සාමාන්යයෙන් අපිට දරුණු භූමිකම්පාවක් දැනෙන්නේ තත්පර කිහිපයකට විතරයි. හැබැයි ලෝක ඉතිහාසයේ වාර්තා වුණු වැඩිම කාලයක් පැවතුණු භූමිකම්පා ගැන තොරතුරු හාරලා බැලුවාම ඇඟ කිලිපොලා යන දේවල් දැනගන්න ලැබෙනවා.
දිගම දරුණුම භූමිකම්පාව (විනාඩි 8 – 10)
අපිට කවදාවත් අමතක වෙන්නේ නැති 2004 සුනාමිය නිර්මාණය කරපු සුමාත්රා-අන්දමන් භූමිකම්පාව තමයි ලෝකේ වාර්තා වුණු වැඩිම කාලයක් පැවතුණු දරුණුම භූමිකම්පාව විදිහට සැලකෙන්නේ. මේ භූමිකම්පාව විනාඩි 8 ත් 10 ත් අතර කාලයක් එක දිගට පොළොව හෙල්ලුවා. සාමාන්යයෙන් තත්පර 10ක් පොළොව දෙදරද්දී දැනෙන බය ගැන හිතනකොට, විනාඩි 10ක් තිස්සේ නොනවත්වා පොළොව හෙල්ලෙනවා කියන්නේ කොයිතරම් භයානක අත්දැකීමක් වෙන්න ඇද්ද?
ලෝකේ ප්රබලම භූමිකම්පාව (විනාඩි 10 යි)
ලෝකේ මෙතෙක් වාර්තා වුණු ප්රබලම භූමිකම්පාව විදිහට සැලකෙන්නේ 1960 දී චිලී රාජ්යයේ ඇතිවුණු රිච්ටර් මාපකයේ 9.5 ක දැවැන්ත භූමිකම්පාවයි. ඒකත් ආසන්න වශයෙන් විනාඩි 10 කට ආසන්න කාලයක් එක දිගට පැවතිලා තියෙනවා.
අවුරුදු 32 ක් දිගු මන්දගාමී භූමිකම්පාව.
ඔන්න දැන් තමයි විද්යාවේ පුදුම හිතෙනම කතාව තියෙන්නේ. සිංගප්පූරුවේ විද්යාඥයින් පිරිසක් හොයාගෙන තියෙනවා ඉන්දුනීසියාවේ සුමාත්රා දූපත් ආශ්රිතව අවුරුදු 32ක් තිස්සේ එක දිගට සිද්ධ වුණු භූමිකම්පාවක් ගැන.
මේවා විද්යාවේදී හඳුන්වන්නේ මන්දගාමී භූමිකම්පා කියලා. මේකෙදි අර අපි දකිනවා වගේ එකපාරටම පොළොව පුපුරලා ගෙවල් කඩන් වැටෙන්නේ නෑ. පෘථිවියේ භූ තැටි ඉතාමත් සෙමින්, කිසිම සද්දයක් බද්දයක් නැතුව මිනිස්සුන්ට නොදැනෙන තරම් සෙමින් එකිනෙක ගැටෙමින් ලිස්සලා යනවා.
හැබැයි මේකේ භයානකම දේ ඒක නෙවෙයි. මේ විදිහට අවුරුදු 32ක් තිස්සේ හිමින් හිමින් එකතු වුණු දැවැන්ත පීඩනය එකපාරටම පුපුරලා ගිහින් 1861 අවුරුද්දේදී රිච්ටර් මාපකයේ 8.5 ක අතිදරුණු භූමිකම්පාවක් සහ මහා සුනාමියක් නිර්මාණය කරලා තියෙනවා. ඒ කියන්නේ අර අවුරුදු 32ම සිද්ධ වෙලා තියෙන්නේ මේ මහා විනාශයට පාර කපපු එකයි.
ඉතින්, තත්පර ගාණකින් ගෙවල් දොරවල් සමතලා කරන භූමිකම්පා වගේම, අවුරුදු ගණනාවක් තිස්සේ නිහඬවම පොළොව යට දැවැන්ත විනාශයකට ලෑස්ති වෙන මන්දගාමී භූමිකම්පාත් මේ ලෝකේ තියෙනවා. සොබාදහම කියන්නේ කොච්චර පුදුම දේවල් හංගගෙන ඉන්න, ඒ වගේම කොච්චර භයානක තැනක්ද නේද?
අතැඹුල

