දෙවන ලෝක යුද්ධය සඳහා සූදානම් වන ජර්මනිය 1936 පමණ වනතෙක් ලෝකයේ නාවික හමුදාවන් දැක නොතිබුණ තරමේ දැවැන්ත යුධ නෞකාවක් (Battle Ship) නිර්මාණය කිරීම ඇරඹුවේ තව නොබෝ දිනකින් තමන් විසින් දියත් කරන්නට යන මහා සංග්‍රාමයට සූදානම් වනු පිණිසය. එම වකවානුව වන විට සාගරයේ බලවතා වූයේ තම වෙසෙස් නාවික ශක්තියේ බලයෙන් ලොව පුරා හිරු නොබසින අධිරාජ්‍යයක් ගොඩනැගූ බ්‍රිතාන්‍ය නාවික හමුදාවයි. ඔවුන් හැඳින්වූයේ රාජකීය නාවික හමුදාව (Royal Navy) යන නමිනි. ජර්මනියේ නාවික හමුදාව ක්‍රීග්ස්මරීනා (Kriegsmarine) යනුවෙන් හැඳින්වූයේ 1935-1945 අතර කාල වකවානුවේය. ඔවුන් විසින් ලොවට හඳුන්වා දුන් නවතම නෞකා පන්තිය (Ship Class) Bismarck Class Battle Ship විය. එම පන්තියේ නෞකා දෙකක් නිෂ්පාදනය කරන්නට ජර්මානුන් විසින් තීරණය කොට තිබිණි. එම නෞකා දෙක බිස්මාක් (Bismarck) සහ ටර්පිට්ස් (Terpitz) යනුවෙන් නම් කෙරිණි.
බිස්මාක් නෞකාවේ නිෂ්පාදන කටයුතු මුලින්ම ආරම්භ කෙරුණු අතර ඒ 1936දීය. 1939 අග භාගය වන විට බිස්මාක් නෞකාවේ මූලික ඉදිකිරීම නිමවී තිබුණ නමුත් විවිධාකාරයේ පරීක්ෂණ, අළුත්වැඩියා කිරීම් සහ නව්‍යකරණයන්ගෙන් පසුව 1941 වන විට මහ සයුරේ දිග්විජය කරනට සමත් තත්වයට පත්වී තිබිණි. බිස්මාක් නෞකාව වූ කලී එවකට ජර්මානු නාවුක තාක්ෂණයේ සෑම අංගයකම එකතුවක් විය. ටොන් 58,000ක බරින්, අඩි 825ක දිගින් යුත් වූ බිස්මාක් එවකට විශාලත්වයෙන් වැඩිම යුධ නෞකාව විය. එමෙන්ම නොට්ස් 30ක වේගයෙන් ගමන් කළ හැකි බිස්මාක් එම කාලයේ පැවති වේගවත්ම යුධ නෞකාවක්ද විය. අඟල් 15 විශ්කම්භයෙන් යුත් සුවිසල් කාලතුවක්කු අටකින් සමන්විත වූ නෞකාව තවත් කුඩා අවි බොහෝමයකින් සමන්විත විය. එහි කාර්‍යමණ්ඩලය 2300ක් පමණ වූ අතර කපිතාන් අර්න්ස්ට් ලින්ඩ්මාන් ඔවුන්ට නායකත්වය දුන්නේය. බිස්මාක් සතු සුවිශේෂීම ලක්ෂණයක් ලෙස අඟල් 7ක් පමණ ඝනකම් වූ දැඩි වානේ වලින් නිමැවූ එහි බඳ (Hull) හඳුනාගත හැක. නෞකාව සතු වූ ප්‍රභල වෙඩි බලයත්, එහි ශක්තිමත් භාවයත්, වේගයත් නිසාම එය සාගරයේ බලය තමන් වෙත නතුකරගන්නට මහත් පිටුවහලක් වනු ඇතැයි ජර්මානුවන් විශ්වාස කළහ. ජර්මානු යුධ යාන්ත්‍රණය අභිමුව 1941 මැද භාගය වන විට නොනැසී සිටි එකම ජාතිය බ්‍රිතාන්‍යයින් වූහ. ජර්මානු ගුවන් ප්‍රහාර හමුවේ දැඩි පසුබෑමකට ලක්ව සිටියද, මහසයුරේ බලය තවදුරටත් හොබවන්නට බ්‍රිතාන්‍යයින්ට හැකිවිය.
