රාත්තල් 300ක් බර දැවැන්ත ගෝරිල්ලෙක් පුංචි පූස් පැටියෙක්ව ආදරයෙන් තුරුළු කරගෙන ඉන්නවා ඔබ දැකලා තියෙනවාද? මේක කාටූන් එකක කතාවක් වගේ පෙනුණත්, “කෝකෝ” (Koko) කියන ගෝරිල්ලා සැබෑ ලෝකයේ කරපු මේ අපූරු වැඩේ නිසා සතුන්ගේ හැඟීම් ගැන ලෝකයේම අවධානය යොමු වුණා.
කෝකෝ කියන්නේ සාමාන්‍ය සතෙක් නෙවෙයි. අවුරුද්දක් වයසැති කාලයේ ඉඳන් ඇයට සංඥා භාෂාව (sign language) ඉගැන්නුවා. මේ නිසා ඇයට සංඥා භාෂාවෙන් වචන 1,000කට වඩා පාවිච්චි කරන්නත්, ඉංග්‍රීසි වචන 2,000ක් විතර තේරුම් ගන්නත් පුළුවන්කම තිබුණා. 1983 අවුරුද්දේ ඇගේ උපන්දිනය දවසේ ඇය සංඥා භාෂාවෙන් දිගින් දිගටම ඉල්ලුවේ පූසෙක්වයි. පර්යේෂකයන් ඇයට සෙල්ලම් පූසෙක්ව දුන්නත් ඇය ඒක ප්‍රතික්ෂේප කළා. ඇයට ඕනේ වුණේ ඇත්තම පණ තියෙන පැටියෙක්වයි. අන්තිමේදී ඇයට පුංචි පූස් පැටියෙක්ව ගෙනත් දුන්නා. කෝකෝ ඌට “ඕල් බෝල්” (All Ball) කියලා නම තියලා, තමන්ගේම දරුවෙක්ට වගේ හරිම ආදරයෙන් රැකබලා ගත්තා.
හැබැයි මේ ලස්සන කතාව ගොඩක් දුක්ඛිත විදිහට අවසන් වුණා. 1984 අවුරුද්දේ දවසක මේ පූස් පැටියා පර්යේෂණාගාරයෙන් එළියට ගිය වෙලාවේ වාහනයකට හැප්පිලා මියගියා. කෝකෝට මේ දුක්බර ආරංචිය කිව්වම, ඇය මිනිසෙක් වගේම දැඩි සේ ශෝක වුණා. ඇය හඬමින් සංඥා භාෂාවෙන් “දුකයි” (sad), “අඬනවා” (cry), සහ “නිදාගන්න පූසා” (Sleep, cat) කියලා පැවසුවා. සතුන්ටත් අපි වගේම දැඩි සෙනෙහසක් සහ දුකක් දැනෙනවා කියන්න කෝකෝගේ මේ සංවේදී කතාව ලෝකයටම කදිම උදාහරණයක්.
උපුටා ගැනීම : Beyond Imagination – නොසිතූ ලොවක්


