in

කේරළයේදී වැලි මිරිකා තෙල් ගත්ත නීල මහා යෝධයාගේ ඉතිහාසය නොකී කතාවන්

නිශාචර සතුන්ගේ හඬ මැදින් රජු නිදැල්ලේ ඇවිද ගියේය. ස‍ඳේ කැලුම් වන රොදේ තැන් තැන්වල දැවැටී අපූරු කාන්තියක් මවා පායි. දරිද්‍රතාවේ මං ලකුණු කියා පෑ එක්තරා පැලකින් මැහැලියකගේ ඉකිබිඳුම් හඬ ඇසේ. රජු තරමක් ළංව දොර පැලැල්ලේ හිදැස අතරින් එබී බැලුවේය. ඒ මැහැල්ල මොනවාදෝ දොඩමින් හිස් අහසට අත් ඔසවා හැඬුවාය.

වෙස් වළාගෙන තම රාජ්‍යයේ මිනිසුන්ගේ වතගොත සොයමින් සංචාරය කළ ගජබා රජු එතැන් පටන් මුළු මහත් රාත්‍රිය පුරා නිදි සුව නොලැබීය. ඔහුගේ සිත ව්‍යාකූලය. ඊයේ රාත්‍රියේ තමා විඳි අත්දැකුම රජුගේ සිත පාරවයි. තම රාජ්‍යයේ වැසියන්ගේ සුව දුක් විචාරීම ගජබා නිරිඳුන් රාජ්‍ය සභාව ආරම්භයේදීම කරන්නකි. “මාගේ රටවැසියන් සුවයෙන් ද?” එතුමා මහ අමාත්‍යවරුන් විමසීය.

‘රටවැසියා ඉතා සුවයෙන් රජතුමනි’

ඇමැත්තෝ සුපුරුදු වචනයම කියති. එය හැමදාම සිදු වූවකි. ගජබා රජුගේ පියරජු බල්ලාටනාග රජතුමා සිටි කාලයේදීත් එය එසේම සිදුවිය. රටවැසියා විඳින ගැහැට මහරජතුමාට දැනගන්නට ක්‍රමයක් නොවීය. අතරමැද නිලධාරිහු ඒවා සඟවාගෙන අන් යමක් ම කියති.

“තොප බොරු කියන්නේ. මාගේ රාජ්‍යයේ කිසිදු පිරිමියෙක් හෝ ස්ත්‍රියක් දුකින් තැවුලින් නොසිටිය යුතුය. රාජකාරියට මුවාවී අලසව කල් ගෙවන නිලධාරීන් ගැන මම කනගාටු වෙමි. මාගේ රාජ්‍යයේ අසවල් දනව්වේ අසවල් තැන කුඩා නිවසක් ඇත. එහි වසන මහලු ස්ත්‍රිය කැටුව එව…” රජු අණ කළේය.

ඇමැත්තෝ බිරාන්ත වූහ. රජ අණ ක්‍රියාත්මක වී මහලු ස්ත්‍රියක් රජු පාමුල වැඳ වැටී සිටියාය.

“මෑණියනි, ඔබ ඊයෙ රාත්‍රියේ නිදිවර්ජිතව තනිවම ඉකිබින්දේ මන්දැ” යි රජු දයාර්දව විචාළේය.

“අවසර පස්වාන් දහසකට බුදු වන්ඩ මහා රාජෝත්තමාණන් වහන්ස, ඔබ වහන්සේගේ පියාණන් රජ දවසේ මාගේ පුතණුවන් දෙදෙනා වහල් මෙහෙය සඳහා සොළී රටට ගෙන ගියා. ජීවත්ව සිටිනවා නම් දැන් ඔවුන් නාඹර වයසේ තරුණයන් විය හැකියි. මේ වයසට මා සිටිය යුත්තේ කවුරුන් හෝ රැකවරණයක මතයි. මට දෙපා හා අතපය වාරු නැත. මහරජතුමනි, මගේ දරුවන් සිටියා නම් අද මට හව්හරණක් තිබේ. ඒ ගැන, සිහිවීමෙන් හා දාරක ස්නේහයෙන් මම තනිව හැඬුවෙමි.” මැහැලිය වචන පටලවමින් කීවාය.

“මෑණියනි, නුදුරු දිනයකදීම ඔබේ හා මෙවැනි මවුවරුන් සැමගේ දුක් තැවුලක් නිවා දමමි.” රජු මැහැලිය අත්වැසුවේය.