බිස්මාක් වෙත පැවරුණ මුල්ම රාජකාරිය වූයේ අත්ලාන්තික් සාගරයේ විවිධාකාරයේ මෙහෙයුම් වල නියැලෙන මිත්‍ර පාක්ෂික නෞකා වලට ප්‍රහාර එල්ල කිරීමයි. ඒ වෙනුවෙන් ඈ 1941 මැයි මස 19 වන දින ජර්මනියෙන් පිටත් වූවාය. බිස්මාක් සමග දියඹට බට අනෙක් නෞකාව වූයේ Heavy Cruiser වර්ගයේ Admiral Hipper පන්තියේ ප්‍රින්ස් ඔයිගන් (Prinz Eugen) නම් නෞකාවයි. මෙම නෞකා ද්විත්වයෙහි මෙහෙයුම රයිනොයිබුං (Rheinubung) ලෙස නම් කෙරුණ අතර මෙය ඉතා රහසිගත මෙහෙයුමක් ලෙස තබාගන්නට ජර්මානුවන්ට අවශ්‍ය විය. මෙහෙයුමට අණ දුන්නේ අද්මිරාල් ගුන්තර් ලූට්ජන් (Gunther Lutjen) විසිනි. කෙසේ වුවත් බ්‍රිතාන්‍ය රාජකීය ගුවන් හමුදාවට (Royal Air Force) අයත් ස්පිට්ෆයර් නම් ඔත්තු බලන ගුවන් යානාවක් විසින් බිස්මාක් සහ ප්‍රින්ස් ඔයිගන් නෞකා ද්විත්වය ඒ වන විටත් ජර්මානු පාලනයට යටත්ව තිබූ නෝර්වේ රාජ්‍යයට ඔබ්බෙන් වූ මුහුදේදී නිරීක්ෂණය කළේය. ඒ අනුව රයිනොයිබුං මෙහෙයුම මිත්‍ර පාක්ෂික හමුදාවන්ට තව දුරටත් රහසක් නොවීය. බිස්මාක් නෞකාවේ ප්‍රභලත්වය සහ එයින් එල්ල වන තර්ජනය හොඳින්ම දැන සිටි රාජකීය නාවික හමුදාව බිස්මාක් පරාජය කිරීම සඳහා යුහුසුළු වූහ.
මෙම මෙහෙයුම සඳහා ජර්මනියෙන් පිටත්වන විට බිස්මාක් නෞකාවේ ගුවන්යානා නාශක කාලතුවක්කු (Anti Aircraft Artillery) පද්ධතිය නිසියාකාරව නිමකර නොතිබිණි. ඒ බිස්මාක් සයුරේ රාජකාරි සඳහා යෙදවීමට ජර්මානුන්ට තිබූ තදියමයි. ඊටත් වඩා බරපතල වරදක් ඔවුන් විසින් සිදුකළේ නෝර්වේ වරායෙන් නැවත ගමන් ආරම්භ කරන විට නෞකාවට නැවත ඉන්ධන පුරවා නොගැනීමයි. නෞකාවන්ගේ ගමන්මග තරමක් තෝරා ගත්තේ මුලින්ම උතුරට ගමන්කොට රාත්‍රිය උදාවූ පසු අඳුර වාසියක් කරගනිමින් අත්ලාන්තික් සාගරයට පිවිසීමයි. නමුත් ඍතු වලට අනුව මැයි මාසයේ රාත්‍රිය කෙටි වූ අතර අඳුරෙහි වාසියක් නොම විය. අමතර දුරක්, කාලයක් සහ ඉන්ධන