දකුණුදිග ප්‍රංශයේ පිහිටි ‘Bruniquel’ ගුහාව තුළට පා තබන ඕනෑම අයෙකුට මුලින්ම පෙනෙන්නේ සාමාන්‍ය ගුහාවක තිබෙන ස්වාභාවික ගල් කුට්ටියි. නමුත් ගුහා දොරටුවේ ඉඳලා මීටර් 336 ක් තරම් ගැඹුරට අඳුර විනිවිද යද්දී ඉතාම අපූරු දසුනක් හමුවෙනවා. ඒ ස්වාභාවිකව සෑදුණු දෙයක් නෙවෙයි, මිනිස් අතින් ඉතා සැලසුම්සහගතව නිමවන ලද වටකුරු ස්ටැලග්මයිට් හෙවත් හිරි ටැඹ වළලු ව්‍යුහයන් දෙකක් සහ කුඩා ගල් ගොඩවල් කිහිපයක්.
1990 වසරේ ගවේෂණය කළ ගවේෂකයන් මේවා ස්වභාවිකව ඇති වූ පාෂාණ රටාවක් වෙන්න පුලුවන් කියලා සිතූවත්, පසුව සිදු කළ සවිස්තරාත්මක පර්යේෂණවලින් ඒවා මිනිසුන් විසින් හිතාමතාම ඉදිකරන ලද නිර්මාණයක් බව තහවුරු වුනා.
මේ ව්‍යුහය ඉදිකරලා තිබුණේ ගුහාවේ බිමෙන් ඉහළට වර්ධනය වන හිරි ටැඹ /stalagmites කඩා ඒවා එකම දිගකට ආසන්න විදියට සකස් කරමින්. ඊටත් වඩා පුදුමයට කරුණ වෙන්නේ මේ ව්‍යුහය ඉදිකරලා තිබුණේ ගුහාවේ පිවිසුමෙන් ඉතා ඈත, හිරු එළිය කිසිසේත්ම නොලැබෙන ස්ථානයක වීමයි. ඒ වගේ තැනක මේ ව්‍යූහ නිර්මාණය කරන්න නම් කිරීමට ඔවුන්ට අනිවාර්යයෙන්ම ආලෝකය අවශ්‍ය වෙනවා. ව්‍යුහය වටා දැවී ගිය ස්ටැලැග්මයිට් කැබලි සහ ගින්න භාවිත කළ බවට සාක්ෂිත් මෙහිදී හමු වෙලා තියෙනවා. ඒ කියන්නේ මේවා ඉදිකළ මානවයින් ගිනි පාලනය කළා පමණක් නෙවෙයි, ගුහාවේ ගැඹුරු අඳුරේ දිගු කාලයක් දැල්වෙලා තියෙන්න පුලුවන් ආකාරයට ආකාරයට ආලෝකය සංවිධානය කරගෙන තිබුනු බවයි.
මුලින්ම මේ ස්ථානය අනාවරණය කරගන්නා විට විද්‍යාඥයන් සිතුවේ මේක වසර 40,000 කට පමණ පෙර නූතන හෝමෝ සේපියන් මානවයින් විසින් කරන ලද්දක් කියලයි. නමුත් නවීන යූරේනියම්-තෝරියම් කාලගණන ක්‍රමවේදයන් ඔස්සේ පරීක්ෂා කිරීමේදී හෙළිවුනේ මේ ව්‍යුහය ඉදි කරලා තියෙන්නේ මීට වසර 176,500කට පමණ පෙර බවයි. ඒ කියන්නේ මේ ඉදිකිරීමේ අයිතිය අපේ හෝමෝ සේපියන් මානවයා යුරෝපයට පා තබන්නටත් බොහෝ කලකට පෙර මෙහි විසූ, නියැන්ඩර්තාල් මානවයන්ට හිමිවෙනවා.
