රටක අගමැතිවරයෙක් එකපාරටම කිසිම සලකුණක් නැතිව අතුරුදහන් වුණොත් කොහොමද? 1967 දෙසැම්බර් 17 වැනිදා ඕස්ට්‍රේලියාවේ 17 වැනි අගමැතිවරයා වුණු “හැරල්ඩ් හෝල්ට්” (Harold Holt) ට සිද්ධ වුණේ අන්න ඒ වගේ අදහාගන්න බැරි දෙයක්.
එදා වයස අවුරුදු 59ක් වුණු ඔහු, වික්ටෝරියා ප්‍රාන්තයේ “චෙවියට්” (Cheviot) කියන මුහුදු වෙරළට නාන්න ගියා. එදා මුහුද ගොඩක් රළු වෙලා තිබුණු අතර, දරුණු දියවැලකට අහුවුණු අගමැතිවරයා එකපාරටම රළ අතරින් අතුරුදහන් වුණා. ඕස්ට්‍රේලියානු නාවික, හමුදා සහ වෙරළාරක්ෂක බලකාය එකතු වෙලා ඉතිහාසයේ ලොකුම සෙවීමේ මෙහෙයුමක් දියත් කළත්, ඔහුගේ සිරුරේ කිසිම සලකුණක් හොයාගන්න ලැබුණේ නැහැ.
දින දෙකකට පස්සේ ඔහු දියේ ගිලී මියගිය බවට රජය නිල වශයෙන් නිවේදනය කළා. හැබැයි සිරුර හොයාගන්න බැරි වුණු නිසා සමාජයේ විවිධ කටකතා පැතිරෙන්න පටන් ගත්තා. ගොඩක් අය කිව්වේ ඔහු චීන ඔත්තුකරුවෙක් බවත්, මුහුද යටින් ආපු සබ්මැරීනයකින් ඔහු පැනලා ගියා කියලයි. කොහොම වුණත් මේවාට කිසිම සාක්ෂියක් නැති නිසා රජය මේ කටකතා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කළා. රටක නායකයෙකුට සිදුවුණු මේ අද්භූත ඉරණම අදටත් ලෝක දේශපාලන ඉතිහාසයේ ලොකුම අභිරහසක් විදිහට ඉතිරි වෙලා තියෙනවා.
උපුටා ගැනීම : Beyond Imagination – නොසිතූ ලොවක්