නාස්තියක් පමණක් සිදු විය. ජර්මානු නෞකා විසින් රේඩාර් තාක්ෂණය ප්‍රධාන වශයෙන්ම භාවිතා කළේ කාලතුවක්කු සඳහා දුර නිර්ණය කරගැනීමට වුවත්, බ්‍රිතාන්‍යයින් එය දුර ඇති වස්තූන් හඳුනාගැනීම දක්වා දියුණු කරගෙන තිබිණි. රාජකීය නාවික හමුදාවට අයත් Cruiser වර්ගයේ නෞකා දෙකක් අත්ලාන්තික් සාගරයට පිවිසිය හැකි එක් මාර්ගයක් වන ඩෙන්මාක් සමුද්‍ර සන්ධියෙහි මුරකාවල් ලාගෙන සිටියහ. මැයි මස 23 වන දින ඔවුන් විසින් ජර්මානු නෞකා දෙක නිරීක්ෂණය කළ අතර බිස්මාක් සහ ප්‍රින්ස් ඔයිගන් වෙත තම අවි වලින් පහර දුන්හ. ඊට ප්‍රතිචාර දැක්වූ බිස්මාක් නෞකාවට නොහිතූ අකරතැබ්බයකට මුහුණ දෙන්නට සිදුවිය. නෞකාවේ ප්‍රභල කාලතුවක්කු වල කම්පනය දරාගත නොහැකි වූ එහි ඉදිරිපස නිරීක්ෂණ රේඩාරයට හානි සිදුවී නෞකාවේ රේඩාර් පද්ධතිය තියුණු ලෙස අඩපණ කළේය. මෙයද බිස්මාක් නෞකාව කඩිමුඩියේ රාජකාරි සඳහා යෙදවීමෙහි ප්‍රතිඵලයකි. එබැවින් මෙහෙයුමේ පෙරමුණ ගන්නට ප්‍රින්ස් ඔයිගන් නෞකාවට සිදුවිය. ප්‍රින්ස් ඔයිගන් නෞකාව රාජකීය නාවුක හමුදාවට නිරීක්ෂණය වුණේ නැත්තේ ඔවුන්ගේ සියළු උපාංග නිසිලෙස කියාත්මක වූ නිසාය.
මේ අතරතුර තවත් නෞකා දෙකක් බිස්මාක් කොටු කරගන්නට සටනට යොදවන්නට රාජකීය නාවික හමුදාව ක්‍රියා කළේය. ඒ අළුතින්ම සේවයට එක් වූ HMS (Her Majesty Ship) ප්‍රින්ස් ඔෆ් වේල්ස් නෞකාව (Prince of Walse) සහ රාජකීය නාවික හමුදාවේ කීර්තිය බඳු වූ 1918දී සේවයට එක් වූ HMS හුඩ් (Hood) ද්විත්වයයි. මුලින් ලද තොරතුරු අනුව අත්ලාන්තික් සාගරයේදී ජර්මානු නැව් ද්විත්වය මුණගැහෙන ස්ථානය නිවැරදිවම ගණනය කරන්නට සමත් වූ බ්‍රිතාන්‍ය නාවුකයින් පසුදා අළුයම සටනට අවතීර්ණ විය. ජර්මානුන්ගේත්, බ්‍රිතාන්‍යයින්ගේත් ප්‍රභලතම යුධ නෞකා දෙක මුණගැහෙන මේ සටන නියත වශයෙන්ම එක් නෞකාවකට මාරාන්තික විය. ප්‍රින්ස් ඔයිගන් නෞකාව බිස්මාක් ලෙස වරදවා හඳුනාගත් හුඩ් නෞකාව