නවීන වෛද්‍ය විද්‍යාව නිසා මිනිස්සුන්ගේ ආයුෂ වැඩි වෙලා තියෙනවා කියලා අපි නිතරම අහලා තියෙනවා. හැබැයි අපි ඇත්තටම “නිරෝගීව” ජීවත් වෙනවද? එක්සත් රාජධානියෙන් (UK) වාර්තා වෙන අලුත්ම දත්තවලට අනුව, එරට ජනතාවගේ “නිරෝගී ආයු කාලය” (Healthy Life Expectancy) පසුගිය දශකය ඇතුළත අවුරුදු 2කින් විතර සම්පූර්ණයෙන්ම පහත වැටී තිබෙනවා!
අද වෙනකොට එක්සත් රාජධානියේ පිරිමියෙකුගේ නිරෝගී ආයු කාලය අවුරුදු 60.7ක් දක්වාත්, කාන්තාවකගේ එය අවුරුදු 60.9ක් දක්වාත් අඩුවෙලා තියෙනවා. මේකට ප්‍රධානතම හේතුව විදිහට ඔවුන් පෙන්වා දෙන්නේ වර්තමාන සමාජයේ තියෙන තරබාරුකම (obesity), දරිද්‍රතාවය, නිවාස ගැටලු සහ කොවිඩ් (COVID) වසංගතයේ පසුබලපෑම් යනාදියයි. වඩාත්ම කණගාටුදායක කාරණාව තමයි, පොහොසත් ප්‍රදේශවල ඉන්න අයට වඩා, දුප්පත් ප්‍රදේශවල ජීවත් වෙන මිනිස්සු අවුරුදු 20කට කලින් ලෙඩ රෝගවලට ගොදුරු වීම. ඒ කියන්නේ බොහෝ දෙනෙක් රජයේ විශ්‍රාම වයසට එළඹෙන්නත් කලින් ලෙඩ ඇඳට වැටෙනවා!
මේක එක්සත් රාජධානියට විතරක් තියෙන ප්‍රශ්නයක් නෙවෙයි. ලෝකයේම නිරෝගී ආයු කාලය 2019 වෙනකන් වර්ධනය වුණත්, කොවිඩ් වසංගතය නිසා ඒ දියුණුව ආයෙත් 2012 තිබුණු තත්ත්වයටම කඩාගෙන වැටුණා. ඇමරිකාවෙත් (US) මත්ද්‍රව්‍ය ප්‍රශ්න සහ වසංගත තත්ත්වයන් නිසා මිනිස්සුන්ගේ නිරෝගී කාලය විශාල වශයෙන් අඩුවෙලා තියෙනවා. මිනිස්සුන්ගේ ආයුෂ වැඩි වුණාට, නිරෝගීව ඉන්න කාලය අඩුවෙමින් පවතින බව මේ දත්තවලින් අපිට පැහැදිලි වෙනවා.
උපුටා ගැනීම : Beyond Imagination – නොසිතූ ලොවක්


