හිමාලයේ මිදුණු මීදුම් පටල අතරින්, අප දකින ලෝකයට වඩා බොහෝ පැරණි සෙවනැල්ලක් ඉඳහිට මතු වෙනවා. සමහරු ඌ ‘පැන්ඩා’ වර්ගයේ නෑයෙක් කියලා කියනවා. තවත් කෙනෙකුට ඌ රතු පැහැති ‘නරියෙක්’ වගෙත් පෙනෙනවා. තවත් කෙනෙක් උගේ වලිගය දිහා බලලා ඌ ‘රැකූන්’ සතෙක් බව තර්ක කරනවා.
නමුත් සොබාදහම අපට පවසන්නේ ඒ හැම එකටම වඩා වෙනස් කතාවක්. ඌ මේ කිසිවෙකුට අයිති නෑ. සොබාදහම සමහර වෙලාවට අපිව මවිතයට පත් කරන්නේ කිසිදු කාණ්ඩයකට පහසුවෙන් ඇතුළත් කළ නොහැකි සත්ව විශේෂ නිර්මාණය කිරීමෙන්.
ඌ ඔබ දන්නා හැම සත්වයෙකුටම වඩා පැරණියි. ඌ මේ මිහිතලය මත ඇවිද යන්නේ අප අද දකින සත්ව වර්ග පරිණාමය වීමටත් බොහෝ කලකට පෙර සිටයි. ඒ නිසා ඌ හුදෙක් සතෙකු පමණක් නෙවෙයි, කාලය විසින් ඉතිරි කර ගිය පෞරාණික උරුමයක ජීවමාන සාක්ෂිකරුවෙක් ද වෙනවා.
හිමාලයේ මිදුණු මීදුම් සළු අතර වසර මිලියන 25ක කාලයක සිට මේ අපූරු සත්වයා සැරිසරනවා. ලෝකය හිමෙන් වැසී ගිය යුගයන් පැමිණෙනවාත්, නික්ම යනවාත් ඌ නිහඬව බලා සිටියා. වරෙක ලොවම භීතියට පත් කළ සේබර්-දත් සහිත කොටින් වඳ වී යද්දීත්, යෝධ පැන්ඩාවන් මිහිතලයෙන් සමුගැනීමට ආසන්න වෙද්දීත්, රතු පැන්ඩා ඒ සියලු අභියෝග ජයගෙන ජීවත් වීමට සමත් වුනා.
විද්‍යාඥයන් අදටත් රතු පැන්ඩා අයත් වන සත්ව කුලය පිළිබඳ විවාද කරනවා. සමහරු ඌ රැකූන් පවුලට නෑකම් කියන බව පවසන අතර, තවත් පිරිසක් ඔහු වලස් පවුලට සමීප බව පවසනවා. නමුත් සැබෑව නම්, රතු පැන්ඩා කියන්නෙ Ailuridae නම් සත්ව කුලයේ අදටත් ජීවත් වන එකම සහ අවසාන සාමාජිකයා යි.
විද්‍යාවේ වර්ගීකරණයන් පිළිබඳ රතු පැන්ඩාට වගක් නා. ඌ තවමත් හිමාලයේ උණ වනාන්තර අතර, මීදුම මැදින් තනිවම ගමන් කරනවා. අතීතයේ මෙන්ම අදටත් ඔහු සිය රහස්‍යභාවය රැකගෙන සිටිනවා
රතු පැන්ඩා නිදාගන්නකොට තමන්ගේ ලොකු, බුරුසු වගේ වලිගය ශරීරය වටේ ඔතාගන්නවා. ඒක හරියට ශීත කාලයට පොරවන “බ්ලැන්කට්” එකක් වගේ ඔවුන්ව උණුසුම්ව තියනවා. අයිස් මත ඇවිදිනකොට ලිස්සා නොයන්න සහ සීතලෙන් ආරක්ෂා වෙන්න රතු පැන්ඩාගේ පාදවල පතුල පවා ඝන ලොම්වලින් වැහිලයි තියෙන්නේ.
යෝධ පැන්ඩාවන්ට වගේම ඔවුන්ටත් අතේ මැණික් කටුවෙන් නෙරා ආපු අමතර අස්ථියක් තියෙනවා. මේක “මාපටැඟිල්ලක්” වගේ පාවිච්චි කරලා උණ බට අතු හරිම ලෙහෙසියෙන් අල්ලගන්න ඔවුන්ට පුළුවන්.
පරිණාමිකව රතු පැන්ඩා අයිති වෙන්නේ මාංශ භක්ෂක ගණයට වුණත්, ඔවුන්ගේ ආහාර වේලෙන් 95%ක්ම තියෙන්නේ උණ කොළ සහ උණ බට. ඒ වගේම, උන් ගොඩක් වෙලාවට තනිවම ඉන්න කැමති සත්තු. එකට හමුවෙන්නේ පැටවුන් බෝ කරන කාලයට විතරයි.
ප්‍රසිද්ධ අන්තර්ජාල බ්‍රවුසරයක් වන Mozilla Firefox වල නම සහ ලාංඡනය නිර්මාණය වෙන්න මුල් වුනෙත් මේ රතු පැන්ඩා. චීන භාෂාවෙන් මොවුන්ට “Hǔo hù” (Fire fox) කියලත් හඳුන්වනවා.
රතු පැන්ඩා බය වුණාම හෝ සතුරෙක් ආවම තමන්ගේ පසුපස කකුල් දෙකෙන් කෙලින් වෙලා හිටගන්නවා. ඒ තමන් ලොකු සතෙක් කියලා පෙන්වලා සතුරාව බය කරන්න. හැබැයි අපිට නම් ඒක පේන්නේ ලෝකේ තියෙන ලස්සනම සහ අපූරුම දර්ශනයක් විදියට.
අවාසනාවකට රතු පැන්ඩා කියන්නේ දැඩි ලෙස වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇති සත්ව විශේෂයක්. ලෝක සංරක්ෂණ සංගමය (IUCN) මඟින් ඔවුන්ව රතු දත්ත පොතේ “අන්තරායට ලක්වූ” (Endangered) ගණයට ඇතුළත් කර තිබෙනවා. පසුගිය වසර 20ක කාලය තුළ පමණක් මොවුන්ගේ ගහනය 50%කින් පමණ අඩු වී ඇති බව විද්‍යාඥයන් විශ්වාස කරනවා.
ලෝකයේ සමහර දේවල් පවතින්නේ තේරුම් ගැනීමට නෙවෙයි, දෑසින් දැක විඳගැනීමට පමණයි. රතු පැන්ඩා කියන්නෙ ඒ වගේ ජීවමාන පුරාණෝක්තියක්. අපට කරන්න පුලුවන් මේ අද්විතීය සත්වයාගේ නිහඬ පැවැත්මට ගරු කිරීම සහ ඔහුගේ අනාගතය සුරැකීම පමණයි..
උපුටා ගැනීම : Timeline Tales ෆේස්බුක් පිටුව

