පුරාතනයේ පටන්ම මිනිසා බොහෝ කුතුහලයෙන් ඇඳ බැඳ තබන්නට සමත්වූ මාතෘකාවකි මරණින් මතු ජීවිතය. මියගිය වහාම අප ආත්මයට කුමක් වන්නේද, කුමන සිදුවීම් සමුදායකට මුහුණ දීමට සිදුවේද, එම අත්දැකීම කෙබඳුද යන අතොරක් නැති ගැටළු වලට පිළිතුරු සෙවීමට සමස්ථ මානව වර්ගයාම නොගත් උත්සාහයක් නැත. මරණින් පසු අත්දැකීම් ගැන තොරතුරු යම්යම් ගවේෂකයින් මගින් විටින්විට පළකලත් වඩා විශ්වාසදායී විද්‍යාත්මක පිළිතුරක් ලබා දීමට කිසිවෙකුත් සමත්වී නැති බව නම් කිවයුතුය. අප අදහන විවිධ ආගම් මේ පිළිබඳව විවිධ ඉගැන්වීම් සිදු කර ඇතත් ඒවාද අත්දැක මේ යැයි කීමට තවමත් කිසිවෙකු සමත් වී නැත. බෞද්ධයන්වන අප පුනර්භවය ගැන බුදු දහමේ ඉගැන්වීම් තුළින් විශ්වාස කරනමුත් බටහිර අයවලුන් නම් ඒ ගැන විශේෂ අවධානයක් ලබා දෙන්නේ නැත. කෙසේ නමුත් වර්ෂ 1957 ඈත එංගලන්තයේ සිදුවූ යම් සිද්ධීන් සමුදායක් නිසා පුනරුත්පත්තිය පිළිබඳ ආන්දෝලනාත්මක කතිකාවතක් බටහිර සමාජයේද ඇතිවිය. මේ එම අරුම පුදුම කතාවයි.
වර්ෂ 1957 මැයි මස 7 වන දින එංගලන්තයේ හේෂාම්හි වීදියක ජැක්ලීන් පොලොක් සහ ජොආනා පොලොක් සහෝදරියන් තම මිතුරු පිරිමි ළමයෙකුද සමග ඔවුන්ගේ නිවසේ සිට පල්ලියට යමින් සිටියහ. දෛවයේ අවාසනාවන්ත ඉරණමකට මුහුණ පාමින් කාන්තාවක් විසින් පැදවූ මෝටර් රථයක් පාරෙන් එපිටට පැන කුඩා ළමුන් තිදෙනාවද යටකරමින් ධාවනය වී නැවතිනි. මෙම දරුණු අනතුරින් පොලොක් සහෝදරියන් එම ස්ථානයේදීම තම දිවිගමන නිමා කල අතර ඇන්තනි නම්වූ ඔවුන්ගේ යහළු පිරිමි ළමයාද රෝහල්ගත කිරීමෙන් පසු මිය ගියේය. මිය යන විට සහෝදරියන් පිලිවෙලින් වයස අවුරුදු 11 සහ 7 වයස්වල පසුවූහ.
හේෂාම් පමණක් නොව සමස්ථ එංගලන්තයම මෙම අනතුරින් කම්පාවට පත්වූහ. පොලොක් පවුල වෙනුවෙන් සෝ සුසුම් හෙලූහ. දැරිවියන්ගෙ මව වූ ෆ්ලෝරන්ස් පොලොක් දරුණු මානසික පීඩනයකට ලක්ව ජීවිතාශාව පවා අත්හැර සිටියත් ජෝන් පොලොක් වූ ආගම කෙරෙහි වැඩි නැඹුරුවක් තිබූ පියා ෆ්ලොරන්ස් සනසමින් කියා සිටියේ දැරිවියන් කවදා හෝ ඔවුන් සොයා එන බවයි. එසේම ඔහු කිහිපවිටක්ම දැරිවියන් නැවත ෆ්ලොරන්ස්ගේ මව්කුසින් නිවුන් දැරියන් ලෙස උපත ලබන සිහිනයක් දැක තිබුනි.
සියළු දුක් සංකා නිමා කරමින් ඊළඟ වසරේ ඔක්තෝබර් මස සියල්ලන්වම පුදුම කරමින් ෆ්ලෝරන්ස් නිවුන් දැරියන් දෙදෙනෙකු බිහි කලාය. ජෝන් පොලොක් නම් මේ ආශ්චර්යයෙන් පුදුම වූ බවක් දක්නට නොතිබිනි. ඔහු සෑම විටම පැවසූයේ මේ මීට වසරකට කලින් මියගිය තම දියණියන් දෙදෙනා බවයි.
