අඩි 9ක් දිග දැවැන්ත කිඹුලෙක් එකපාරටම කකුලෙන් ඇදලා ගත්තොත් අවුරුදු 10ක පුංචි ළමයෙක්ට මොනවා වෙයිද? 2017 මැයි මාසයේ ඇමරිකාවේ ෆ්ලොරිඩා (Florida) ප්‍රාන්තයේ “මොස් පාර්ක්” (Moss Park) කියන ප්‍රදේශයේදී ජුලියානා ඔසා (Juliana Osa) කියන පුංචි දැරියට මේ බියකරු අත්දැකීමට මුහුණ දෙන්න සිද්ධ වුණා. හැබැයි බයවෙලා කෑගහනවා වෙනුවට මේ පුංචි දැරිය කළේ තමන් ඉගෙන ගත්තු අපූරු උපක්‍රමයක් පාවිච්චි කරලා තමන්ගේ ජීවිතය බේරගත්ත එකයි!
මේ දැවැන්ත කිඹුලා ඇගේ කකුලෙන් අල්ලගත්තම, මුලින්ම ඇය කිඹුලාගේ ඔළුවට පහර දෙන්න පටන් ගත්තා. ඒකෙන් වැඩක් නොවුණු නිසා ඇයට එකපාරටම “Gatorland” කියන සත්ව උද්‍යානයෙන් ඉගෙන ගත්තු දෙයක් මතක් වුණා. ඒ තමයි කිඹුලන්ගේ නහය සහ ඇස් ගොඩක් සංවේදීයි කියන එක. ඇය කිසිම බයක් නැතිව තමන්ගේ ඇඟිලි කිඹුලාගේ නහයේ සිදුරුවලට දාලා තදකරගත්තා. නහය වැහුණම හුස්ම ගන්න කට අරින්න සිද්ධ වෙන නිසා, කිඹුලාට ඇගේ කකුල අතහරින්න සිද්ධ වුණා. ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන ගත්තු ජුලියානා ඉක්මනින් එතැනින් පැනලා දිව්වා!
තුවාල වුණු ඇගේ කකුලට ඉක්මනින්ම වෛද්‍ය ප්‍රතිකාර ලබාදුන් අතර, වනජීවී නිලධාරීන් විසින් මේ දරුණු කිඹුලාව ඒ ප්‍රදේශයෙන් ඉවත් කළා. දරුණු අනතුරකදී කලබල නොවී මොළය පාවිච්චි කිරීම නිසා තමන්ගේ ජීවිතය බේරගත්තු මේ පුංචි දැරියගේ වීරක්‍රියාව මුළු ලෝකයේම කතාබහට ලක්වුණා.
උපුටා ගැනීම :Beyond Imagination – නොසිතූ ලොවක්