පසු දින පහන් වෙද්දී නීල මහා යෝධයාත් සමඟ ගජබා රජු මන්නාරම් තොටට ගියේය. නීල යනු අතිශය කාය ශක්තියක් තිබුණු මහා යෝධයෙකි. මන්නාරම් තොටට ගිය ද ඉන් පිටත්ව යාමට නැව් එහි නොතිබුණි. රජුට අයත් ඒ නැව් කිසියම් කාර්යයක් සඳහා දුරු රට ගොස් තිබු බැවින් මන්නාරම් තොටින් එතෙර වීමට ක්‍රමයක් නොතිබිණ.

නීල මහා සයුර විනිවිද සිසාරා බැලුවේය. නීල සිටියා නම් මේ රජුට වෙනත් කවරකු හෝ නැතත් කම් නැත. ඒ තරම් ධීර වීර ශක්තියක් නීලට තිබෙන බව ගජබාවන් දනී. “ රජතුමනි මට ඔබතුමා කර තබාගෙන අර ඈතින් පෙනෙන ඉන්දීය වෙරළ තීරයට පිහිනාගෙන වුව යා හැකිය. ඉවසා වදාරනු මැනවි. මා සන් කළ ඇඟිල්ලකින් සැපත් වන්න. පළමුව මෑත පෙනෙන දූපත වෙත යන්නෙමි….” නීල කීය.

ලෝහයෙන් තැනූ දැවැන්ත පොල්ලක් නීල අත තිබෙයි. ඊට යගදාව නමින් වැවහර කරනු ලබයි. හේ දෝත බදා ජල කඳට වැරෙන් පහරක් දුන්නේය. පුදුමයකි! හෙණ හඬක් පිපුරුවාක් මෙන් නැඟුණු හඬ මැදින් ජලකඳ දෙබෑවී වැල්ල මතු විය. ඒ ඇසිල්ලෙන් ඔව්හු කුඩා දූපතට ළඟා වූහ. මේ ක්‍රමයටම ඉතිරි ටික ද ගෙවා දැමු නීල මහා යෝධයා හා ගජබා රජු සොළී මාළිගයට පෙනෙන මානයට ආහ.

“නීල සොළී රජතුමා මුණගැසීමට මා තනිව යා යුතුයි.” ගජබා රජු කීය.

“එසේය. ඒත් ඔබතුමා ගොස් අඩහෝරාවක් ගිය තැන මම ද එහි එමි.” නීල කීවේය.

වාහල් දොරකඩට පැමිණි රජතුමා සොළී හේවායකුට මෙසේ කීවේය.

“සිංහල රාජ්‍යයේ රජු තොපේ මහරජු බැහැදකින්නට පැමිණ සිටින වග තොපේ රජුට කියව.”

සොළී හේවායා පණිවුඩය රජ වාසලට ගෙන ගියේය.

රජුන් දෙදෙනකුගේ හමුව සූදානම් විය.

සොළී දේශයේ රජුනි, මා පියාණන් දවස මෙරටට රැගෙන පැමිණි පුරවැසියන් 12,000ක් රැගෙන යාමට පැමිණියෙමි. ඔවුන් නැතිව ඔවුනගේ මාපියන් සොවින් තැවෙයි…” ගජබා රජුට කියන්නට ලැබුණේ එපමණය.

හෝ, හොහ් හඬ නංවමින් සොළී රජු උමතුවෙන් මෙන් හිනැහුණේය. “ඔබ උමතුවෙන් ද? මෙවැනි අරමුණක් සඳහා අපේ රටට තනියෙන්ම පැමිණීමෙන් ඔබේ උමතුව මට වඩාත් වැටහෙයි…” සොළී රජු වහසි බස් කීවේය.

“රජතුමනි, තා දැනගනුව, ඔවුන් නොගෙන මිස මා ආපසු මේ රටින් ලංකාද්වීපය නොයන්නෙමි…” ගජබා රජතුමා ද කීවේය.

“ඔබට මම අවවාද කරමි. වහා රටින් පිටවෙන්න.” සොළී රජුගේ ගර්ජනාව මාලිගය රාව ප්‍රතිරාව නැංවීය.

ඒ අතර රාජ පුරුෂයෝ කලබලයෙන් මෙන් පැමිණ සොළී රජු පාමුල වැටුණහ.

