ශ්‍රී දළදා මාලිගාව භාරයේ සිටින හස්තීන් සමූහය හැඳින්වෙන්නේ ‘ඇත් පන්තිය’ ලෙසිනි. රජුගේ මංගල හස්තියා ප්රමුඛ පරිවාර හස්තීන්ගේ භාරකාරත්වය පැවරී තිබුණෙ ගජනායක නිලමේවරයා යටතේ ය. අදටත් එම සම්ප්රදාය පවතී. ශ්‍රී දළදා මාලිගාවේ මෑතකාලීන ඇත් පන්තිය ක්‍රමයෙන් වර්ධනය වූවකි. ඇත් පන්තිය නියෝජනය කළ හා කරන හස්තීන් පිළිබඳව සංක්ෂිප්ත සටහනකි මේ.
1. මාළිගාවේ රාජා
1916 වර්ෂයේ එරාවුර් ප්‍රදේශයෙන් අල්ලාගත් මේ හස්තියා මාම්පිටියේ දිසාවේ විසින් 1937 වර්ෂයේ ශ්‍රී දළදා මාලිගාවට පූජා කරන ලදි. වසර පනහක් අඛණ්ඩව පෙරහැර රාජාකාරිය සඳහා දායකත්වය ලබා දුන් තීක්ෂ්ණ බුද්ධියෙන් යුතු ප්රතාපවත් හස්තියෙකි. 1983 වර්ෂයේ ශ්‍රී ලංකා රජයෙන් ජාතික වස්තුවක් ලෙස නම් කළ රාජා හස්තියා 1988 වර්ෂයේ වයස්ගතවීමත් සමඟ ඇති වූ අසනීප තත්ත්වය හේතුවෙන් ජීවිතක්ෂයට පත් විය.
2. ස්කන්ධා
1937 වර්ෂයේ බෝසත් රාජා සමඟ මාම්පිටියේ දිසාවේ විසින් ශ්‍රී දළදා මාලිගාවට පූජාකළ හස්තියෙකි. 1975 වර්ෂයේ ජීවිතක්ෂයට පත් විය.
3. ජය රාජා
1966 වර්ෂයේ හිටපු ඉන්දීය අගමැතිනි ඉන්දිරා ගාන්ධි මැතිණිය විසින් ශ්‍රී දළදා මාලිගාවට පූජා කරන ලදි. විදේශයකින් ශ්‍රී දළදා මාලිගාවට පූජා කරන ලද පළමු හස්තියා වූයේ ජය රාජා ය. ක්ෂය රෝග තත්ත්වය නිසා 1992 වර්ෂයේදී ජීවිතක්ෂයට පත් විය.
4. ඒක දන්ත (ස්කන්ධ රාජා/නිළමේ)
1977 වර්ෂයේ විමලා කන්නංගර අමාත්‍යතුමිය විසින් පින්නවල අලි අනාථාගාරය හරහා පූජා කරන ලද වාසනාවන්ත හස්තියෙකි. දවල් පෙරහැරේ සධාතුක කරඬුව වැඩමවීමේ භාරදූර කාර්යය අකුරට ම ඉටු කළ මෙම හස්තියා 2017 වසරේ ඇති වූ හදිසි රෝගී තත්ත්වයක් නිසා ජීවිතක්ෂයට පත් විය.
5. කණ්ඩුල අලියා
1977 වර්ෂයේ හිටපු දියවඩන නිළමේ නිශ්ශංක විජේරත්න මැතිතුමා විසින් පින්නවල අලි අනාථාගාරයෙන් රු. 250000කට මිලදී ගත් අලියෙකි. අදටත් නිරෝගීව සිටින කණ්ඩුලගේ මද කාලය පෙරහැර සමයේ වීම නිසා පෙරහැරට සහභාගි නොවේ.
6. විජය රාජා (තායි ඇතා)
1986 වර්ෂයේදී තායිලන්ත රජයෙන් ශ්‍රී දළදා මාලිගාවට පරිත්‍යාග කරන ලදි. තායිලන්තයේ සිට මෙරටට පැමිණි පළමු හස්තියා ය. විටින් විට ඇසළ පෙරහැර සඳහා දායකත්වය ලබා දෙයි.
7. ඉන්දි රාජා
1988 වර්ෂයේ මාර්තු මස ඉන්දීය අගමැති රජිව් ගාන්ධි මැතිතුමා විසින් ශ්‍රී දළදා මාලිගාවට පූජා කරන ලදි. මුදුමලේ වනෝද්‍යානයේ හීලෑ ඇතින්නකට හා වන ඇතෙකුට දාව උපන් ඉතා තීක්ෂ්ණ මතක ශක්තියක් ඇති මංගල හස්තියෙකි. දළදා මාලිගාවේ ඇත් පන්තියේ වත්මන් නායකයා වන්නේ ද මොහුයි.
8. ජන රාජා (අරිට්ඨ)
1988 වර්ෂයේ හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා විසින් දෙහිවල සත්වෝද්‍යානය හරහා දළදා මාලිගාවට පූජා කරන ලද අලංකාරවත් හස්තියෙකි.
9. නාලක අලියා
හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මැතිතුමා විසින් ශ්‍රී දළදා මාලිගාවට පූජා කරන ලද මේ අලියා විශාල දේහයකින් යුතු ප්රතාපවත් අලියෙකි. මද කාලය පෙරහැර සමයේ වීම නිසා පෙරහැරට සහභාගි නොවේ.
