2026 ජනවාරි 12 වන දින අභ්‍යවකාශයේ විශේෂ උත්සවයක් පැවැත්වුණා. එහිදී මෙතෙක් එහි අණදෙන නිලධාරියා ලෙස කටයුතු කළ නාසා (NASA) ආයතනයේ මයික් ෆින්ක් (Mike Fincke) විසින් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ පාලනය, රොස්කොස්මොස් (Roscosmos) ආයතනයේ සර්ජි කුඩ්-ස්වර්ච්කොව් (Sergey Kud-Sverchkov) වෙත නිල වශයෙන් භාර දෙනු ලැබුවා.
සාමාන්‍යයෙන් මෙම උත්සව සිදුවන්නේ ගගනගාමීන් නැවත පෘථිවියට පැමිණීමට නියමිත දිනට ආසන්නවයි. නමුත් මෙවර එය නියමිත කාලයට පෙර සිදු වුණා!
ආරක්ෂාව පළමුව!
ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ වසර 25ක ඉතිහාසයේ පළමු වතාවට, වෛද්‍ය හේතුවක් මත මෙහෙයුමක් කලින් අවසන් කිරීමට සිදු වුණා.
ජනවාරි 7 වැනිදා නාසා වෛද්‍යවරුන් විසින් එක් කාර්ය මණ්ඩල සාමාජිකයෙකුට ඇති වූ “වෛද්‍ය ගැටලුවක්” (medical concern) හඳුනා ගත්තා. එම සාමාජිකයාගේ තත්ත්වය යහපත් වුවත්, අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ඇති වෛද්‍ය උපකරණ වැඩිදුර පරීක්ෂණ සඳහා ප්‍රමාණවත් නොවන බව නාසා ආයතනය තීරණය කළා.
එම නිසා ආරක්ෂිත පියවරක් ලෙස, එම සාමාජිකයාට පෘථිවියේ වෛද්‍ය ප්‍රතිකාර ලබා දීම සඳහා මුළු කණ්ඩායමම (Crew-11) කලින්ම ගෙන්වා ගැනීමට තීරණය කෙරුණා.
සාර්ථක ගොඩබෑමක් (Splashdown)
මෙම Crew-11 කණ්ඩායමට නිර්භීත ගවේෂකයින් සිව් දෙනෙකු ඇතුළත්:
- මයික් ෆින්ක් (NASA)
- සීනා කාඩ්මන් (NASA)
- කිමියා යුයි (JAXA – ජපානය)
- ඔලෙග් ප්ලැටනොව් (Roscosmos – රුසියාව)
Crew-11 කණ්ඩායම ජනවාරි 15 වැනිදා අලුයම 3:41 ට (EST වේලාවෙන්) පැසිෆික් සාගරයට (සැන් ඩියාගෝ අසල මුහුදට) ආරක්ෂිතව ගොඩ බැස්සුවා.

දැන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ඉන්නේ කවුද?
අභ්‍යවකාශ මධ්‍යස්ථානය දැන් හිස්ව පවතිනවාද? නැහැ! එහි වැඩකටයුතු කරගෙන යාමට කුඩා කණ්ඩායමක් (Skeleton Crew) තවමත් එහි රැඳී සිටිනවා. ඒ සර්ජි කුඩ්-ස්වර්ච්කොව්, සර්ජි මිකයිව් සහ ක්‍රිස් විලියම්ස් යන තිදෙනයි.
පෙබරවාරි මැද භාගයේ යැවීමට සැලසුම් කර තිබූ ඊළඟ කණ්ඩායමේ (Crew-12) ගමන, මෙම තත්ත්වය නිසා තරමක් ඉක්මන් කිරීමට නාසා ආයතනය දැන් සොයා බලමින් සිටිනවා.
අභ්‍යවකාශ ගවේෂණයේදී ආරක්ෂාව සහ කණ්ඩායම් හැඟීම (Teamwork) සැමවිටම පළමු තැන ගන්නා බව මෙම සිදුවීම අපට කියා දෙනවා
නාසා (NASA) ඇසුරෙනි
උපුටා ගැනීම : විජය