“මහ රජතුමනි, සිහල දේශයෙන් පැමිණි මහා යෝධයෙක් රාජ උද්‍යානය විනාශ කරයි. එහි මහා ගස්කොළන් උදුරා හෙතෙම තණ පඳුරු මෙන් වීසි කරයි. රූස්ස ගස් අතුරිකිලි බිඳින්නාක් මෙන් තනි අතින් උදුරයි.”

රජු බියෙන් ගැහෙන්නට පටන්ගත්තේය. ඔහුට තුන් මුනින් දාඩිය දැමුවේය.

වහා ඔහු මා වෙත කැඳවනු රජ විධාන කළේය.

එබසට සිහල රජු ගජබා හඬ අවදි කළේය. “ඔබ කීවාට ඔහු තම විනාශය නොනවත්වයි. සිහල රජු එන්නට කී බව විධාන කරව…” එසේ කීවොත් පමණක් ඔහු මෙහි පැමිණෙනු ඇත. නීල මහා යෝධයා බර අඩි තබමින් සභා ගර්භයට පැමිණියේය. ඔහුගේ කායබල දුටු සොළී රජු තම සෙබළා කී විනාශයන් ඔහුට කිරීමට මහ වෙලාවක් යන්නේ නැතැයි සිතුවේය.

“තා මගේ රාජ උද්‍යානයට මෙතරම් විනාශයක් කළේ ඇයි? සොළී රජු නීලගෙන් විමසීය.

“මම සිටියේ ඔබේ උද්‍යානයේ කිසිම කලබලයක් නොකැර විවේකයෙන්. ඒත් ඔබේ සෙබළෙක් මා කැටුව යන්නට වෙර දැරුවා. මා ඔහුගෙන් මිදෙන්නට උත්සාහ කළා විතරයි…” නීල කීවේ ගණනක් නැතිවය.

“තොප දෙදෙනා මෙහි පැමිණියේ අනවසරයෙනි. එසේ පැමිණ කළ විපත මරණීය දණ්ඩනයට ලක්වන වරදකි.” තා ඒ බව දන්නෙහි ද?

“අප පැමිණියේ කිසියම් මානුෂිය කටයුත්තකට. එය ඉටුවූ සැණින් අපි නැවත යන්නෙමු.” එබසට ගජබා රජු උස් හඬින් කීවේය.

“එය මහත් අසීරු කරුණකි. තාගේ අත ඇති යගදාවෙන් ජලය ගත හැකි ද? තම ඉදිරිපිට ඇති මල් බඳුනක් පෙන්වමින්) මේ මල් බඳුනේ ඇති වැලි මිරිකා තෙල් ගත හැකි ද? එසේම ඔබ පැමිණි කාරණය ද අසීරු වන්නේය.”

සොළී රජු කීවේය.

“ඔබ කී සියල්ල මට කළ හැකි” යැයි කී නීල මහා යෝධයා අත තිබු යගදාව දෑතටම ගෙන වැරෙන් මිරිකුවේය. සියල්ලෝ බීරන්තට්ටු වී පුදුමයෙන් බලා සිටිති.

දෙවියනි! මේ නම් මහා ඓශ්චර්යයකි. එයින් දිය බිඳු වෑහේ.

සොළී රජුගේ හුස්ම හිර විය. ඔහුට ඉහළට ගත් හුස්ම පහළට හෙළන්නට බැරි ගානය. ගජබා රජු තම යෝධයාගේ විස්කම් බලා අපමණ ප්‍රීතියක් වින්දේය.

අනතුරුව මල් බඳුන අතට ගත් නීල ඒ බඳුනෙන් වැලි මිටක් අතට ගෙන තදින් මිරිකුවේය.

ඇඟිලි හිදැස් අතරින් පෙරී ආ තෙල් බිඳු දියසීරාවක් මෙන් ඇඟිලි මත රැඳුණේය. මේ නම් මහා විශ්මකර්මයකි. “කෝ, මේ අපේ හේවායෝ…” සොළී රජු ගුගුලේය. “රජතුමනි, ඔවුන් අපේ රාජ්‍ය විනාශ කරන්නට කලින් සිංහල රටින් ගෙනා දොළොස් දහසක මිනිසුන් සමඟ අපේ රටින් තවත් දොළොස් දහසක් මිනිසුන් එකතු කැර 24,000ක් අරන් අන්න! තොටමුණින් නැව් නැංගා… අපේ හේවායෝ ඒකට උදවු කළා.”

