ශරීරයට සිදුවන අනතුරු අතරින් හිසට සිදුවන අනතුරු වල භයානක බව වැඩියි. හිස්කබල තුවාල වීම නිසා රක්තපාතය ඇති වෙන්න පුළුවන්. හිසට සිදුවිය හැකි අනතුරු වර්ග ගණනාවක් තිබෙනවා.
භග්න
මෙම අනතුරේදී හිස් කබලේ අස්ථි හිස තුළට නෙරා යාම සිදු වේ.
සම්පිණ්ඩණය
හිස් කබල සහ මොලය ආවරණය කරන බාහිර ආවරණය අතර රුධිරය තැන්පත්වීම සම්පිණ්ඩණය ලෙස හඳුන්වයි. මෙම තත්ත්වය නිසා අන්තර් කපාල පීඩනය ඉහළ යයි.
තාඩිතය
මෙහිදී සිදුවන්නේ මොලය සහ එහි අභ්‍යන්තර කොටස් තැලීමකට ලක් වීමයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස විසඥතාවයට පත් වේ.
අන්තකපාල රක්තපාතය
මොළය අභ්‍යන්තරයට රුධිරය ගලායාම මේ නමින් හඳුන්වනවා. මොළයට සිදු වූ තුවාලයක් නිසා මෙය සිදු වන අතර ඇස්, කන්, නාසය, උගුර ආදී ස්ථාන හරහාද රුධිරය ගැලීම සිදුවෙනවා. මෙවැනි ස්ථානයක දී වමනය, ඔක්කාරය, කම්පනය, හුස්ම ගැනීමේ අපහසුතා, හිස ඉදිමීම හෝ තුවාල දක්නට ලැබීම, රුධිර පීඩනය වැඩි වීම, නාඩි වැටීමේ වේගය වැඩි වීම, විසඥ තාවයට පත් වීම, ආලෝකයට ප්‍රතිචාර නොදක්වා සිටීම වැනි ලක්ෂණ මතු වෙනවා.
විකම්පනය
මොළයට පහරක් වැදීමෙන් ඇති වන පීඩාව විකම්පනය ලෙස හඳුන්වයි. මෙහිදී ස්නායු පද්ධතිය තාවකාලිකව අඩපණ විය හැකි අතර සිද්ධිය අමතක වේ.
හිසට සිදුවූ හදිසි අනතුරකදී ඇස්, කන්, නාසය, මුඛය, තොල් ආදී කොටස් ද තුවාල සිදුවීමට ඉඩ ඇත. මෙම අවයවවල සිට මොළය වෙත සෘජුවම ස්නායු සම්බන්ධ වී ඇති නිසා මෙම ස්ථානවල සිදු වූ තුවාල හරහා මොලයට විශබීජ ඇතුල් වීමේ අවදානම වැඩිය. එම ස්ථාන වල ඇති තුවාල වෙත පළමුව අවධානය යොමු කිරීම කල යුතුය. මුහුණෙහි ඇතිවන කුරුලෑ කැඩීම පවා නුසුදුසු වන්නේ මේ ගැටලුව නිසාය. මුහුණේ ඇති මෙම අවයව සහිත කොටස හඳුන්වන්නේ අන්තරායකාර ත්‍රිකෝණය ලෙසය.
හිසට අනතුරක් වී රුධිරය ගලා යන විට එම ස්ථානය පිරිසිදු රෙදි කඩකින් වැසිය යුතුය. පුද්ගලයා කම්පනයට පත් වී ඇත්නම් ඒ සඳහා ප්‍රතිකාර ලබාදිය යුතුය. තුවාල වූ තැනැත්තා බිම දිගා කරවා රෝහලට ගෙන යන තුරු තැබිය යුතුය. රෝගියාගේ දෙපා ඉහලට එසවීම සිදු නොකළ යුතුය. හුස්ම ගැනීමේ අපහසුතාවයක් පෙනෙන්නට තිබේ නම් කොට්ටයක් මත හිස රැඳවිය යුතුය.
රෝගියා නාසයෙන් පිඹීම සිදු කරන්නේ නම් එය නොකරන ලෙස උපදෙස් දිය යුතුය. රෝගියාගේ නාසයට, මුඛයට, කනට කිසිවක් ඇතුළු නොකළ යුතුය. ආහාර පාන කිසිවක් ලබා නොදිය යුතුය. හැකියාවක් තිබේ නම් ශ්වසනය, නාඩි, රුධිර පීඩනය සහ කණිනිකා වල ප්‍රමාණය මැන සටහන් කර ගත යුතුය. මෙය විනාඩි 15 කට වතාවක් සිදු කිරීම සුදුසු වේ. මේවා සිදු කරන අතරේ හැකි ඉක්මනින් රෝහල වෙත ගෙන යා යුතුය.
උපුටා ගැනීම : wellnessexpert


