in

මාර්ටින් වික්‍රමසිංහ මහතා / martin wickramasinghe

1890 මැයි මස 29 වන දින මාර්ටින් වික්‍රමසිංහ මහතා උපත ලැබීය. කොග්ගල, මලලගම ළමා හේවගේ දොන් බස්තියන් වික්‍රමසිංහ මොහුගේ පියා වන අතර මාගොල්ලෙ බලපිටියේ ලියනගේ නොච්චිහාමි මව වූවාය.


                             1895 දී අන්දිරිස් ගුරුන්නාන්සේගෙන් අකුරු ඉගනීම මුලින්ම කළ අතර 1897 දී ගමේ පන්සලෙන් ඉගනුම ලැබුවේය. ඉන්පසු ඔහු 1900 දී ගාල්ලේ බොනවිස්ටා පාසලට ඇතුල් විය. 1902 වන විට පියාගේ අභාවයත් සමඟ ආර්ථික අපහසුකම් වැඩි වීම නිසා පාසලෙන් අස් වී කොග්ගල වීරානන්ද හිමියන් වෙතින් සිංහල, පාලි සංස්කෘත ඉාගන ගත්තේය. මෙම කාලය තුළ දී ” බාලෝපදේශය” නැමති එතුමාගේ පළමු ග්‍රන්ථය පළ කෙරිණි. 1904 දී නැවත අහංගම සිංහල පාසලට ගිය ඔහු 1906 දී නැවතත් පාසලින් අස් වී කොළඹ කරෝලිස් සිල්වා සාප්පුවේ ලියන්නෙකු ලෙස රැකියාව කළේය.

                 මාර්ටින් වික්‍රමසිංහයන් 1914 දී ” ලීලා” නැමති නවකතාව ලියා ලේඛකයෙක් බවට පත් විය. මොහු ලක්මිණ, දිනමිණ හා සිළුමිණ පුවත්පත් වල කර්තෘ තනතුර හෙබවීය.

                   ” මගේ කය වැඩුනේ අනෙක් සිංහල ගැමියෙකුගේ කය වැඩුනාක් මෙනි. සිත වැඩුනේ වෙනස් විදියකිනි. උසස් විදුහලකින් හෝ පඬිවරයෙකුගෙන් හෝ පිළිවෙලින් උගැන්මක් නොලත් මා දැනුම ලැබුයේ අත්දැකීමෙන් හා ආසාවෙන් පොත් කියවීමෙනි.”

                 ” උපන්දා සිට” කෘතියෙහි මාර්ටින් වික්‍රමසිංහ මහතා තම අධ්‍යාපනය පිළිබඳ සටහන් කොට ඇත්තේ එලෙසිනි.සැබවින්ම හරි හැටි පාසල් අධ්‍යාපනයක් නොලත් වික්‍රමසිංහ මහතා ඉහලම බුද්ධි තලය දක්වා වර්ධනය වූයේ පොතින් පතින් හා ජීවිත තක්ෂලාවෙන් අහුලා ගත් දැනුමෙනි.

                වික්‍රමසිංහයන්ගේ සාහිත්‍ය සේවාව නවකතා, කෙටි කතා, විද්‍යාත්මක කතා, සතුන් පිළිබඳ අධ්‍යාපනය, විචාරය ආදී විවිධ තලයන් ඔස්සේ විහිදී යයි. එහෙත් ඔහු වඩා ප්‍රකට වූයේ නවකතා කරුවකු ලෙසයි. සිංහල නවකතා ඉතිහාසයේ වැදගත්ම ලේඛකයා ලෙස මාර්ටින් වික්‍රමසිංහ මහතා හැඳින්වේ. මොහු එසේ හඳුන්වන්නට හේතු වූයේ 1944 දී පල වූ “ගම්පෙරළිය” නව කතාව තුළින් මෙරට එතෙක් තිබූ නවකතා සාහිත්‍යය වෙනස් මගකට යොමු කිරීම නිසාය.

                නව කතාවක අඩංගු විය යුතු කලාත්මක අංගයන්ද, සාර්ථක චරිත නිරූපනයන්ද, පුළුල් සමාජ දෘෂ්ටියක් සහ යථාර්තවාදී රීතියක්ද ගම්පෙරළිය නවකතාව තුළ දක්නට ලැබුණි. ඉන්පසුව තුන් ඈදුතු නවකතාව සම්පූර්ණ කරමින් “යුගාන්තය” සහ ” කලියුගය” බිහි විය.

                  1956 දී පළ කරන ලද “විරාගය” නවකතාව වික්‍රමසිංහයන්ගේ කලාත්මක නවකතාව හැටියට විචාරකයන්ගේත් රසියන්ගේත් ප්‍රශංසාවට පාත්‍ර විය.

                   මාර්ටින් වික්‍රමසිංහ මහතා විසින් ළමා කෘති හතරක්ද, ජීව විද්‍යා කෘති හයක්ද, අතිරේක කියවීම් පොත් හතරක්ද, නවකතා දාහතරක්ද, කෙටි කතා එකොළහක්ද, නාට්‍ය හතරක්ද, ” තේරී ගී” නමින් පද්‍ය කාව්‍යයක්ද, විචාර ග්‍රන්ථ විසි තුනක්ද, ආදී වශයෙන් ග්‍රන්ථ රාශියක් මෙරට සාහිත්‍යය පෝෂණය කිරීමෙහිලා දායාද කර තිබේ.

                 වික්‍රමසිංහ මහතා “සාහිත්‍ය චක්‍රවර්තී” සම්මානය හා ” ජනාධිපති සාහිත්‍ය සම්මානය” හිමි කර ගත්තේය. එයට අමතරව බ්‍රිතාන්‍ය O.B.E සම්මානයද ලැබුණි.

                මහා ගත් කරු මාර්ටින් වික්‍රමසිංහ ශූරීන් 1976 ජූලි මස අභාවප්‍රාප්ත විය.

Source : Guruthumaweb

What do you think?

Written by Mic

Manatees (/ˈmænətiːz/) මැනේටීස්

ක්‍රිස්ටෝපර් විලියම් විජේකෝන් කන්නන්ගර / C.W.W kannangara