ප්‍රින්ස් ඔයිගන් වෙත පහර දෙන්නට විය. ලද අවසරයෙන් උපරිම ප්‍රයෝජන ගත් බිස්මාක් තම ප්‍රහාරය හුඩ් නෞකාව වෙත නිවැරදිව එල්ල කළේය. රේඩාර් පද්ධතිය අකර්මන්‍යව වුවද බිස්මාක් නෞකාවේ කාලතුවක්කු වල ඉලක්ක ලබාගැනීම බෙහෙවින් සාර්ථක විය. බිස්මාක් නෞකාවේ කාලතුවක්කු වල පරාසයෙන් ඈතට යාම කළ නොහැක්කක් වූ බැවින් හුඩ් නෞකාව තීරණය කළේ බිස්මාක් නෞකාවේ කාලතුවක්කු වලින් බේරීම සඳහා ඒ අසලටම ගමන් කිරීමටයි. ඒ අවස්ථාවේදී ක්‍රියාත්මක වූ බිස්මාක් නෞකාව හුඩ් නෞකාවට හොඳින් පහරදිය හැකි ලෙස ස්ථානගත විය. විනාඩි අටක පමණ වූ ඉතා කෙටි සටනකින් පසුව බිස්මාක් නෞකාවේ දරුණු ප්‍රහාරයකට ලක්ව HMS හුඩ් නම් ප්‍රතාපවත් නෞකාව නාවිකයින් 1400කට නොඅඩු පිරිසක් සමග මුහුදුබත් විය. එය ජර්මානුන්ට විශාල ජයග්‍රහණයක් වූ අතර කෙසේ හෝ බිස්මාක් පරාජය කළ යුතුය යන අධිෂ්ඨානයට බ්‍රිතාන්‍යයින් පැමිණි සිදුවීමක් විය.
ඒ අතරම ප්‍රින්ස් ඔෆ් වේල්ස් නෞකාවේ ප්‍රධාන අවියෙන් එල්ල කළ අඟල් 14 උණ්ඩයක් වැදීමෙන් බිස්මාක් නෞකාවේ බඳ සිදුරු වූ අතර එයින් විශාල ඉන්ධන කාන්දුවීමක් ආරම්භ විය. එයින් නෞකාවේ වේගයද අඩාල විය. කෙසේ වෙතත් තමන්ව ලුහුබඳින රාජකීය නාවික හමුදා නෞකා වලට පහරදී පසුබෑමට ලක් කළ බිස්මාක් ඒ අවසරයෙන් සිය සහෝදර නෞකාව වූ ප්‍රින්ස් ඔයිගන් හට සිය ගමන් මාර්ගය වෙනස්කොට යන්නට ඉඩකඩ විවර කරදුන්නේය. ඒ අතරවාරයේ බිස්මාක් නෞකාව අළුත්වැඩියා කරගැනීම සඳහා නැවත නෝර්වේ වෙත යා යුතුද, නැතහොත් ප්‍රංශය වෙත යා යුතුද යන්න පිළිඹඳ විවාදයක් බිස්මාක් නෞකාවේ කපිතාන් සහ රයිනොයිබුං මෙහෙයුමේ අණදෙන නිළධාරී අතර සිදුවිය. නොර්වේ කරා නැවත යාම වඩාත් ඉක්මන් සහ ළඟ වූ අතර ප්‍රංශය කරා ගමන් ගැනීම වඩාත් කාලය ගන්නා, දුරින් වැඩි ගමනක් විය. නෝර්වේ සහ ප්‍රංශය ඒ වන විට පාලනය කළේ ජර්මනියයි. නමුත් බිස්මාක් නෞකාව ප්‍රංශයට පදවන්නට අවසානයේ තීරණය විය.
