ටයිග්‍රීස් නදිය අසබඩ සැඟවුණු මහා ඇලෙක්සැන්ඩර්ගේ නැතිවූ වරාය නගරය යළි සොයාගැනෙයි…
වසර දහස් ගණනාවක් තිස්සේ ඉතිහාසඥයන් සහ පුරාවිද්‍යාඥයන් අතර දැඩි කුතුහලයක් ඇති කර තිබූ, මහා ඇලෙක්සැන්ඩර් රජු විසින් ඉදිකරන ලද “නැතිවූ නගරය” පිළිබඳ අභිරහස විසඳන්න පුරාවිද්‍යාඥයින් සමත් වෙලා තියෙනවා. ක්‍රිස්තු පූර්ව 330 දී පමණ මහා ඇලෙක්සැන්ඩර් රජු විසින් ලොව පුරා නගර රාශියක් පිහිටුවනු ලැබූ අතර, ඉන් බොහොමයක් ඔහුගේ නමින්ම නම් කරනු ලැබුවා. ඒ අතරින් කාලයාගේ වැලි තලාවෙන් වැසී ගොස් තිබූ, ඉරාකයේ ටයිග්‍රීස් නදිය අසබඩ පිහිටි “Alexandria-on-the-Tigris” (ටයිග්‍රීස් නදිය අසබඩ ඇලෙක්සැන්ඩ්‍රියාව) නගරය පිළිබඳ තොරතුරු තමයි මේ වන විට පුරාවිද්‍යාඥයින් විසින් අනාවරණය කරගෙන තියෙන්නේ.
ක්‍රි.පූ. 330 දී පර්සියානු අධිරාජ්‍යය යටත් කර ගැනීමෙන් පසු, ඉන්දු නිම්නයේ සිට ආපසු එන ගමනේදී ඇලෙක්සැන්ඩර් රජු මේ නගරය පිහිටුවන ලද බවයි ඉතිහාස ග්රන්ථ වල සඳහන් වෙන්නේ. ඒ කාලයේ ටයිග්‍රීස් සහ යුප්‍රටීස් ගංගාවලින් ගසාගෙන එන රොන්මඩ (Sedimentation) නිසා පැරණි වරායන් භාවිතයට ගන්න බැරි තත්ත්වයට පත්වෙමින් තිබුණා.
මේ ගැටලුවට විසඳුමක් විදියට ඇලෙක්සැන්ඩර් රජු ටයිග්‍රීස් සහ කරුන් (Karun) යන ගංගා දෙක එක්වන මංසන්ධියේ මේ නව වරාය නගරය ඉදි කළා. පසුකාලීනව “Charax Spasinu” ලෙස හැඳින්වුණු මේ නගරය, මෙසපොතේමියාවේ අභ්‍යන්තරය සහ ඉන්දියන් සාගරයේ වෙළඳ මාර්ග යා කරන ප්‍රධානතම මධ්‍යස්ථානය බවට පත් වුනා.




මේ නගරයේ වැදගත්කම මොනතරම් ද කිව්වොත්, රෝම ලේඛකයින් පවා ඔවුන්ගේ පොත්පත්වල මේ නගරය ගැන ලියා තිබුණා.සිරියාවේ පැල්මයිරා වගේ ඉතා ඈත ප්‍රදේශවලින් හමු වුනු සෙල්ලිපිවල පවා මේ නගරයේ නම සඳහන් වෙලා තිබුණා. ඉතිහාස පොත්වල සහ සෙල්ලිපිවල මේ නගරය ගැන විස්තර තිබුණත්, කාලයත් සමඟ නගරය වැළලී ගිය නිසා එය හරියටම පිහිටා තිබුණේ කොහේද කියලා සියවස් ගණනාවක් යනතුරු පුරාවිද්‍යාඥයන්ට රහසක්ව පැවතුණා.
දකුණු ඉරාකයේ Jebel Khayyaber ප්‍රදේශයේ පිහිටි මේ නගරය පිළිබඳ මුල්ම ඉඟිය හමුවුනේ 1960 දශකයේ බ්‍රිතාන්‍ය ගුවන් හමුදාවේ ඡායාරූපවලින්. 1960 දශකයේදී ජෝන් හැන්ස්මන් නම් පර්යේෂකයා, බ්‍රිතාන්‍ය ගුවන් හමුදාව ලබාගත් ඡායාරූප පරීක්ෂා කිරීමේදී පොළොව යට වැළලී ඇති දැවැන්ත නගරයක සහ තාප්පවල සලකුණු මුල්වරට හඳුනා ගත්තා. නමුත්, කලාපයේ පැවති යුධ ගැටුම් හේතුවෙන් ගවේෂණ කටයුතු ප්‍රමාද වුනා.
පසුව, 2016 වසරේදී ජර්මනියේ කොන්ස්ටන්ස් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ස්ටෙෆාන් හවුසර් ප්රමුඛ කණ්ඩායම විසින් නවීන තාක්ෂණය යොදා ගනිමින් විධිමත් පර්යේෂණ ආරම්භ කළා.. එහිදී ඔවුන් නගරයේ මතුපිට සැකැස්ම ඩිජිටල් ආකෘති විදියට සකස් කිරීම සඳහා ඩ්‍රෝන යානා යොදාගත්තා. පොළොව යට සැඟවී ඇති ව්‍යුහයන් හඳුනා ගැනීම සඳහා පොළොව හෑරීමකින් තොරව පොළොව යට සැඟවී ඇති ව්‍යුහයන් හඳුනා ගැනීමට භාවිතා කරන තාක්ෂණික ක්‍රමයක් වෙන Magnetometry ක්රමවේදයත්, කිලෝමීටර් 500 කට අධික දුරක් පා ගමනින් ගොස් මැටි භාණ්ඩ සහ ගඩොල් කැබලි පරීක්ෂා කිරීම වගේ ක්ෂේත්‍ර පරීක්ෂාත් සිදුකළා.