මේ නිර්මාණය සඳහා ගුහාවේ පතුලෙන් ඉහළට වැඩෙන හුණුගල් ටැම් හෙවත් හිරි ටැඹ 400 කට ආසන්න ප්‍රමාණයක් කඩාගෙන, එක හා සමාන ප්‍රමාණවලට කපලා, එක මත එක තබා රවුම් හැඩයට සකස් කරලා තියෙනවා. මෙයින් විශාලතම වටරවුම මීටර් 6.7 ක විශ්කම්භයකින් යුක්තයි. ඒ වගේම මේ ගල් කැබලිවල මුළු බර ටොන් 2.2 කටත් වැඩියි.
සම්පූර්ණ අඳුරේ, පන්දම් එළියෙන් පමණක් ආලෝකය ලබාගනිමින්, ටොන් ගණනක බරක් සහිත ගල් මෙලෙස සංකීර්ණ රටාවකට සැකසීම සුළුපටු තාක්ෂණික හෝ සංවිධානාත්මක හැකියාවක් නෙවෙයි. මේ වගේ ව්‍යුහයක් නිර්මාණය කිරීම සඳහා සැලසුමක්, කණ්ඩායම් වැඩක් සහ නිවැරදි සංවිධානයක් අවශ්‍ය වෙනවා.
නියැන්ඩර්තාල්වරුන් මේ තරම් වෙහෙසක් මහන්සියක් වෙලා ගුහාවක අඳුරුම තැනක මේ වගේ ව්‍යුහයක් හැදුවේ ඇයි? මේක ඔවුන්ගේ යම් ආගමික හෝ සංස්කෘතික පූජා භූමියක්ද? නැත්නම් ගුහාව තුළ ආරක්ෂිතව රැඳී සිටීමට කළ නිර්මාණයක්ද? සමහර ගල් මත ගිනි තැබූ සලකුණු සහ පිලිස්සුණු ඇටකටු කොටස් හමුවෙලා තියෙන නිසා, පන්දම් දැල්වීම හෝ යම් සංස්කෘතික පූජා විධියක් සඳහා ගින්දර භාවිතා කළ බවට සාක්ෂි ලැබෙනවා.
ඒ අනුව, සමහර පර්යේෂකයන්ගේ අදහස වෙන්නේ මේක ආගමික හෝ චාරිත්‍රානුකූල ස්ථානයක් වෙන්න පුලුවන් බවයි. තවත් සමහරු ඒක කණ්ඩායම් රැස්වීම් පැවැත්වූ ස්ථානයක්, විශේෂ උත්සවයක් සඳහා භාවිත කළ ස්ථානයක්, හෝ යම් සංකේතාත්මක අර්ථයක් තිබුනු නිර්මාණයක් වෙන්න පුලුවන් බව පවසනවා.
ගුහාවේ තිබූ ගින්නෙන් පිළිස්සී අඟුරු බවට පත් වූ ද්‍රව්‍ය කොටස් තුනක් රාමන් වර්ණාවලීක්ෂය /Raman Spectroscopy කියන උසස් තාක්ෂණික ක්‍රමවේදය ඔස්සේ විශ්ලේෂණය කර ඇති අතර, එයින් කොටස් දෙකක්ම ස්ටැලග්මයිට් (හිරි ටැඹ) ව්‍යුහයන් නිර්මාණය වූ කාලයටම (වසර 1,76,500 කට පෙර) අයත් කැල්සයිට් ස්තර අතර තැන්පත් වෙල තිබුනු බව තහවුරු වුනා.
ඒ වගේම මේ ක්‍රමවේදයෙන් හෙළි වුනේ එහි තිබූ සත්ව අස්ථි කොටස්, මිනිසුන් විසින් පාලනය කළ හැකි මට්ටමේ උෂ්ණත්වයකට ලක් කර තිබුනු බවයි. රතු සහ කළු පැහැයට හැරී තිබූ හිරි ටැඹ කොටස් මගින් පෙනී යන්නේ, ඔවුන් කුඩා ගිනි දල්වමින් ගින්දර පරිහරණය කර ඇති බවයි.
ඒ අනුව, දීර්ඝ කාලයක් ආහාර පිසීමට හෝ පදිංචියට භාවිතා කළ සාමාන්‍ය උදුනකට වඩා, මේ කුඩා ගිනි පැවැත්ම සමාන වන්නේ යම් පූජනීය/සංස්කෘතික කටයුත්තක් වෙනුවෙන් තැබූ ගිනි දැල්වීමකට බවයි පර්යේෂකයන් ගේ මතය වෙන්නේ.