ඔවුන්ගේ මහ ඇමැති බයාදු ලෙස කීවේය.

ගජබා රජු නීල මහා යෝධයා සමඟ නැවත අනුරාධපුරයට එන විට එහි තිබුණේ මහා සැණකෙළියකි. අසුන්ගේ ‍හේෂාරාවය ද, ඇතුන්ගේ කුංචනාදය ද, පංචතූර්ය නාදය ද අනුරපුරයේ අස්සක් මුල්ලක් නෑර රැව් දුන්නේය.

මවකගේ දුප්පත් කඳුළ තවත් මවුවරුන් ගණනාවකගේ දුක් තැවුල් පිස දැම්මේ එලෙසිනි. ගජබා රජු හා නීල මහා යෝධයා ගැන තවත් බොහෝ ජනකතා තිබේ. මේ ඒ අතරින් ප්‍රධාන කතාවකි

සිළුමිණ පුවත්පතින් උපුටා ගැනීමකි ලෙස පලවී තිබුණි.

…………..

………………………………………………………..

“නීල මහා ‍යෝධයා විසින් යගදාවෙන් මුහුදු දිය දෙබෑ කළ සිදුවීම සිහිවීම පිණිස සිදු කරනු ලබන “දියකැපුම් චාරිත්‍රය”

ඇසළ උත්සව මුලින්ම ආරම්භ වූයේ ලංකාවේ උතුරු තැනිතලා ප්‍රදේශයේ රාජධානිය පවතින වකවානුවේය. උතුරු තැනිතලා ප්‍රදේශයට හෙවත් වියළි කලාපයට ඇසළ සමය නියං කාලයකි. එම නිසා එම කාලයේ පෙරහර පවත්වා දිය කැපීමේ චාරිත්‍රයෙන් හමාර කළේ වර්ෂාව පතා කරන පූජාවක් ලෙසට ය. වර්තමානයේ මෙරට ප්‍රධාන පෙරහර කරන මහනුවර ප්‍රදේශයට ඇසළ සමය වැසි කාලයක් වෙතත්, පෙරහර හමාර කරනු ලබන්නේ පැරැණි සිරිතට අනුව දිය කැපීමේ චාරිත්‍රයෙන් ය. සෙංකඩගල දළදා පෙරහැරේ සුවිශේෂි සංස්කෘතිකාංග අතර දිය කැපීමේ චාරිත්‍රයට ප්‍රධාන තැනක් හිමිවේ.

දිය කැපීමේ සිරිත පෙරහරට එකතු වූයේ වෙනත් පරමාර්ථ නිසා බව දක්වන මත රාශියක් තිබේ. ලංකාවේ පෙරහර කිරීම ආරම්භ වූයේ ගජබා රජ සමයේ ය. ගජබා රජ සොලී රට ජයගෙන එන ගමනේදී පත්තිනි දේවියගේ ආභරණ ලංකාවට ගෙනා බවත්, ඒවා තැන්පත් කොට දේවාලයක් කරවූ බවත්, එම දේවියට ගරු කිරීමට හා සොළී රට ජය ගැනීම සිහි කිරීමට පෙරහර කළ බවත් ‘සීලප්පදිකා‍රම්’ නමැති ද්‍රවිඩ කාව්‍ය ග්‍රන්ථයේ දැක්වේ. ගජබා රජ ඇතුළු සේනාව සොලී රටට ගියේ ‘නීල මහා ‍යෝධය’ යගදාවෙන් මුහුදු දිය දෙබෑ කළ පසුව බව ජනප්‍රවාදයේ වේ. එම නිසා එකී සිද්ධිය සිහි කිරීමට පෙරහර හමාර කොට දිය කැපීමේ චාරිත්‍රය පවත්වන බවට ද යම් මතයක් ඇත‍.