නිවුන් සහෝදරියන් දෙදෙනා ගිලියන් සහ ජෙනිෆර් ලෙස නම් ලැබූහ. ජෙනිෆර්ගේ දකුණු ඇසට ඉහළින් තිබූ උපන් ලපයක් මියගිය ජැක්ලීන්ගේ එම ස්තානයේම තිබූ තුවාල කැළලකට අතිශය සමානකමක් දැක්වීය. මේ වන විට ඔවුන් හේෂාම් වලින් වයිට්ලි බේ නම් වෙනත් නගරයකට සංක්‍රමණය වී සිටියහ. කුඩා ගැහැණු ළමුන් බහ තෝරන වියට පැමිනෙණ විට ඔවුන් කිසිදා දැක නොමැති සෙල්ලම් භාණ්ඩ පිළිබඳ විස්තරයක් කරමින් තමනට සෙල්ලම් කිරීමට ඒවා ලබා දෙන ලෙස මව්පියනට ඇවටිලි කළෝය. ඉතාම පුදුමයකට මෙන් එම විස්තර කල සෙල්ලම් භාණ්ඩ මියගිය ජැක්ලීන් සහ ජොආනා සතුව සැබැවින්ම තිබූ සෙල්ලම් භාණ්ඩ විය. මව්පියන් අතිශය පුදුමයට පත්කල කාරණාව වූයේ දැරියන් දෙදෙනාම ඔවුන්ට මියගිය සහෝදරියන්ගේ බෝනික්කන් ලබා දුන් විට එම ජැක්ලීන් සහ ජොආනා එම බෝනික්කන් හැඳින්වූ නාමයෙන්ම ගිලියන් සහ ජෙනිෆර් එම බෝනික්කන් ඇමතීමයි. මෙයට පෙර ඔවුන් කිසිදාක එම බෝනික්කන් දැක තිබුනේවත් නැත. අනිත් විශ්මය දනවන සුලු කාරණාව වූයේ ඔවුන් දෙදෙනාගේ ආහාර පුරුදුද ජැක්ලීන් සහ ජොආනාගේ ආහාර පුරුදු වලට අතිශයින් සමානකමක් දැක්වීමයි. එමෙන්ම ඔවුන්ගේ ශරීර ස්වභාවය පවා මියගිය සහෝදරියන්ගේ ස්වරූපය ගත්බව පැවසේ.
එක් දිනක ෆ්ලෝරන්ස් හට තවත් අද්භූත අත්දැකීමකට මුහුණ දීමට සිදුවිය. ෆ්ලෝරන්ස් කුඩා සහෝදරියන්ගේ කතාබහකට ඇහුම්කන් දෙමින් සිටි අතර ඔවුන් දෙදෙනා කතා වූයේ ජැක්ලීන් සහ ජොආනා මියගිය අනතුර පිළිබඳවයි. ෆ්ලෝරන්ස් අතිශය විශ්මයට පත්වූයේ අනතුර පිළිබඳව ඔවුන්වත් නොදන්නා ඇතැම් විස්තර කුඩා සහෝදරියන් පැවසීමට පටන්ගත්විටයි. ඔවුන් වෙන කිසිමදාක කාගෙන් හෝ මෙම අනතුර පිළිබඳව කිසිම විස්තරයක් දැන සිටියේ නැත. මව්පියන් කුඩා දැරියන් හේෂාම්හි සංචාරයකට රැගෙනගියවිට පාසල, පල්ලිය පිහිටි ස්ථානය පමණක් නොව ඇතැම් වීදිවල නම් පවා ඔවුන් දැන සිටියහ.
කෙසේ වෙතත් වයස අවුරුදු පහ පමණ වන විට මෙම සියලු මතකයන් සොහොයුරියන් වෙතින් දුරස්වී ගිය අතර ඔවුන් සාමාන්‍ය ජීවිතයක් ගත කලහ. මේ වන විට ඔව්න් පිළිබඳ කිසිම තොරතුරක් වාර්තා නොවන මුත් අප්රසිද්ධියේ එංගන්තයේ වාසය කරන බව පමණක් දැනගන්නට ඇත.
මූලාශ්‍ර :- Mysterious Universe: Death and Rebirth The mysterious case of pollock twins



උපුටා ගැනීම: global insights