මේ අතරතුර රාජකීය නාවික හමුදා නෞකාවක් ජර්මානු සබ්මැරීන් (U Boats) නොමඟ යැවීම සඳහා සිග්සැග් ආකාරයේ ගමන්මාර්ගයක් අනුගමනය කළේ බිස්මාක් නෞකාව සිය රේඩාරයට හසුවන දුරින් තබාගනිමිනි. කෙසේ වුවත් මෙය අවස්ථාවක් කරගත් බිස්මාක් නෞකාව තම දකුණු පසට හරවා ගමන් කර බ්‍රිතාන්‍ය නෞකාවේ රේඩාරය මඟහරින්නට සමත් විය. මේ බව නොදත් අද්මිරාල් ලූට්ජන් රේඩියෝ පණිවුඩයක් ජර්මනියට යැව්වේ තමන් මුහුණ දී ඇති තත්වය පිළිඹඳව දැනුවත් කිරීමටයි. මේ වකවානුව වන විට කේතනය කරන ලද ජර්මානු රහස් පණිවුඩ විකේතනය කිරීමේ හැකියාව අත්කරගෙන සිටි බ්‍රිතාන්‍යය විසින් මෙම රේඩියෝ පණිවුඩය විකේතනය කොට බිස්මාක් නෞකාව සිටින ප්‍රදේශය දළ වශයෙන් සොයාගත්හ. [කේතනය කරන ලද ජර්මානු රේඩියෝ පණිවුඩ විකේතනය කිරීමේ තාක්ෂණය සොයාගත් සැටි මින් පෙර ලිපියක පළ වී ඇත] නමුත් මහ සයුරේ නෞකාවක් තිබෙන තැන නිවැරදිවම සොයාගත නොහැකි වූ නිසා බ්‍රිතාන්‍යයින් විසින් ඔවුන්ගේ කැටලිනා ෆ්ලයිං බෝට් නම් ඔත්තු බලන ගුවන් යානා සැකකටයුතු ප්‍රදේශය සෝදිසි කරනු පිණිස පිටත් කළහ. වළාකුලින් බර අහසෙහි සිට මුහුදෙහි ගමන් ගන්නා නෞකාවක් නිරීක්ෂණය කිරීමද අපහසු කාර්‍යයක් විය. නමුත් වළාකුළු අතරින් තිබූ හිඩැසක් තුළින් බිස්මාක් නෞකාවේ ඉන්ධන කාන්දුවීම නිසා ඇති වූ තෙල් පැල්ලම නිරීක්ෂණය කළ ගුවන් නියමුවන් ඒ ඔස්සේ ගමන්කොට බිස්මාක් නෞකාව සිටින තැන සහ ගමන් ගන්නා මාර්ගය සොයා ගත්හ. මේත් සමගම රාජකීය නාවික හමුදාව තමන් සතු සියළුම ශක්තිය බිස්මාක් නවතාලන්නට ඒකරාශී කළහ.
නමුත් ඒ වන බිස්මාක් සිටියේ ජර්මානු පාලනය යටතේ පැවති ප්‍රංශයේ සිට ගුවන්ගත වූ ලුෆ්ත්වාෆේ නම් ජර්මානු ගුවන් හමුදාවේ බල ප්‍රදේශයට ආසන්න වෙමින්. බිස්මාක් නෞකාව ජර්මානු ගුවන් හමුදාව මගින් බලය පතුරවන කලාපයට ඇතුළු වූවා නම් නිසැකවම ඔවුන් සුරක්ෂිත කිරීමට ජර්මානු ගුවන් හමුදාවට හැකියාව තිබුණි. බ්‍රිතාන්‍යයින් හට බිස්මාක් නවතාලීම සඳහා ඉතිරිව තිබූ එකම අවස්ථාව ගුවන් ප්‍රහාරයක් පමණි. ඒ එම අවස්ථාව වන විට බිස්මාක් නැසීමේ මෙහෙයුම සඳහා එක්ව සිටි HMS ආක් රෝයල් (Arm Royal) නම් ගුවන් යානා ප්‍රවාහන නෞකාව (Aircraft Carrier) මත තිබූ ගුවන් යානා මගින් බිස්මාක් නෞකාවට ප්‍රහාර එල්ල කිරීමෙනි. ටෝපිඩෝ වලින් සන්නද්ධ වූ ස්වෝඩ්ෆිෂ් (Swordfish) ගුවන් යානා HMS ආක් රෝයල් නෞකාවෙන් ගුවන්ගත වූහ. එම ගුවන් යානා වේගය අතින් අඩු වුවත්, මනා