මාස 7ක් පුරාවට සම්පූර්ණයෙන්ම අයිස් කැටයක් වගේ මිදිලා, හදවතේ ගැස්මත් නැවතිලා ඉඳලා, වසන්ත කාලය ආවම අයිස් දියවෙලා ආයෙත් පණ ඇවිත් පැනලා යන සතෙක් ගැන ඔබ අහලා තියෙනවාද? ඇලස්කාවේ (Alaska) ජීවත් වෙන “වුඩ් ෆ්‍රොග්” (Wood frog) කියන්නේ සොබාදහමේ ඉන්න අන්න ඒ වගේ අදහාගන්න බැරි සුපිරි හැකියාවක් තියෙන සත්වයෙක්.
ඇලස්කාවේ ශීත කාලයේදී උෂ්ණත්වය සෙල්සියස් අංශක ඍණ 18 (-18°C) දක්වා පහත වැටෙනවා. මේ ගෙම්බා පොළොව යටට යන්නේ නැතිව කොළ රොඩු අතරේ හැංගිලා සම්පූර්ණයෙන්ම මිදෙන්න ඉඩ දෙනවා. උගේ ඇඟේ තියෙන වතුරවලින් 70%ක්ම අයිස් බවට පත්වෙනවා. හැබැයි මේ ගෙම්බාගේ ඇඟෙන් ග්ලූකෝස් සහ යූරියා වගේ ස්වභාවික “antifreeze” රසායනික ද්‍රව්‍ය නිපදවන නිසා, සෛල ඇතුළේ අයිස් හැදෙන්නේ නැහැ. මේ කාලය පුරාවටම ගෙම්බාගේ හුස්ම ගැනීම සහ හෘද ස්පන්දනය සම්පූර්ණයෙන්ම නැවතිලා, හරියට මැරුණු සතෙක් වගේ ඉන්නවා.
මාස 7ක් විතර මේ විදිහට අයිස් වෙලා හිටියට පස්සේ, වසන්ත කාලය ආවම ගෙම්බාගේ ඇඟේ තියෙන අයිස් ටිකෙන් ටික දියවෙන්න පටන් ගන්නවා. පුදුමෙකට වගේ පැය කිහිපයක් ඇතුළත හදවත ආයෙත් වැඩ කරන්න පටන් අරගෙන, ගෙම්බා කිසිම කරදරයක් නැතිව පැනලා යනවා. මිනිසුන්ගේ අවයව බද්ධ කිරීමේදී (organ transplants) ඒ අවයව ආරක්ෂා කරගන්න ක්‍රමයක් හොයාගන්න විද්‍යාඥයන් අදටත් මේ ගෙම්බා ගැන පර්යේෂණ කරනවා.
උපුටා ගැනීම : Beyond Imagination – නොසිතූ ලොවක්


