පෘථිවියේ ජීව ඉතිහාසය පිළිබඳ අපේ දැනුම, නව පොසිල සොයාගැනීම් සහ නව විද්‍යාත්මක තාක්ෂණයන් නිසා නිරන්තරයෙන් වෙනස් වෙනවා. ඒ විදියට විද්‍යාත්මක ලෝකය යාවත්කාලීන කරන ඒ වගේ සොයාගැනීමක් 2026 වසරේ Science Advances සඟරාවේ පළ වූ පර්යේෂණයකින් ලෝකයට හඳුන්වා දුන්නා. අද ඔබත් සමඟ බෙදාගන්නේ ඒ නව සොයාගැනීම ගැනයි.
පෘථිවිය මත දැවැන්ත ඩයිනෝසරයන්ගේ අඩිශබ්දය පැතිරෙන්නත්, අහස උසට වැඩුණු මහා වනාන්තර බිහිවෙන්නත් බොහෝ කාලයකට පෙර අපේ පෘථිවිය තිබුණේ මුළුමනින්ම වෙනස්ම මුහුණුවරකයි. අද අප දකින ශාක ලෝකයේ මුල්ම මුතුන්මිත්තන් ඒ යුගයේදී නිහඬවම පෘථිවිය මත මුල් අදිමින් සිටියා. අතීතයේ සැඟවුණු ඒ අපූර්ව පරිසර පද්ධතියේ රහසක් හෙළි කරමින්, මෙතෙක් ලොව හමු වුන පැරණිතම ඇම්බර් කැබලි හෙවත් ෆොසිල බවට පත් වුන ශාක රෙසින්/මැලියම් කැබලි කිහිපයක් සොයාගැනීමට විද්‍යාඥයන් සමත්ව සිටිනවා.
ඒවායේ වයස වසර මිලියන 385ක් පමණ වන බවට කාල නිර්ණය කරලා තියෙනවා, ඒ අනුව, චීනයේ මධ්‍ය ඩෙවෝනියානු යුගයට අයත් ගල් අඟුරු ස්ථරවලින් සොයාගත් මේ ඉතා කුඩා ඇම්බර් කැබලි, මෙතෙක් ලොව හඳුනාගෙන ඇති පැරණිතම ඇම්බර් බව ඒ පර්යේෂණයෙන් තහවුරු වුනා. ඒ කියන්නෙ ආදි පෘථිවියේ විසූ ශාකයක් මේ ගස් දුම්මල නිපදවලා තියෙන්නෙ මුල්ම ඩයිනෝසරයා පෘථිවියට පා තැබීමටත් වසර මිලියන 150 කට පමණ පෙරයි.
අද ලෝකයේ හමුවෙන බොහෝ ඇම්බර් නිදර්ශන වසර මිලියන 20 සිට 100 දක්වා වයස්ගත ඒවායි. ඊට වඩා පැරණි ඇම්බර් ඉතා දුර්ලභයි. ඒ නිසා වසර මිලියන 385ක් පැරණි ඇම්බර් හමුවීම කියන්නෙ විද්‍යා ලෝකයේ ඉතා විශාල සොයාගැනීමක් විදියටයි සැලකෙන්නේ.
ඇත්තටම ඇම්බර් කියන්නෙ මොනවද?
ඇම්බර් කියන්නෙ ගසකින් නිකුත් වුන දුම්මල නැත්නම් plant resin, වසර මිලියන ගණනක් පුරා රසායනික හා භූ විද්‍යාත්මක වෙනස්කම්වලට ලක්වෙලා පාෂාණීභූත වෙලා සෑදෙන ස්වභාවික ද්‍රව්‍යයක්. ගස් දුම්මල කියන්නෙ සාමාන්‍ය ශාක යුෂ නැත්නම් plant sap නෙවෙයි. මේවා ශාකය තුවාල වුනාම හෝ කෘමීන්, දිලීර සහ රෝගකාරකයන්ගේ ප්‍රහාරවලින් ආරක්ෂා වීම සඳහා ශාකය විසින් නිපදවන විශේෂ ආරක්ෂක රසායනික ද්‍රව්‍යයක්.

මේ ඇම්බර් කැබලි හමුවුනේ චීනයේ Xinjiang ප්‍රදේශයේ Hujiersite Formation නම් මධ්‍ය ඩෙවෝනියානු යුගයට අයත් භූ ස්ථරවලින්. මේ ස්ථර පුරාණ ගල් අඟුරු නිධිවල කොටසක් වගේම, ඒ යුගයේ වගුරුබිම් සහ මුල් වනාන්තරවල අවශේෂ සංරක්ෂණය වෙලා තියෙන ප්‍රදේශයක්.