සථායීතාවයකින් යුක්ත තරමක් පැරණි යානා වර්ගයක් විය. විශාල ගුවන් යානා ප්‍රමාණයක් එකවර බිස්මාක් වෙත පහර දෙන්නට වූ අතර ආධුනික බිස්මාක් කාර්‍යමණ්ඩලයට නිසියාකාරව නිමනොකළ ගුවන් යානා නාශක අවි හරිහැටි හසුරුවාගත නොහැකි විය. ස්වෝඩ්ෆිෂ් ගුවන් යානා පියාසර කළේ මුහුදු ජල මට්ටමට ඉතා ආසන්නයෙනි. මෙය ජර්මානු නාවිකයින් දැඩි අපහසුතාවයකට පත්කළ කාරණයක් විය. බ්‍රිතාන්‍ය ගුවන් යානා මගින් එල්ල කළ විශාල ගණනක් වූ ටෝපිඩෝ අතරින් දෙකකට බිස්මාක් නෞකාවේ රඩර් (Rudder) යුගලටම හානි කළ හැකි විය. [නෞකාවක Rudder එක භාවිතා වන්නේ එය වමට සහ දකුණට හැරවීම සඳහාය] එයින් එක රඩරයක් යථා තත්වයට පත්කර ගන්නට බිස්මාක් නෞකාවේ සිටි යාන්ත්‍රිකයින් සමත් වුවත් අනෙක් රඩරය යථා තත්වයට පත්කර ගන්නට ඔවුන්ට නොහැකි විය. ඒ හේතුවෙන් නෞකාව ප්‍රංශය දෙසට ගමන් කරනු වෙනුවට එක තැන කැරකෙන්නට විය. රාත්‍රිය උදාවූ හෙයින් අප්‍රේල් 26 වන දිනට සටන් නිමාවිය. නමුත් නිසැකවම මීළඟ උදෑසන ජයග්‍රාහී එකක් වනු ඇතැයි රාජකීය නාවිකයින් විශ්වාස කළහ.
1941 මැයි මස 27 වන දින උදෑසන 8.47ට පමණ HMS රොඩ්නි නෞකාවෙන් බිස්මාක් වෙත පහර දීම ආරම්භ කළ අතර බිස්මාක් නෞකාවද ප්‍රතිචාර දැක්වීය. ඒ අතර බිස්මාක් නෞකාවේ සිටි අද්මිරාල් ලූට්ජන් ජර්මනිය වෙත දන්වා සිටියේ අවසන් උණඩය තෙක් තමන් සටන් කරන බවයි. වේගය අතින්ද, හැසිරවීම (Maneuverability) අතින්ද දුර්වලව සිටි බිස්මාක් නෞකාව රාජකීය නාවික හමුදා නෞකා වල පහසු ගොදුරක් බවට පත්විය. සටන ආරම්භව විනාඩි 12ක් පමණ ගත වන තැන බිස්මාක් නෞකාව මතමට සතුරු උණ්ඩ පතිත වන්නට විය. ඒ ප්‍රහාර වලින් බිස්මාක් නෞකාවේ ඉදිරිපස කාලතුවක්කු අකර්මන්‍ය විය. සටනට විනාඩි 25ක් පමණ ගතවන තැන නෞකාවේ පාලන කුටියටද (Bridge) සතුරු කාලතුවක්කු උණ්ඩ පතිත වූ අතර ඒ ප්‍රහාරයන්ගෙන් අද්මිරාල් ලූට්ජන් සහ කපිතාන් ලින්ඩ්මාන් ද මරණයට පත්වන්නට ඇතිබව සමහර දෙනා විශ්වාස කරති. උදෑසන 9.31න් පසු බිස්මාක් නෞකාවේ ප්‍රධාන කාලතුවක්කු නැවත ක්‍රියාත්මක වුණේ නැත. රාජකීය නාවික හමුදාවේ එකම අභිප්‍රාය වූයේ මහ සයුරේ බලවතා ගිල්වා දැමීම පමණකි. නාවික සැතපුම් දෙකක් පමණ බිස්මාක් නෞකාව සමීපයට පැමිණි HMS රොඩ්නි නෞකාව අවසන් ප්‍රහාරය එල්ල කළහ. ක්‍රමක්‍රමයෙන් වම්පසට ඇලවුණ බිස්මාක් නෞකාව යටිකුරුව මහ සයුරේ ගිලී ගියේ ජීවිත 2200කට පමණ ආසන්න සංඛ්‍යාවකට දිවි අහිමි කරමිනි.
