කාමරංගා (Averrhoa carambola) යනු එහි ආකර්ෂණිය හැඩය සහ ශරීරය කුල්මත් කරන රසය නිසා බොහෝ දෙනෙක් ප්‍රිය කරන නිවර්තන පලතුරකි. ශ්‍රී ලංකාවේ සහ අග්නිදිග ආසියාවේ බහුලව දක්නට ලැබෙන මෙහි පෝෂණ හා ඖෂධීය ගුණාංග අද බොහෝ දෙනෙක් කතා බහ කරන මාතෘකාවකි. නමුත් මෙම රසවත් පළතුර බොහෝ දෙනෙක් නොදන්නා බරපතල සෞඛ්‍ය අවදානමක් ද සඟවාගෙන සිටියි.
ඔබේ ආහාර වේලට එය ඇතුළත් කිරීම පිළිබඳව දැනුවත් තීරණ ගැනීමට ඔබට උපකාර කිරීම සඳහා කාමරංගා වල ප්‍රතිලාභ සහ අන්තරායන් දෙකම මෙම ලිපිය තුලින් ගවේෂණය කරමු.
කාමරංගා වල සෞඛ්‍ය ප්‍රතිලාභ
කාමරංගා විටමින්, ප්‍රතිඔක්සිකාරක සහ ආහාරමය තන්තු වලින් පිරී ඇති අතර එම සංඝටක සමස්ත යහපැවැත්ම සඳහා වැදගත් කාර්යභාරයක් ඉටු කරයි.
- කාමරංගා ස්වාභාවික ප්‍රතිඔක්සිකාරක බලාගාරයකි
විටමින් C, ගැලික් අම්ලය සහ එපිකැටචින් වලින් පොහොසත්, කාමරංගා සෛලවලට හානිකර ප්‍රතික්‍රියාශීලි අංශු හෙවත් Free Radicals උදාසීන කිරීමට සහ වයසට යාම සහ නිදන්ගත රෝග සඳහා දායක වන ඔක්සිකාරක ආතතිය(Oxidative Stress) අඩු කිරීමට උපකාරී වේ. - රුධිර සීනි පාලනය
එහි ඉහළ තන්තු අන්තර්ගතය සහ ක්‍රියාකාරී සංයෝගයක් වන DMDD (2-dodecyl-6-methoxycyclohexa-diene-1,4-dione) නිසා, කාමරංගා කාබෝහයිඩ්‍රේට් ජීර්ණය මන්දගාමී කරන අතර ඉන්සියුලින් සංවේදීතාව වැඩි කරයි – එය දෙවන වර්ගයේ දියවැඩියාව(Type 2 Diabetes) කළමනාකරණයට වාසිදායක තත්ත්වයකි. - හෘද සෞඛ්‍ය උදෙසා සහාය වීම
සමහර අධ්‍යයනවලින් පෙනී යන්නේ කාමරංගාවල අඩංගු තන්තු කොලෙස්ටරෝල් අඩු කර, දේහයේ ලිපිඩ අන්තර්ගතය(Lipid Profile) යහපත් අතට හැරවීමෙන් හෘද රෝග අවදානම අඩු කරන බවයි. - ප්‍රති-ප්‍රදාහක(Anti Inflammatory) සහ ප්‍රති-ක්ෂුද්‍ර ජීවී(Anti Infective) ගුණාංග
ආයුර්වේදයේ සහ සාම්ප්‍රදායික චීන වෛද්‍ය විද්‍යාවේ භාවිතා වන කාමරංගා, දද, කැස්ස සහ ඇතැම් බැක්ටීරියා ආසාදන වැනි තත්වයන් කළමනාකරණය කිරීමට උපකාරී වන අතර එහි ප්‍රති-ප්‍රදාහක සහ ප්‍රති-ක්ෂුද්‍ර ජීවී බලපෑම් මෙයට උපකාරී වේ.
සැඟවුණු අවදානම
කෙතරම් ප්‍රතිලාභ තිබුණත්, කාමරංගා සෑම කෙනෙකුටම ආරක්ෂිත නොවේ – විශේෂයෙන් විශාල ප්‍රමාණවලින් ආහාරයට ගන්නා විට සහ වකුගඩු ආබාධ ඇති පුද්ගලයින් විසින් පරිභෝජනය කරන විට මෙම සංකුලතා ඇති වීමේ වැඩි ඉඩක් ඇත.