එමෙන්ම ජනප්‍රවාදයන්ට අනුව වර්තමානයේ හදුන්වනු ලබන “ගංනොරුව” ග්‍රාමයට නාමය ලැබී ඇත්තේ ද දියකැපුම් චාරිත්‍රය පාදක කරගනිමින්ය. දියකැපීමේ චාරිත්‍රය සඳහා පුරාතනයේ දී පෙරහර සමඟ ගමන් කළ රජතුමා ගඟෙන් එගොඩ සිටි අයට ‘ගන් ‍ඔරුව’ යයි කියා දිය කැපීමට ගඟට යාමට ඔරුව ගෙනෙන ලෙස කීවේත්, ඒ අනුව ගන් + ඔරුව – ගංනොරුව වී එම ප්‍රදේශය ගංනොරුව වූයේ යයි ජනප්‍රවාදයේ වේ.

දිය කැපීමේ චාරිත්‍රය කවර අදහසක් පදනම් කරගෙන ආරම්භ වුවත් මහනුවර අවධිය වනවිට එය එක්තරා ක්‍රමානුකූල ආකාරයකට හැඩ ගැසී තිබුණ බවට සාක්ෂි සාධක එමටය. මහ රන්දෝලි පෙරහර අවසානයේ ආදාහන මළු විහාරස්ථානය වෙත පෙරහර කරඩුව වඩමවා ගොස් එහි තැන්පත් කර තැබීමෙන් පසු දියකැපීමේ චාරිත්‍රය සදහා දේවාල පෙරහර පිටත්ව යයි. සතර මහා දේවාලයේ කපු නිලයන් සමඟ පිටත්වන දියකැපුම් පෙරහර පාන්දර යාමය වන විට ගැටඹේ තොටට ලඟා වී, එහි බෝධිය අසල දෝලාවන් තැන්පත් කොට, සිව් මහා දේවාල වල කපුරාල මහත්වරුන් ආවතේව කරුවන් සමඟ මනාව සරසන ලද ඔරුවක් මත නැඟී ගඟදිය මැදට ගමන් කරනු ලබයි. දිය කැපුම් මංගල්‍යය අවස්ථාවේ ප්‍රධානත්වය ගනු ලැබීම සදහා නිලමේ කෙනෙකු පත්කරනු ලබයි. එසේ පත්කරනු ලබන්නේ කිනම් කපු මහතාද බව තීරණය කරනු ලබන්නේ විෂ්ණු දේවාලයේ බස්නායක නිලමේ තුමන් විසින්ය. කපු මහත්තරු දෙදනා, දිය රොක් කරන පුද්ගලයා, වියන් ඔසවන දෙදනා සමග හත් දෙනෙකු මෙම අවස්ථාවට සම්බන්ධ වේ. කපු මහත්වරු දෙදනාගෙන් එක් අයෙක් දිය පිරවූ කෙණ්ඩියද, අනෙක් කෙනා දිය කපන්න අවශ්‍යය කඩුවද රැගෙන යනු ලබයි. සිරිත් පරිදි දිය කැපීමේ චාරිත්‍රය ඉර එළිය උදාවීමට පෙර සිදු කළයුතුයි.

මෙහිදී විශේෂත්වය වන්නේ පෙරහර ආරම්භයේ ඒ ඒ දේවාල වල සිට වු “කප” උගුලුවා ගෙන ගඟ මැදට ගොස් ගඟෙහි පා කර හැරීමයි. ජලයේ පා කර යවන කප ලබා ගැනීමට ගඟ පහළ විශාල පිරිසක් බලා සිටින්නේ එය තමන්ගේ වගා භූමියේ සිට වීමෙන් වගා බිම සශ්‍රීක වන බවට පවතින විශ්වාසය නිසාවෙනි. පසුව අටමඟල අඳවා, ස්තෝත්‍ර ගායනාකොට, රැගෙන ගිය කප හා පසුගිය වසරේ පුරවාගත් දිය ගඟට එක්කොට, ගඟ මැදට ‍රැගෙන ගිය දේවාභරණ ජලයේ සපර්ශ කොට එම ස්ථානයෙන් රන් කඩුවෙන් දි‍ය දෙබෑවන සේ දිය කපා, රැගෙන යන කෙණ්ඩියට යළි දිය පුරවා ගැනීම සිදුවේ. දිය පුරවා ගැනීමෙන් පසු කෙණ්ඩියෙහි කඩවහ බැඳ, රන් දෝලාවන් තැන්පත් කොට පෙරහරින් රන්දෝලි කැටුව නැවත මහනුවර බලා ගමන් අරඹයි. මෙලෙස දිය කපාගෙන පැමිණෙන පෙරහැරෙ රන් දෝලි වලට පඩුරු දැමීමට මග දෙපස බැතිමතුන් පෙළගැසෙන අතර මේ අතරින් සමහරෙක් සිය දරුවාද රැගෙන ඇතාගේ බඩ යටින් රිංගති. මෙයින් දරුවන්ගේ රෝගාබාධ සුවවන බවට විශ්වාසයක් පවතී. තවත් අය තම ප්‍රාර්ථනා ඉටු කරදෙන ලෙස ඉල්ලා ඇතුන් ඉදිරියේ පොල් ගෑසීමද සිදුකරනු ලබයි.