නාවික සම්ප්‍රදායන්ට ගරු කරමින් ජීවිතාරක්ෂක කබා ආධාරයෙන් ජලය මතුපිට පාවෙමින් සිටි ජර්මානු නාවිකයින් මුදාගැනීමට තරම් බ්‍රිතාන්‍ය නාවික හමුදාව ගරු කටයුතු විය. නමුත් එලෙස මුදාගැනීමට හැකියාව ලැබුණේ 110ක් තරම් වූ සුළු පිරිසක් පමණි. එක් වරම ජර්මානු සබ්මැරීනයක් එන බව සැලවීමෙන් HMS ඩෝසිචර් (Dorsetshire) නෞකාව අනතුරට පත් ජර්මානු නාවිකයින් ගලවා ගැනීම පසෙක දමා එම ස්ථානයෙන් ඉවත් වූයේ සිය ගණනක් ජීවිත වල ඉරණම තීරණය කරමිනි.
කෙසේ වෙතත් කලක් ගතවන තුරුම බිස්මාක් නෞකාව ගිලෙන්නට හේතු වූයේ රාජකීය නාවික හමුදා ප්‍රහාරයද, නැතිනම් බිස්මාක් කාර්‍යමණ්ඩලය විසින්ම එය පුපුරවා හැරියාද යන්න විවාදයට තුඩු දුන් කරුණක් විය. ඒ ජර්මානුන් විසින් තම තාක්ෂණය සතුරු හමුදාවන් අතට පත්වීම වැළැක්වීම සඳහා නෞකාව තමන් විසින්ම පුපුරවාගෙන ගිල්වූයේද යන කාරණාව මතුවීමයි. වර්ෂ 2001 දී පමණ බිස්මාක් නෞකාව ගවේෂණය කළ පිරිස් එක්රැස් කළ තොරතුරු විශ්ලේෂණය කළ නාවුක විශේෂඥයින් කියා සිටියේ නෞකාව මත සවිකර තිබූ අවි සහ අනෙකුත් උපකරණ වලට කෙතරම් හානි සිදු වුවත්, නෞකාවෙහි බඳ කොටස තවමත් නිරුපද්‍රිතව පවතින බවයි. එබැවින් ඔවුන් නිගමනය කළේ බිස්මාක් නෞකාව රාජකීය නාවික හමුදාව විසින් ගිල්වා දැමුවා නොව, බිස්මාක් කාර්‍ය මණ්ඩලය විසින්ම පුපුරුවාහළ බවයි.
බිස්මාක් අහිමි වීම ජර්මානු නාවික හමුදාව වූ ක්‍රීග්ස්මරීනා වෙත එල්ල වූ දරුණු පහරක් විය. එතෙකින් පසු ජර්මානු නාවික විධානය මගින් ඔවුන්ගේ සබ්මැරීන වල සහයට යුධ නෞකා යෙදවීමේ උපක්‍රමය අත්හැර දැමූහ. ජර්මානු ආඥාදායක ඇඩොල්ෆ් හිට්ලර් සාගරයේ බලය තමන් සතු කරගන්නට දැරූ උත්සාහය බිඳවැටීමේ හැරවුම් ලක්ෂය බිස්මාක් නෞකාවෙහි දින නවයක මංගල චාරිකාවේ ඛේදනීය නිමාව බව විශේෂඥ මතයයි !!
උපුටා ගැනීම: global insights.lk


