ඔයා හිතන්නේ ලෝකයේ වැඩිම මිනිස් මරණ ප්‍රමාණයකට වගකියන්නේ සිංහයෝ, කොටියෝ නැත්නම් විෂ තියෙන සර්පයෝ කියලද? නැහැ!
සත්‍යය නම්, මේ ලෝකයේ ඉන්න භයානකම “මිනීමරුවා” තමයි අපි හැමෝම දකින මේ පුංචි මදුරුවා. දත්ත වලට අනුව, මදුරුවන් පතුරුවන ඩෙංගු, මැලේරියාව, සහ කහ උණ වගේ රෝග නිසා වසරකට මිනිසුන් ලක්ෂ 7කට වඩා ප්‍රමාණයක් මිය යනවා.
ඉතින් අපිට හිතෙනවා නේද?ඇමරිකාවෙන් පැනමාවට Screwworm මැස්සන්ව වඳ කරන්න ගත්තා වගේ පියවරක් අරගෙන මේ මදුරුවන්වත් ලෝකයෙන්ම නැති කරලා දාන්න පුළුවන් නම් කොච්චර දෙයක්ද කියලා?
හැබැයි විද්‍යාඥයෝ කියන විදියට මේක “ලේසි වැඩක්” නෙවෙයි. මදුරුවෝ නැති වුණොත් මුළු ලෝකෙම උඩුයටිකුරු වෙන්න පුළුවන්! ඒ ඇයි?
මදුරුවෝ ගැන ඔයා නොදන්නා කරුණු
• විශේෂ 3,500ක්: ලෝකයේ මදුරු වර්ග 3,500කට වඩා ඉන්නවා. හැබැයි මේ හැමෝම අපිට ලෙඩ බෝ කරන්නේ නැහැ.
• ලෙඩ පතුරුවන්නේ 100යි: මිනිස්සුන්ට මාරාන්තික ලෙඩ පතුරුවන්නේ මදුරු විශේෂ 100ක් වගේ පොඩි ප්‍රමාණයක් විතරයි.
• පිරිමි මදුරුවෝ අහිංසකයි: ලේ බොන්නේ ගැහැණු මදුරුවෝ විතරයි (බිත්තර මේරීම සඳහා). පිරිමි මදුරුවෝ ජීවත් වෙන්නේ මල් පැණි බීලා.
මදුරුවෝ සම්පූර්ණයෙන්ම වඳ වුණොත් මොකද වෙන්නේ?
1. ආහාර දාමය කඩාවැටීම
මදුරු කීටයන් (Wrigglers) කියන්නේ වැව් සහ පොකුණු වල ඉන්න කුඩා මසුන්ගේ සහ මැඩියන්ගේ ප්‍රධානම ආහාරය. ඒ වගේම රෑට පියාඹන වවුලන් සහ සමහර කුරුල්ලන් දවසකට මදුරුවන් දහස් ගණනක් ආහාරයට ගන්නවා. මදුරුවෝ නැති වුණොත් මේ සත්තුන්ට ආහාර හිඟයක් වෙලා උන් වඳ වෙන්න ගන්නවා.
2. පරාගණය නතර වීම
මදුරුවෝ කියන්නෙත් පරාගණයට උදව් වෙන කෘමීන් වර්ගයක්. සමහර වල් පැළෑටි සහ මල් වර්ග පරාගණය වෙන්නේ මදුරුවන් හරහා. උන් නැති වුණොත් ඒ ශාක විශේෂත් ලෝකයෙන් සමුගනීවි.
3. හිස්තැනට එන අලුත් සතුරා
පරිසර විද්‍යාවේ (Ecology) හැටියට සොබාදහම කවදාවත් හිස් තැන් වලට කැමති නැහැ. මදුරුවෝ නැති වුණු තැනට ඊට වඩා දරුණු ලෙඩ පතුරුවන වෙනත් කෘමි විශේෂයක් එන්න තියෙන ඉඩකඩ වැඩියි.
එතකොට විසඳුම මොකක්ද?
විද්‍යාඥයෝ දැන් උත්සාහ කරන්නේ හැම මදුරුවාම මරන්න නෙවෙයි. ජාන තාක්ෂණය (Gene Drive) පාවිච්චි කරලා ලෙඩ පතුරුවන මදුරුවන්ගේ (Aedes Aegypti වගේ) බෝ වීම විතරක් පාලනය කරන්නයි. ඒ කියන්නේ පරිසරයට හානියක් නොවී මිනිස් ජීවිත බේරගන්න මැද මාවතක් හොයන එකයි.
ඔයාට මොකද හිතෙන්නේ? ![]()
වාර්ෂිකව ලක්ෂ ගණනක් මිනිස්සු මරන මේ “පුංචි මිනීමරුවා” ලෝකයෙන්ම වඳ කරලා දාන එක හොඳයිද? නැත්නම් ඒක සොබාදහමට කරන ලොකුම හානියක් වෙයිද?
ඔයාගේ තර්කානුකූල අදහස පහළින් කමෙන්ට් කරන්න! ![]()
උපුටා ගැනීම : Unknown Diary


