ඔබ මුහුදේ නාමින් ඉන්නකොට එකපාරටම ඩොල්ෆින් මසුන් රංචුවක් ඇවිත් ඔබව වටකරගත්තොත් මොකද හිතෙන්නේ? 2004 අවුරුද්දේ නවසීලන්තයේ මුහුදු වෙරළක නාමින් හිටපු ජීවිතාරක්ෂක භටයෙක් වුණු රොබ් හෝව්ස් (Rob Howes) සහ තවත් යෞවනයන් තුන්දෙනෙකුට මේ පුදුමසහගත අත්දැකීමට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඔවුන් නාමින් ඉන්නකොට එකපාරටම එතැනට ආපු ඩොල්ෆින් රංචුවක් මේ හතරදෙනාව මැදි කරගෙන රවුමක් හැදුවා. වලිගයෙන් වතුරට ගහමින්, රවුමෙන් එළියට යන්න හදපු අයට ආයෙත් ඇතුළටම තල්ලු කරමින් මේ සත්තු හැසිරුණේ හරිම කලබලයෙන්.
රොබ් මුලින් හිතුවේ මේ සත්තු ඔවුන්ට පහර දෙන්න හදනවා කියලයි. හැබැයි නිල් පාට වතුර යටින් පෙනුණු දේ දැක්කම රොබ්ට ඇත්තටම සිද්ධ වෙන්නේ මොකක්ද කියලා තේරුණා. අඩි 10ක් විතර දිග දැවැන්ත සුදු මෝරෙක් (Great White Shark) ඔවුන්ට යටින් කැරකෙමින් හිටියා! මේ මෝරාගෙන් මිනිසුන්ව බේරගන්න තමයි ඩොල්ෆින්ලා මේ විදිහට පවුරක් වගේ ඔවුන්ව වටකරගෙන ඉඳලා තියෙන්නේ. තමන්ගේ ජීවිතය බේරගෙන පැනලා යනවා වෙනුවට මේ බුද්ධිමත් සත්තු කළේ, මෝරාට පහර දෙන්න වගේ වේගයෙන් ඉදිරියට යමින් මිනිසුන්ව තවත් ආරක්ෂා කරපු එකයි.
සම්පූර්ණ විනාඩි 40ක් පුරාවට මේ ඩොල්ෆින් රංචුව වතුරට ගහමින් මෝරාව බියගන්වලා පන්නා දමන්න උත්සාහ කළා. අන්තිමේදී තමන්ගේ උත්සාහය අත්හැරපු මෝරා යන්න ගියාට පස්සේ තමයි මේ ඩොල්ෆින් රංචුව ඔවුන්ගේ වළල්ල ලිහිල් කරලා මිනිසුන්ට ගොඩට යන්න ඉඩ දුන්නේ. සතුන්ගේ බුද්ධිය වගේම ඔවුන් සතු අසාමාන්‍ය ආරක්ෂා කිරීමේ හැකියාව ගැන මේ සත්‍ය කතාව ලෝකයටම අපූරුවට කියා පානවා.
උපුටා ගැනීම : Beyond Imagination – නොසිතූ ලොවක්


