දවස පුරා හිරු එළිය බොමින්, කාබන් ඩයොක්සයිඩ් උරාගෙන, ඔක්සිජන් නිපදවමින් පෘථිවියේ ජීවිතය රැකගන්නා ගස් ගැන අපි බොහෝ දේ දන්නවා. නමුත් රාත්‍රිය උදා වූ විට ඒ ගස්වලට මොකද වෙන්නේ? ඒවාත් අපි වගේම “විවේක ගන්නවාද?” කියන ප්‍රශ්නය දිගු කලක් විද්‍යාඥයන්ටත් අභිරහසක්ව තිබුණා.
2016 වසරේ සිදු කළ සුවිශේෂී පර්යේෂණයක් ඒ ප්‍රශ්නයට අලුත් පිළිතුරක් ලබා දුන්නා. ඒ පර්‍යේෂණයේ ප්‍රතිඵලය වුනේ, ගස් සැබෑ අර්ථයෙන් නිදාගන්නවා කියලා කියන්න බැරි වුණත්, රාත්‍රියේදී ඒවායේ ශාඛා සහ කොළ “විවේක තත්ත්වයකට” පත්වන බවට ප්‍රබල සාක්ෂි හමු වීමයි.
මේ පර්යේෂණය සිදු කළේ ෆින්ලන්ත භූගෝලීය පර්යේෂණ ආයතනය ඇතුළු යුරෝපීය විද්‍යාඥ කණ්ඩායමක් විසින්. ගස්වල සූක්ෂ්ම චලනයන් මැනීම සාමාන්‍ය ඇසට හෝ සාමාන්‍ය කැමරාවකට හසුකර ගැනීම අතිශය අපහසු කාර්යයක්. මොකද, රාත්‍රී කාලයේදී ආලෝකය ලබා දීලා ඡායාරූප ගන්න ගියොත්, ඒ කෘතිම ආලෝකය නිසා ගස්වල ස්වභාවික ක්‍රියාවලියට බාධා පැමිණෙනවා. ඒ නිසාමේ සඳහා විද්‍යාඥයින් විසින් ‘ලයිඩර්’ (LiDAR) නමින් හැඳින්වෙන අති නවීන ලේසර් ස්කෑනර් තාක්ෂණය භාවිතා කළා. මේකෙන් කිසිම කෘතිම ආලෝකයක් හෝ පරිසරයට බලපෑමක් නොකර, මිලිමීටරයකටත් වඩා අඩු සූක්ෂ්ම වෙනස්කම් පවා ඉතා නිවැරදිව ගණනය කරන්න විද්‍යාඥයින්ට පුලුවන් වුනා.
පර්යේෂණයට ඔස්ට්‍රියාවේ සහ ෆින්ලන්තයේ බර්ච් ගස් දෙකක් තෝරාගෙන තිබුණේ, විවිධ පරිසරවලත් එකම ප්‍රතිඵල ලැබෙනවාද කියලා පරීක්ෂා කිරීමටයි.
රාත්‍රිය ආරම්භ වෙලා පැය කිහිපයක් ගතවෙද්දී, ගස්වල අතු සහ කොළ ක්‍රමයෙන් පහළට නැමෙන බව ඔවුන් දුටුවා. උදෑසන හිරු උදාවට ආසන්න වන විට ඒ නැමීම උපරිමයට ළඟා වෙලා තිබුණා. සමහර ශාඛා සෙන්ටිමීටර් 10ක් පමණ පහළට වැටී තිබුණා. හිරු නැවත උදාවත් සමඟම ගස පැය කිහිපයක් ඇතුළත ආයෙත් එහි සාමාන්‍ය ඉරියව්වට පැමිණියා.
ඒත් මේ වෙනස සිදු වුණේ ඇයි?
විද්‍යාඥයන්ට ඒ සඳහා ප්‍රධාන පැහැදිලි කිරීම් දෙකක් තිබෙනවා. පළමුවැන්න වන්නේ ජල පීඩනයේ හෙවත් turgor pressure එකේ වෙනස් වීමයි. දහවල් කාලයේදී ප්‍රභාසංස්ලේෂණය ක්‍රියාත්මක වෙන නිසා ගසේ සෛල තුළ ජල පීඩනය ඉහළ යනවා. මේක ශාකයේ අතු සහ පත්‍ර ඍජුව තබා ගන්න උදවු වෙනවා. රාත්‍රියේ ප්‍රභාසංස්ලේෂණය නතර වුනාම ඒ පීඩනය අඩුවෙන නිසා අතු සහ කොළ මදක් පහළට නැමෙනවා. මේක මේක හරියටම මිනිසෙක් දවස පුරා වෙහෙස වෙලා තමන්ගෙ මාංශපේශී ලිහිල් කරගෙන ඇඳක් මත සැතපෙනවා හා සමාන ක්‍රියාවලියක්.
දෙවැනි අදහස තවත් රසවත්. දහවල් කාලයේදී ගස තම කොළ පුලුවන් තරම් හිරු එළිය ලැබෙන ආකාරයට හැරවීමට නිරන්තරයෙන් ශක්තිය වැය කරනවා. ඒත් රාත්‍රියේ හිරු එළිය නැති නිසා ඒ උත්සාහය අවශ්‍ය නෑ. ඒ නිසා ගස ශක්තිය ඉතිරි කරගැනීම සඳහා ස්වභාවික “විවේක ඉරියව්වකට” පත්වනවා වෙන්න පුලුවන් බව විද්‍යාඥයන් යෝජනා කරනවා.