වකුගඩු අක්‍රීය වීම හෙවත් Nephrotoxicity
කාමරංගා වල ඔක්සලික් අම්ලය අධිකව අඩංගු වන අතර, එය අධික ලෙස හෝ හිස් බඩක් ඇති විටක පරිභෝජනය කරන විට, වකුගඩු වල ඔක්සලේට් ස්ඵටික සෑදීමට හේතු විය හැක. මේවා මගින් වකුගඩු නාල අවහිර කළ හැකි අතර, කලින් සාමාන්‍ය වකුගඩු ක්‍රියාකාරිත්වයක් ඇති පුද්ගලයින් තුළ පවා උග්‍ර වකුගඩු අක්‍රියකරණයක්(AKI) එමගින් ඇති කළ හැකිය.
ශ්‍රී ලංකාවේ සිදු කරන ලද අධ්‍යයනයක දී, දියවැඩියා රෝගීන් තිදෙනෙකුට කාමරංගා යුෂ පානය කිරීමෙන් පසු වකුගඩු අක්‍රීය වීම – Acute Kidney Injury(AKI) ඇති වූ අතර, ඔවුන් තුල ඔක්කාරය, ඉක්කාව වැනි රෝග ලක්ෂණ දක්නට ලැබී ඇත. ඔවුන්ගෙන් දෙදෙනෙකුට රුධිර කාන්දුපෙරණය හෙවත් Dialysis (ඩයලිසිස්) අවශ්‍ය විය.
ප්‍රවේශම් විය යුත්තේ කවුද?
- නිදන්ගත වකුගඩු රෝග (CKD) ඇති පුද්ගලයින්
- රුධිර සිනි පාලනය සඳහා අධිකව කාමරංගා භාවිතා කරන දියවැඩියා රෝගීන්
- හිස් බඩක් මත කාමරංගා යුෂ පරිභෝජනය කරන පුද්ගලයින්
- විජලනය වූ පුද්ගලයින් (ඔක්සලේට් ස්ඵටික සෑදීමේ අවදානම වැඩි කරයි)
කාමරංගා සඳහා දැනට නිර්වචනය කරන ලද “ආරක්ෂිත මාත්‍රාවක්” නොමැති අතර, පලතුරු වර්ගය (ඇඹුල් වර්ගවල වැඩි ඔක්සලේට් ඇත), දේහයේ ජල මට්ටම් සහ වෙනත් සෞඛ්‍ය තත්වයන් මත පදනම්ව කාමරංගා විෂ වීම පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ.
අවසාන සටහන: දැනුවත්භාවය සමඟ කාමරංගා භුක්ති විඳින්න
කාමරංගා ඔබේ සෞඛ්‍ය ප්‍රවර්ධනය කරන සංයෝග රාශියක් ලබා දෙයි, නමුත් ඇතැම් සෞඛ්‍ය තත්වයන් තුළ අධික ලෙස පරිභෝජනය කිරීම මගින් එය ඔබට බරපතල හානියක් සිදු කළ හැකිය. ඔබ සෞඛ්‍ය සම්පන්න නම් සහ එය මධ්‍යස්ථව පරිභෝජනය කරන්නේ නම් – විශේෂයෙන් ආහාර වේලක කොටසක් ලෙස – එය පෝෂ්‍යදායී ආහාරයක් විය හැකිය. නමුත් වකුගඩු ගැටළු ඇති අය, එය සම්පූර්ණයෙන්ම ආහාරයට එක් කර ගැනීමෙන් වැළකී සිටීම හෝ ඒ සඳහා වෛද්‍ය උපදෙස් ලබා ගැනීම වඩාත් සුදුසුය. කෙසේ නමුත් දියවැඩියාව පාලනය කිරීමේ ක්‍රමයක් ලෙස මෙය ආහාරයට ගැනීම සුදුසු නොවේ.
උපුටා ගැනීම: betterlife.lk