කොහොම නමුත් පර්යේෂකයන්ට මෙහිදී විශාල ඇම්බර් කැබලි හමු වුනේ නෑ. ඒ වෙනුවට මිලිමීටර කිහිපයකටත් වඩා කුඩා ගස් දුම්මල කැබලි සිය ගණනක් හමු වුනා. නමුත්, ඒවා විද්‍යාත්මක පරීක්ෂණ සඳහා ප්‍රමාණවත්.
ඒවා ඇත්තටම ඇම්බර් බව තහවුරු කළේ කොහොමද?
පුරාණ දුම්මල සහ වෙනත් කාබනික ද්‍රව්‍ය අතර වෙනස හඳුනා ගැනීම පහසු නෑ. ඒ නිසා පර්යේෂකයන් Fourier Transform Infrared Spectroscopy, Raman Spectroscopy, Pyrolysis–Gas Chromatography–Mass Spectrometry, අධි විභේදන අන්වීක්ෂීය විශ්ලේෂණ වගේ නවීන රසායනික හා භෞතික විශ්ලේෂණ ක්‍රම කිහිපයක් භාවිත කළා.
මේ විශ්ලේෂණ මඟින් ඒ කුඩා කැබලි ශාක දුම්මලවලට පමණක් අයත් විශේෂ කාබනික සංයෝග රඳවාගෙන තිබෙන බව තහවුරු වුනා. එයින් කියැවුනේ, ඒවා සාමාන්‍ය කාබන් කැබලි නෙවෙයි, ඇත්තටම ගල්වූ ගස් දුම්මල බවයි.

මේ සොයාගැනීම මේ තරම් වැදගත් වෙන්නේ ඇයි?
ඒ පරික්ෂණවලින් පසුව, මේ ඇම්බර් කැට තුළ අද අප දකින පයින් හෝ සයිප්‍රස් වැනි කේතුධර ශාකවල දුම්මලවලට සමාන රසායනික ලක්ෂණ/සලකුණු ඇති බවට පර්යේෂකයන්ට තහවුරු වුනා. නමුත්, ඒ යුගයේදී සැබෑ කොනිෆර් හෙවත් කේතුධර ශාක පෘථිවිය මත තිබුණේ නෑ. එයින් පැහැදිලි වෙන්නේ පසුකාලීනව කොනිෆර් ශාක මඟින් ප්‍රගුණ කළ රසායනික ආරක්ෂණ යාන්ත්‍රණය (රෙසින්/දුම්මල නිපදවීම) ඊටත් වසර මිලියන ගණනකට පෙර සිටි ඔවුන්ගේ මුතුන්මිත්තන් සතුව තිබී ඇති බවයි.
මේ පර්යේෂණයේ විශාලතම වැදගත්කම වෙන්නෙ ශාකවල ආරක්ෂක පද්ධතිය පිළිබඳ අපි මෙතෙක් දැනගෙන සිටි බොහෝ දේවල් වෙනස් කිරීමයි. මීට පෙර විද්‍යාඥයන් සිතා සිටියේ ශාක තමන්ගේ ආරක්ෂාව උදෙසා මේ වගේ සංකීර්ණ රෙසින් නිපදවීමේ හැකියාව ලබාගත්තේ විශාල වනාන්තර හා බීජ ශාක බහුල වුනු, පරිණාමයේ ඉතා පසු කාලීනව බවයි.

මේ දුම්මල ශ්‍රාවය කළේ අතීතයේ වඳ වී ගිය මොන නිශ්චිත ශාක පවුලක්ද කියලා තවමත් නිශ්චිතවම සොයාගෙන නෑ. කොහොම වෙතත්, ඒ තරම් ඈත අතීතයකදී පවා ශාක මේ විදියට ආරක්ෂිත දුම්මල නිපදවීමට පෙළඹිලා තියෙන්නේ, ඒ කාලයේ පරිසර පද්ධතිය තුළ ශාකවලට හානි පැමිණවිය හැකි යම් යම් තර්ජන (උදාහරණයක් විදියට කෘමීන් හෝ රෝගකාරකයන්) පැවති නිසා බව විද්‍යාඥයෝ විශ්වාස කරනවා..