දිය කැපීමෙන් අනතුරුව අලුයම ගැටඹේ තොටින් ඇරඹෙන පෙරහර රාජසිංහ බෝධිය ලඟ ඇති දේවාල වල නැවති දොස් දුරුකිරීමේ සෙත් ශාන්ති පවත්වා රන් කෙණ්ඩි, රන් කඩු, රන් දෝලියෙහි බහා දේවාභරණ ගෙන කපුවෝ ඇතුපිට නැගී පෙරහරින් ගණදෙවි කෝවිල කරා පැමිණෙති. ගණදෙවි කෝවිලට පැමිණි පසු එහි කපුමහත්වරුන් සෙත් ශාන්තිකර්ම චාරිත්‍ර පවත්වති. එතෙක් රන්දෝලි සහ දිය කොතළ ආරක්ෂා කිරීම ගණදෙවි කෝවිලේ සමගිය විදහා දක්වන කැඩපතක් බඳු ය. මෙහිදී ද ‍රන්දෝලිවලට පඬුරු දැමීමට සිංහල ද්‍රවිඩ විශාල පිරිසක් පැමිණේ. පසුව හින්දු පුල්ලෙයාර් කෝවිල වෙත ගොස් පුද පූජා පවත්වා ඉන්පසු ගෙඩිගේ විහාරයට පැමිණේ. දහවල් පෙරහර ආරම්භ වනතුරු එහි සිට දහවල් පෙරහර පිටත් වී, වීදි සංචාරය කොට ශ්‍රී දළදා මාලිගා‍ චතුරශ්‍රයට පැමිණ, තුන් වරක් ප්‍රදක්ෂිණා කොට, පෙරහර චාරිත්‍රය නිමකෙරෙනු ලබයි. පෙරහරේ රැගෙන ආ දිය කැපීමේදි ලබාගත් ජලය සහිත තඹ කල දළදා මාලිගයේත් සතර දේවාල වලත් තැන්පත් කර තබන අතර පසුව පෙරහරට සම්බන්ධ වූ සියළු පාර්ශව වෙත සෙත් පතා පැවැත්වෙන විශේෂ නැටුම් සංදර්ශණය ක් පවත්වනු ලබයි. ඉන්පසු පෙරහර ගෙවැදීමෙන් පසු, රටේ ජනනායකයා වූ අතිගරු ජනාධිපති තුමන් වෙත පෙරහර සංදේශය පිළිගැන්වීමේ චාරිත්‍රය ඉටුකිරීම සඳහා දියවඩන නිලමේතුමා ප්‍රමුඛ බස්නායක නිලමේවරු ජනාධිපති මැදුර කරා කෙටි පෙරහරකින් ගමන් කරති. මෙම චාරිත්‍රය පෙරහර මංගල්ලයට එක් වූයේ ඉංග්‍රීසි ආණ්ඩුව පැවති කාලයේදී බව පැවසේ. ඊට පෙර රාජ්‍යසමයෙහි දී මඟුල් මඩුවේ පෙනී සිටින රජතුමා මුණගැසී, ඒ ඒ දේවාලවල කපුවන් පෙරහර සාර්ථක‍ ලෙස පැවැත්වූ වග, සැලකර සිටීමේ චාරිත්‍රයක් පැවතුණු බව කියැවේ.

සටහන – තිලංක රත්නායක. Thilanka Rathnayake

ඡායාරූපය – ශ්‍රී දළදා මාලිගාවේ මාධ්‍ය කාර්යාංශය.

උපුටා ගැනීම : මාතර අභිමානය Proud of Matara

What do you think?

Written by Mic

තත්පර ගාණකින් ජීවිතයත් මරණයත් තීරණය වෙන ලෝකයේ භයානකම ගඟ

“මාතර සුන්දරත්වය සහ ඉතිහාසය”