මේ සියල්ල අවසානයේ ගවේෂණයන් පෙන්වා දෙන්නේ මෙය ඊජිප්තුවේ ඇලෙක්සැන්ඩ්‍රියාවට සමාන වූ, ඉතා ක්‍රමවත්ව සැලසුම් කරන ලද “මහා නගරයක්” (Metropolis) බවයි. ඒ අනුව, නගරය වටා මීටර් 8 ක් (අඩි 26ක්) පමණ උසැති දැවැන්ත ප්‍රාකාර පද්ධතියක්, ජාලගත වීදි පද්ධතියක් (Gridded streets), දැවැන්ත නිවාස පේළි, දේවස්ථාන සහ කර්මාන්තශාලා.වගේම නගරය තුළටම වන්නට පිහිටි වරායක් සහ උද්‍යාන සහිත රජමාළිගා සංකීර්ණයක් සහ නගරයේ ජනගහනයට අවශ්‍ය ආහාර නිෂ්පාදනය සඳහා උතුරින් පිහිටි විශාල වාරිමාර්ග පද්ධතියක්. මෙහි තිබුණු බවයි පර්යේෂකයන් සඳහන් කරන්නේ.
මේ වාරිමාර්ග පද්ධතිය මගින් පැහැදිලි වන්නේ නගරයේ සිටි විශාල ජනගහනයට අවශ්‍ය ආහාර (ධාන්‍ය) එම ප්‍රදේශයේම මහා පරිමාණයෙන් වගා කළ බවයි.
මේ නගරය හුදෙක් ජනාවාසයක් පමණක් නෙවෙයි, මෙසපොතේමියාවේ අභ්‍යන්තරය සහ ඉන්දියන් සාගරයේ වෙළඳ මාර්ග යා කරන ප්‍රධාන මධ්‍යස්ථානයක් විදියටත් ක්‍රියා කළා. ඉන්දියාව, ඇෆ්ගනිස්ථානය සහ ඒ අවට රටවලින් පැමිණි වෙළඳ භාණ්ඩ රෝමය සහ අනෙකුත් ප්‍රදේශවලට බෙදා හැරුණේ මේ වැදගත් මධ්‍යස්ථානය හරහායි. ක්‍රි.පූ. 300 සිට ක්‍රි.ව. 300 දක්වා කාලය තුළ මේ නගරය ඉතා දියුණු මට්ටමක පැවති බව හඳුනාගෙන තියෙනවා..

වසර 500 කට අධික කාලයක් (ක්‍රි.පූ. 300 සිට ක්‍රි.ව. 300 දක්වා) ලෝක වෙළඳාමේ කේන්ද්‍රස්ථානයක් විදියට වැජඹුණු මේ නගරයේ පරිහානියට හේතු වෙලා තියෙන්නේ සතුරන් නෙවෙයි, සොබාදහමයි. කාලයත් සමඟ ටයිග්‍රීස් ගංගාව ගලා යන පථය බටහිර දෙසට වෙනස් වුනා. මේ නිසා මුහුදු වෙරළ ක්‍රමයෙන් දකුණට තල්ලු වෙලා නගරය මුහුදෙන් හුදකලා වුනා.
ක්‍රි.ව. 3 වන සියවස වන විට නගරය මුහුදු වෙරළේ සිට කිලෝමීටර් 180 ක් පමණ දුරින් පිහිටි ගොඩබිම් ප්‍රදේශයක් බවට පත් වුනු නිසා, වෙළඳ නැව් වලට පැමිණීමට බැරි වුනා. අවසානයේ ජනතාව නගරය අත්හැර ගියා.
අද වන විට ඉරාකයේ ප්‍රධානතම වරාය නගරය වෙන බස්රා (Basra) වරාය නගරය ඉටු කරන කාර්යභාරය එදා ඉටු කළේ මේ අභිරහස් නගරයයි. ඒ අනුව, මේ ඓතිහාසික සොයාගැනීම හෙලනිස්ටික් (Hellenistic) යුගයේ මැදපෙරදිග ඉතිහාසය සහ පෙරදිග-අපරදිග වෙළඳ සබඳතා පිළිබඳව අප සතු දැනුම සම්පූර්ණයෙන්ම වෙනස් කිරීමට සමත් වෙනවා.
මේ ගවේෂණය මෙහෙයවනු ලබන්නේ ජර්මනියේ කොන්ස්ටන්ස් විශ්වවිද්‍යාලය විසින්. මහාචාර්ය Stefan Hauser මෙහි ප්‍රධාන පර්යේෂකයා වන අතර, මේ ව්‍යාපෘතිය Charax Spasinu Project ලෙස හැඳින්වෙනවා.
උපුටා ගැනීම : Timeline Tales ෆේස්බුක් පිටුව


