Tri-State Tornado! ![]()
![]()
ලෝකයේ සිද්ධ වුණු දරුණුම භූමිකම්පා, සුනාමි ව්‍යසනයන් ගැන අපි ඕනෑතරම් අහලා තියෙනවා. හැබැයි අහස කුණාටු වී, පොළොව දෙසට ඇදී ආපු එකම එක යෝධ හුළං කඳකට මුළු නගර පිටින් සිතියමෙන් අතුගාලා දාන්න පුළුවන් කිව්වොත් ඔබ විශ්වාස කරනවාද?
මීට වසර සියයකට විතර කලින්, ඒ කියන්නේ 1925 මාර්තු 18 වැනිදා ඇමරිකාවට කඩා වැදුණු “Tri-State Tornado” කියන්නේ සොබාදහම මිනිසාට එරෙහිව මුදාහළ දරුණුම මාරයාටයි!
මොකක්ද මේ “Tri-State” කියන්නේ?
සාමාන්‍යයෙන් ටෝනාඩෝවක් (සුළි සුළඟක්) ඇති වුණාම ඒක බලපාන්නේ එක පුංචි ප්‍රදේශයකට විතරයි. හැබැයි මේ මාරයා ඇමරිකාවේ ප්‍රාන්ත තුනක් (Missouri, Illinois, සහ Indiana) හරහා එක දිගටම විනාශය කරගෙන ඉදිරියටම ඇදුණා.


1. පැය 3 හමාරක “මරණයේ සෙල්ලම”
ඔයාලා දන්නවාද සාමාන්‍ය ටෝනාඩෝ එකක් පවතින්නේ විනාඩි කිහිපයක් විතරයි. විනාඩි 5ක් 10ක් යද්දී ඒක නැති වෙලා යනවා. හැබැයි මේ Tri-State මාරයා පොළොව මතුපිට පැය 3 කුත් විනාඩි 30 ක් එක දිගටම රැඳී සිටිමින්, යකා නැටුවා! මේක ටෝනාඩෝ ඉතිහාසයේ අදටත් බිඳින්න බැරි වුණු ලොකුම වාර්තාවක්.
2. Bullet Train එකක වේගය සහ කිලෝමීටර් 352ක විනාශය
මේ යෝධ සුළි සුළඟ පොළොව දිගේ ඉදිරියට ඇදුණු වේගය විතරක් පැයට කිලෝමීටර් 100 කට වඩා වැඩියි. ඒ වගේම මෙහි ඇතුළත කැරකුණු සුළඟේ වේගය පැයට කිලෝමීටර් 480 ක් (මයිල 300 ක්) විතර ඇති කියලා විද්‍යාඥයන් නිගමනය කරනවා.
ඒ කියන්නේ අද කාලේ තියෙන Bullet Train එකකටත් වඩා වේගයෙන්, පොළොව දිගේ කිලෝමීටර් 352 ක අතිවිශාල දුරක් මේක ඇදී ගියා. ඒ යන අතරමග හමුවුණු ගෙවල්, පාසල්, කර්මාන්තශාලා, ගස් වැල් හැමදේම බ්ලෙන්ඩර් එකකට දැම්මා වගේ සුන්නද්ධූලි කරලයි නැවතුණේ! ටෝනාඩෝ වර්ගීකරණයට අනුව මේක EF5 කියන උපරිම දරුණු ගණයේ ලේබලයටයි අයිති වෙන්නේ.
3. අදහාගත නොහැකි මරණ සංඛ්‍යාව
මේ එකම එක ටෝනාඩෝව නිසා අහිංසක මිනිස්සු 695 දෙනෙක් ජීවිතක්ෂයට පත් වුණා. තවත් 2,000 කට වඩා දරුණු විදිහට තුවාල ලැබුවා. එදා එක ඉස්කෝලෙක හිටපු ළමයි විතරක් 69 දෙනෙක් මේ හුළඟට අහසට උඩින් විසිවෙලා ගිහින් ජීවිතක්ෂයට පත් වුණා කියලා ඉතිහාසයේ ලියවිලා තියෙනවා.
මේ ව්‍යසනය මෙච්චර දරුණු වෙන්න තවත් එක හේතුවක් තිබුණා. එදා මේ ටෝනාඩෝව එද්දී සාමාන්‍යයෙන් අපිට පේන යෝධ “පුනීලයක” (Funnel) හැඩය පෙනෙන්න තිබුණේ නැහැල්ලු. ඒ වෙනුවට අහස පුරාම මහා කළු වලාකුළු පිරිලා, පොළොව මට්ටමටම කළු දුමාරයක් වගේ තමයි මේක ඇවිත් තියෙන්නේ. ඒ නිසා මිනිස්සු හිතලා තියෙන්නේ මේක සාමාන්‍ය වැස්සක් කියලා. හැරී බලද්දී හැමදේම ප්‍රමාද වැඩියි!
උපුටා ගැනීම: Unknown diary