ඒ අනුව, මේ ඇම්බර්වලින් පැහැදිලි වෙන්නේ මධ්‍ය ඩෙවෝනියානු යුගයේම මුල් සනාල ශාක සතුවත් දියුණු රසායනික ආරක්ෂක පද්ධතියක් තිබුනු බවයි. ඒ කියන්නෙ ශාක සහ කෘමීන්, දිලීර හා වෙනත් රෝගකාරකයන් අතර ජීව විද්‍යාත්මක “අවි තරඟය” අපි මෙතෙක් සිතා සිටියාට වඩා බොහෝ පැරණියි.
වසර මිලියන 385කට පෙර පෘථිවියේ මහා වනාන්තර තිබුණේ නෑ. ඩයිනෝසෝරයන් බිහි වෙලා තිබුණෙ නෑ.. පක්ෂීන් සහ ක්ෂීරපායින් සිටියේ නෑ. සපුශ්ප ශාක තියාකොනිෆර් ශාක වත් බිහිවෙලා තිබුණෙ නෑ.
ඒ යුගයේ පෘථිවිය ආවරණය කළේ පර්ණාංගවල මුතුන්මිත්තන්, ලයිකොෆයිට් සහ මුල් වෘක්ෂ වර්ගවලින් සමන්විත ප්‍රාථමික වනාන්තරයි. ඒ වගේ පරිසරයක ගස් දුම්මල නිෂ්පාදනය සිදවෙලා තිබීම, ශාක ඉතා ඉක්මනින් පාරිසරික අභියෝගවලට අනුවර්තනය වුනු බවට ඉතා හොඳ සාක්ෂියක්.
ඇම්බර් කියන්නේ ජීව විද්‍යාත්මක කාල කැප්සියුලයක් කිව්වොත් නිවැරදියි. අද අපිට හමුවන ඇම්බර්වල බොහෝවිට කෘමීන්, මකුළුවන්, පරාග, දිලීර හෝ කුඩා ජීවීන් සිරවෙලා සිටිනවා. නමුත් මෙවර හමුවුනු ඇම්බර් කැබලි ඉතා කුඩා නිසා ඒ වගේ ජීවීන් හමු වුනේ නෑ.
ඒ වුනත්, ඒවායේ රසායනික සංයුතියම ශාක විකාශනයේ ඉතිහාසය නැවත ලිවීමට තරම් ප්‍රමාණවත් සාක්ෂියක් වුනා.
මේ පර්යේෂණය අනුව, ශාකවල ආරක්ෂක රසායනික පද්ධති ඉතා ඉක්මනින් විකාශනය වෙලා තියෙනවා. පළමු සැබෑ වනාන්තර බිහිවෙන්න පෙරත් දුම්මල නිෂ්පාදනය සිදු වෙලා තියෙනවා. පෘථිවියේ පළමු විශාල භූමි පරිසර පද්ධති ගොඩනැගීමට මේ ආරක්ෂක ක්‍රම වැදගත් වුනා වෙන්න පුලුවන්. ඒකෙන් තවත් වැදගත් දෙයක් කියැවෙනවා. ඒ, ශාක සහ අනෙකුත් ජීවීන් අතර පාරිසරික අන්තර්ක්‍රියා ත් අපි සිතුවාට වඩා බොහෝ පැරණි බවයි.
මේ පර්යේෂණය අපට උගන්වන්නේ විද්‍යාවේ විශාල සොයාගැනීම් සෑම විටම දැවැන්ත ඩයිනෝසෝර ඇටකටු හෝ විශාල පොසිලවලින්ම සිදු නොවන බවයි. සමහර විට වැලි කැටයක තරම් කුඩා ඇම්බර් කැබැල්ලක් පවා වසර මිලියන සිය ගණනක් ඈත අතීතයේ ජීවය පිළිබඳ අපේ දැනුම සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න පුලුවන්. චීනයෙන් හමුවූ වසර මිලියන 385ක් පැරණි මේ ඇම්බර් කැබලිත්, ශාක පෘථිවිය ජයගත් ආකාරය, තමන්ව ආරක්ෂා කරගැනීමට ඉගෙනගත් ආකාරය සහ පසුකාලීනව බිහි වුන මහා වනාන්තරවල පදනම සකස් වුන ආකාරය පිළිබඳ අලුත් කතාවක් විද්‍යා ලෝකයට කියා දෙන්නෙ අන්න ඒ විදියට…..
මූලාශ්‍ර : ප්‍රධාන නිල පර්‍යේෂණ පත්‍රිකාව ![]()
Luo, C. et al. (2026). The oldest amber records the emergence of the plant resin defense system in the Middle Devonian. Science Advances. DOI: 10.1126/sciadv.aeh1266.
Science Advances (2026).
උපුටා ගැනීම : Timeline Tales