මේ සොයාගැනීමත් සමඟ තවත් වැදගත් සංකල්පයක් ගැන අවධානය යොමු වුණා. ඒ තමයි සර්කැඩියානු රිද්මය. මිනිසුන්, සතුන් සහ ශාක බොහොමයක් පැය 24ක ජෛව ඔරලෝසුවකට අනුව ක්‍රියා කරනවා. ශාකවලත් දහවල් සහ රාත්‍රිය අනුව සක්‍රීය වන සහ අක්‍රීය වන ජාන තිබෙන බව කලින්ම දැන සිටියත්, මුළු ගසකම චලනය මේ තරම් පැහැදිලිව ස්වභාවික පරිසරයකදී වාර්තා වූ පළමු අවස්ථාව මෙයයි.
පසුව සිදු වූ තවත් විශාල පර්යේෂණයක් මේ අදහසට අලුත් මානයක් එකතු කළා. වසර 8ක් පුරා ගස් 170කට අධික සංඛ්‍යාවක දත්ත මිලියන 57කට වැඩි ප්‍රමාණයක් විශ්ලේෂණය කිරීමෙන්, ගස්වල සැබෑ වර්ධනයේ වැඩි කොටසක් සිදුවන්නේ රාත්‍රියේදී බව විද්‍යාඥයන් සොයාගත්තා. රාත්‍රියේ වායුවේ වියළි බව (VPD) අඩු වෙන නිසා ගසට ජලය රඳවා ගැනීමට පහසු වන අතර එවිට සෛල විශාල වෙලා වර්ධනය වේගවත් වෙනවා.
ඒ කියන්නේ, දවල් කාලයේදී ගස ප්‍රධාන වශයෙන් ශක්තිය නිපදවමින් ආහාර සකස් කරන අතර, රාත්‍රියේදී ඒ ශක්තිය භාවිත කරමින් ශරීරය වර්ධනය කරගන්නවා. මේ හේතුව නිසාම රාත්‍රිය ගසකට ඉතා වැදගත් කාලයක්.
ශාකවල මේ නිද්‍රාශීලී චර්යාව පිළිබඳව මුල්ම වරට ලෝකයට අදහසක් ඉදිරිපත් කළේ සුප්‍රකට පරිණාමවාදී විද්‍යාඥ චාල්ස් ඩාවින් විසින්. ඔහු 1880 දී ප්‍රකාශයට පත් කළ “The Power of Movement in Plants” කෘතිය මගින් කුඩා පැලෑටි සහ පඳුරු වර්ගවල කොළ රාත්‍රී කාලයේදී හැසිරෙන ආකාරය (Nyctinasty) නිරීක්ෂණය කරලා සටහන් තබා තිබුණා.
ඒත්, මීටර් ගණනාවක් උස මහා වෘක්ෂයන් පවා මේ විදියට රාත්‍රියට නින්දට යන බව ඔප්පු කරන්න ඒ කාලයේ තාක්ෂණය ප්‍රමාණවත් වුනේ නෑ. නමුත් ඊට වසර 130 කටත් වඩා වැඩි කාලයකට පසුව වර්තමාන විද්‍යාඥයින් විසින් ලේසර් තාක්ෂණයෙන් ඔප්පු කරලා පෙන්වලා තියෙන්නේ එදා ඩාවින් දුටු සිහිනය සැබෑවක් බවයි.
කොහොම වෙතත්, “ගස් නිදාගන්නවා” කියන කතාව විද්‍යාත්මකව පරිස්සමින් භාවිත කළ යුතු වචනයක්. ගස්වලට මිනිසුන්ට හෝ සතුන්ට වගේ මොළයක් හෝ ස්නායු පද්ධතියක් නෑ. ඒ නිසා ඒවා නිදාගන්නවා කියන එකට වඩා රාත්‍රියේ විවේක තත්ත්වයකට පත්වනවා කියන එක නිවැරදියි. ඒත් ඒ විවේකය ගසක සෞඛ්‍යයට, වර්ධනයට සහ ඊළඟ දවසේ ප්‍රභාසංස්ලේෂණයට අත්‍යවශ්‍ය පියවරක් බව දැන් විද්‍යාව පැහැදිලි කරලා තියෙනවා.
අපි නිදාගෙන නැවත උදෑසන ප්‍රබෝධමත්ව අවදි වෙනවා වගේම, වනාන්තරයක ගස් ද රාත්‍රියේ නිහඬව තම අතු මදක් පහත් කරගෙන විවේක ගනිමින්, අලුත් දවසකට සූදානම් වනවා. ඒ නිසා මීළඟ වතාවේ රාත්‍රියක ගසක් දිගා බලන කොට, ඒක නිශ්චලව සිටින බවක් පමණක් නෙවෙයි, ජීවිතයේ සන්සුන්ම රිද්මයකට අනුගත වෙමින් “විවේක ගන්නා” ජීවියෙක් විදියටත් ඔබට ඒක දකින්න පුලුවන් වේවි.
ඉතින් පරිසරයේ සමතුලිතතාවය රැකගන්න නම්, මේ නිහඬ ජීවීන්ගේ රාත්‍රී විවේකය පවා අප විසින් සුරැකිය යුතු බවයි නේ පර්යේෂණය අපට සිහිපත් කරන්නේ.
✍️ Timeline Tales


