පසු සාර්ථකව අත්ලන්තික් සාගරය වෙත පතිත වෙන ලද්දේ කැතරීන් ගණනය කර ලබාදුන් ස්ථානීය ඛණ්ඩාංක (Grid Coordination) නූලටම නිවැරදි බව කියාපාමිනි. පසුව ඇමරිකානුවන්ගේ සඳ ගමනට අදාල ඇපොලෝ මෙහෙයුමේදීද ඇය භාරදූර වගකීමක් ඉටු කලාය. පසු කලෙක නාසා ආයතනය IBM පරිඝණක හඳුන්වාදුන් පසුව කැතරීන් නාසා ආයතනයේ විශ්ලේෂණ සහ ගණනය කිරීමේ අංශයේ තම රාජකාරීන් ඉටු කලාය.
ඇමරිකා එක්සත් ජනපදය වෙනුවෙන් කල උත්කෘෂ්ඨ සේවය වෙනුවෙන් වර්ෂ 2015 දී ඇය සිවිල් ඇමරිකානුවන් වෙත පිදෙන ඉහළම සම්මානය වූ නිදහස සඳහා වූ ජනාධිපති පදක්මෙන් (Presidential Medal of Freedom) පිදුම් ලැබුවාය. එමෙන්ම ලැන්ග්ලි පර්යේෂණ මධ්‍යස්ථානයේ නව ගොඩනැගිල්ලක් ඇගේ නමින් (Katherine G. Johnson Research Facility) නම් කෙරිනි. මේ සියලු කාර්යයන් ඇය සිදු කරන ලද්දේ සුදු ජාතිකයින්ගේ අපමණ බාධා කිරීම්, පහත් කොට සැලකීම් සහ කෙනෙහිලිකම් මධ්‍යයේය.
අධිෂ්ඨානය, කැපවීම සහ නිර්භීතභාවය පිළිබඳ ලෝකයටම තම චරිතය තුලින් අපූරු පාඩමක් ඉගැන්වූ ඇය මෙයට දෙමසකට පෙර, එනම් වර්ෂ 2020 පෙබරවාරි මස 24වන දින අවුරුදු 101ක් ආයු වළඳා සදහටම දෙනෙත් පියා ගත්තාය.
කැතරින් ජොන්සන්ගේ ජීවිත කතාව ඇතුලත් විශිෂ්ඨ සිනමා කෘතියක් වර්ෂ 2016දී Hidden Figures නමින් හොලිවුඩයේ තිරගත විය. එම සිනමා කෘතිය නරඹන මෙන් මම ඔබටද ආරාධනා කරමි.
උපුටා ගැනීම: global insight.lk