10. කදිරා අලියා
කෙරමිණියේ අනෝමදස්සි හිමියන් විසින් ශ්‍රී දළදා මාලිගාවට පූජා කරන ලද හස්තියෙකි. මද කාලය පෙරහැර සමයේ වීම නිසා පෙරහැරට සහභාගි නොවේ.
11. සීතා ඇතින්න
කෙරමිණියේ අනෝමදස්සි හිමියන් විසින් ශ්‍රී දළදා මාලිගාවට පූජා කරන ලද ඇතින්නකි. ජීවතුන් අතර නැත.
12. සිංහ රාජා
1994 වර්ෂයේ ශ්‍රී ලංකා යුධ හමුදාවේ සිංහ රෙජිමේන්තුව විසින් ශ්‍රී දළදා මාලිගාවට පූජා කරන ලද වාසනාවන්ත හස්තියෙකි. දළදා පෙරහැර කරඬුව වැඩමවීමේ පුණ්‍යවන්ත කාර්යයට කැප වී සිටින තේජාන්විත හස්තියෙකි.
13. සාම රාජා අලියා
හිටපු ජනාධිපති ඩී.බී. විජේතුංග මැතිතුමා විසින් ශ්‍රී දළදා මාලිගාවට පූජා කරන ලද අලියෙකි. ටික කලකින් ජීවිතක්ෂයට පත් විය.
14. මිගාර හස්තියා
1999 වර්ෂයේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය විසින් උඩවලව වනෝද්‍යානය හරහා ශ්‍රී දළදා මාලිගාවට පූජා කරන ලදි.
15. කාවේරි රාජා
1998 වර්ෂයේ හිටපු ඉන්දීය අගමැති අතර් බිහායි වප්පායි මැතිතුමා විසින් ශ්‍රී දළදා මාලිගාවට පූජා කරන ලදි. අනතුරකින් ඉදිරිපස පාදයට හානී වී ආබාධිතව සිටින නිසා පෙරහැර කටයුතුවලින් විශ්‍රාම ලබා ඇත.
16. වෑවලදෙණියේ රාජා
2013 වර්ෂයේ වෑවලදෙණිය රජමහා විහාරාධිපති හිමියන් විසින් ශ්‍රී දළදා මාලිගාවට පූජා කරන ලද දළදා කරඬුව වැඩමවූ මංගල හස්තිරාජයෙකි. 2014 වර්ෂයේ ඇති වූ අසනීප තත්ත්වය නිසා පල්ලේකැලේ ඇත්ගාලේදී ජීවිතක්ෂයට පත් විය.
17. මැණිකේ ඇතින්න
එස්.බී. රැකව මහතා විසින් පූජා කරන ලදි. අකුණු සැර වැදීමක් හේතුවෙන් ජීවිතක්ෂයට පත් වූවා ය.
18. බුරුම රාජා
2007 වර්ෂයේ මියන්මාර රජයෙන් ශ්‍රී දළදා මාලිගාවට පූජා කෙරුණු මෙම හස්තියා 2016 වර්ෂයේ පළමු වරට පෙරහැර කරඬුව වැඩමවූ අතර දැනට නිත්‍ය දෑළේ හස්තියෙකු ලෙස පෙරහැර මංගල්‍යයට සම්බන්ධ වේ.
19. මියන් රාජා
2007 වර්ෂයේ බුරුම රාජා සමඟ මියන්මාර රජයෙන් පූජා කරන ලද හස්තියෙකි. නිත්‍ය දෑළේ හස්තියෙකු ලෙස පෙරහැර මංගල්‍යයට සම්බන්ධ වේ.
20. පුලතිසි රාජා
2017 වර්ෂයේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ඉල්ලීමකට අනුව මියන්මාර රජයෙන් ශ්‍රී දළදා මාලිගාවට පූජා කළ හස්තියෙකි. 2020 වර්ෂයේ පළමු වරට පෙරහැර මංගල්‍යයට සහභාගී විය. අනාගතයේ පෙරහැර මංගල්‍යයට සුවිශේෂ දායකත්වයක් සපයනු නො අනුමාන ය.
ශ්‍රී දළදා මාලිගාවේ ඇත් පන්තිය නියෝජනය කළ හස්තීන් = 20
දැනට ජීවත් ව සිටින හස්තීන් = 12
ජීවිතක්ෂයට පත් හස්තීන් = 08
මඳ සමය, ආබාධ නිසා පෙරහැරට සහභාගි නොවන හස්තීන් = 06
ඇසළ පෙරහැර සඳහා දායකත්වය ලබා දෙන හස්තීන් = 06
(ඉන්දිරාජා, සිංහරාජා, බුරුමරාජා, මියන්රාජා, ජනරාජා, පුලතිසිරාජා)














මූලාශ්‍ර
– ශ්‍රී ලංකාවේ අලි ඇතුන්ගේ ඉතිහාසය – ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර මහතා
– හස්ති රාජ වංශය – ස්වර්ණවාහිනී නාලිකාව
– හිටපු දියවඩන නිළමේ නෙරංජන් විජේරත්න මැතිතුමා – ජයමග ටීවී නාලිකාව
– හස්ති රාජ වංශය – තාරක උමයංග
දිල්ෂාන්
– මුහුණු පොත ආශ්රිත සටහන්
විශේෂ ස්තූතිය – ඡායාරූපවල මුල් හිමිකරුවන්ට
සටහන – මහේෂ ද අල්විස්
උපුටා ගැනීමකි: අතීතාවර්ජනා…