ඒ වගේම, නියැන්ඩර්තාල් මානවයන් මේ හිරි ටැඹ ව්‍යුහය සෑදීමෙන් පසුව, ඔවුන් පිළිබඳ වෙනත් කිසිදු සාක්ෂියක් ඒ ස්ථානයේ ඉතිරි කරලා නෑ.ඒ කියන්නෙ, ඒ ස්ථානයේ ඔවුන් දිනපතා ජීවත් වූ බවට හෝ නවාතැන් ගත් බවට (ආහාර ගත් තැන්, ගල් ආයුධ, වෙනත් මෙවලම්) කිසිදු සාක්ෂියක් හමු වෙලා නෑ: ඔවුන්ගේ ඇටකටු, සැකිලි කොටස් කිසිවක් හමුවෙලාත් නෑ. මෙහි පැමිණි පිරිස කරලා තියෙන්නේ හිරි ටැඹ කඩලා, ටොන් ගණනක බරැති ගල් පදම් කරමින් වටරවුම් සැකසීමත්, ගිනි පන්දම් දල්වා ගල් රත් කර දුර්වර්ණ කිරීමත් පමණයි.
කෙටියෙන්ම කිව්වොත්, ඔවුන් පැමිණ මේ සංකීර්ණ නිර්මාණය සිදුකරලා ගින්දර භාවිත කර පිටව ගියා මිසක්, එහි පදිංචි වී සිටි බවට හෝ වෙනත් කාර්යයක් කළ බවට වෙනත් කිසිදු හෝඩුවාවක් ඉතිරි කරලා නෑ.
නියැන්ඩතාල්වරුන් සරල ජීවිතයක් ගත කළ මානවයින් කොටසක් බව බොහෝ දෙනා සිතුවත් බෲනිකෙල් ගුහාවේ හිරි ටැඹ වළලු ඒ අදහස සම්පූර්ණයෙන්ම බිඳ දමනවා. මේ වගේ ඉදිකිරීමක් සඳහා සැලසුම් කිරීම, කණ්ඩායම් ලෙස වැඩ කිරීම, අමුද්‍රව්‍ය තෝරා ගැනීම, ඒවා ප්‍රවාහනය කිරීම සහ නිවැරදි ලෙස සකස් කිරීම වගේ දක්ෂතා අවශ්‍යයි. ඒක ඔවුන්ගේ බුද්ධිමය හැකියාවන් අප සිතා සිටියාට වඩා බොහෝ ඉහළ මට්ටමක තිබූ බවට ප්‍රබල සාක්ෂියක්.
ඒ නිසා Bruniquel ගුහාවේ වළලු කොයන්නෙ හුදෙක් ගල් කැබලි ගොඩක් නෙවෙයි. ඒවා මිනිස් බුද්ධියේ ආරම්භක පරිච්ඡේදයන්ගෙන් එකක් ලියා තැබූ, වසර 176,500ක් පැරණි නිහඬ සාක්ෂියක්. අදටත් ඒවා අපෙන් එකම එක ප්‍රශ්නයක් අහනවා.
“ඇත්‍ය්හටම නියැන්ඩතාල්වරුන් ගැන අපි තාමත් හරියටම දන්නවාද….?
පසු සටහන :- මේ අපූර්ව සොයාගැනීම පිළිබඳව ප්‍රධාන පර්යේෂණ පත්‍රිකාව “Early Neanderthal constructions deep in Bruniquel Cave in southwestern France” යන ශීර්ෂය යටතේ ලොව ප්‍රමුඛතම විද්‍යාත්මක සඟරාවක් වන Nature සඟරාවේ ප්‍රකාශයට පත් කර තිබෙනවා. පර්යේෂණය මෙහෙයවූයේ ප්‍රංශයේ Bordeaux විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යාඥ Jacques Jaubert ප්රමුඛ ප්‍රංශ සහ බෙල්ජියම් විද්‍යාඥයන් කණ්ඩායමක් විසින්.
උපුටා ගැනීම : Timeline Tales

