Brown Tree Snake ![]()
![]()
එකම එක සර්ප විශේෂයකට පුළුවන්ද මුළු දූපතකම ඉන්න කුරුල්ලන්ව ලෝක සිතියමෙන්ම අතුගාලා දාන්න? ඇහුවමත් පුදුමයි නේද? හැබැයි මේක ඇත්තක්. අද අපි කියන්න යන්නේ පැසිෆික් සාගරයේ තියෙන “ගුවාම්” (Guam) කියන සුන්දර දූපතට සිද්ධ වුණු අදහාගත නොහැකි පාරිසරික විනාශයක් ගැන. ඒ විනාශයේ ප්‍රධානම වගකිවයුත්තා තමයි Brown tree snake (දුඹුරු ගස් සර්පයා).
සත්ව විද්‍යාත්මක තොරතුරු
විද්‍යාත්මක නාමය (Scientific Name): Boiga irregularis
කුලය (Family): Colubridae (කොලුබ්‍රිඩේ)
ගණය (Genus): Boiga (මාපිල් ගණය)
විෂ ස්වභාවය: මඳ විෂ (Mildly venomous – පසුපස විෂ දත් සහිත/Rear-fanged)
දූපතට ආපු හොර මගියා
මුලින්ම කියන්න ඕනේ, මේ සර්පයා ගුවාම් දූපතේ මුල් පදිංචිකරුවෙක් නෙවෙයි. 1940 ගණන්වල, ඒ කියන්නේ දෙවැනි ලෝක යුද්ධය ඉවර වුණු කාල වකවානුවේදී, ඕස්ට්‍රේලියාව, ඉන්දුනීසියාව හෝ පැපුවා නිව්ගිනියාව පැත්තේ ඉඳන් ආපු හමුදා භාණ්ඩ ප්‍රවාහන නැවක හෝ ගුවන් යානයක හැංගිලා තමයි මූ මේ දූපතට හොරෙන්ම රිංගලා තියෙන්නේ.
කුරුල්ලන්ගේ “නිහඬ මාරයා”
ගුවාම් දූපත කියන්නේ ඒ වෙනකොටත් සර්පයෝ නැති, ලස්සන කුරුල්ලන්ගෙන් පිරුණු පාරාදීසයක්. දූපතේ හිටපු කුරුල්ලෝ කවදාවත් සර්පයෙක් දැකලා තිබුණේ නැති නිසා උන්ට සර්පයන්ගෙන් බේරෙන්න කිසිම ස්වභාවික ආරක්ෂක උපක්‍රමයක් තිබුණේ නැහැ.
රාත්‍රී කාලයේදී ගස් උඩ ඉතාම වේගයෙන් සහ සූක්ෂ්මව හැසිරෙන්න පුළුවන් මේ දුඹුරු ගස් සර්පයාට ගුවාම් දූපත කියන්නේ මහා කෑම මේසයක් වුණා. උන් ගස් උඩ ඉන්න කුරුල්ලන්ව වගේම උන්ගේ බිත්තරත් එකදිගටම ගිල දැම්මා.

භයානකම ප්‍රතිඵලය
වසර කිහිපයක් යද්දී ගුවාම් දූපතටම ආවේණික වුණු පක්ෂි විශේෂ 12න් 10ක්ම මේ සර්පයා නිසා සම්පූර්ණයෙන්ම වඳ වෙලාම ගියා! අද වෙද්දී ඒ දූපතේ වනාන්තරවල කුරුල්ලන්ගේ සද්දයක් ඇහෙන්නේ නැති තරම්.
රටක් අඳුරේ තියන සර්පයා
මූ කුරුල්ලන්ව විතරක් නෙවෙයි කෑවේ. මේ සර්පයාට ගස් විතරක් නෙවෙයි, විදුලි කණු සහ වයර් දිගේ ලේසියෙන්ම ඇදෙන්න පුළුවන්. මේ නිසා නිතරම විදුලි රැහැන් වල පැටලිලා Short-circuit වෙන නිසා මුළු ගුවාම් දූපතම පැය ගණන් අඳුරේ තියන්න මුන් වගකියන්න ඕනේ. වසරකට සිය වතාවකට වඩා මේ සර්පයා නිසා එහෙට Power cuts සිද්ධ වෙනවා.
ඇමරිකාව කරපු “පැරසිටමෝල්” මෙහෙයුම!
මේ සර්ප ගහනය මිලියන ගණනින් වැඩි වෙද්දී ඇමරිකානු රජය (ගුවාම් දූපත අයිති ඇමරිකාවට) මූව මර්දනය කරන්න අමුතුම ක්‍රමයක් පාවිච්චි කළා. ඒ තමයි පැරසිටමෝල් (Acetaminophen). දුඹුරු ගස් සර්පයාට පැරසිටමෝල් කියන්නේ ඉතාම විෂ ද්‍රව්‍යයක්.
උන් කරේ මැරුණු මී පැටවුන්ගේ ඇඟ ඇතුළට පැරසිටමෝල් පෙති දාලා, පුංචි පැරෂුට් මඟින් හෙලිකොප්ටර් පාවිච්චි කරලා වනාන්තරවලට අතහැරපු එකයි. ගස් උඩ පැටලෙන මේ මීයන්ව කන සර්පයෝ එක පෙළට මැරිලා වැටුණා.
අපේ රටටත් වැදගත් පාඩමක්!
අපේ ලංකාවේ ඉන්න මාපිලන් (Cat-snakes) අයිති වෙන්නෙත් මේ Brown tree snake ඉන්න Colubridae කුලයට සහ Boiga කියන ගණයටමයි. හැබැයි ලංකාවේ මාපිලා කියන්නේ පරිසර පද්ධති සහ ගොඩබිම සමතුලිතව තියන්න උදව් වෙන, මීයන් සහ කුඩා සතුන් පාලනය කරන සතෙක්.
නමුත් ගුවාම් දූපතේ සිදුවීමෙන් අපිට දෙන ලොකුම පාඩම තමයි, එකම එක පිටස්තර සත්ව විශේෂයක් (Invasive species) නොසැලකිලිමත්කම නිසා වෙනත් රටකට හෝ දූපතකට ඇතුළු වුණොත්, මුළු රටකම ස්වභාවික සමතුලිතතාවය විනාශ කරලා දාන්න ඒ සතාට පුළුවන් කියන එක.
ඔබේ අදහසත් කමෙන්ට් කරන් යන්න. මේ වගේ තවත් රසවත් තොරතුරු දැනගන්න අපේ පිටුව Like කරලා එකතු වෙන්න!
උපුටා ගැනීම : Unknown diary


