ඔබට “ලෝකයේ විශාලතම දියඇල්ල” කියලා කිව්වම මතකයට එන්නේ නයගරා, වික්ටෝරියා හෝ ඒන්ජල් දියඇල්ල වෙන්න පුලුවන්. නමුත් ඇත්තටම ලෝකයේ විශාලතම දියඇල්ල පිහිටලා තියෙන්නෙ ගොඩබිමක නෙවෙයි, මුහුද යට කියලා මම කිව්වොත්?
ඔව්, ඒක ඇත්ත. ඒක කිසිදා ඇස් දෙකෙන් දකින්න බැරි, නමුත් පෘථිවියේ සාගර පද්ධතියට අතිශය වැදගත් බලපෑමක් කරන විශ්මයජනක ස්වාභාවික සංසිද්ධියක්.
මේ අද්භූත “දියඇල්ල” පිහිටලා තියෙන්නේ ග්‍රීන්ලන්තය සහ අයිස්ලන්තය අතර ඇති ඩෙන්මාර්ක් සමුද්‍ර සන්ධිය තුළයි. දියඇල්ලක් කිව්වට, මේකෙදි සිද්ධ වෙන්නේ ගඟක් මුහුදකට වැටීමක් නොවෙයි. ඒ වෙනුවට, අධික ශීතල සහ අධික ලවණතාවයෙන් යුත් බර වැඩි ජලය, උණුසුම් හා සැහැල්ලු ජල ස්ථරයට යටින් විශාල ප්‍රපාතයක් හරහා පහළට ගලා යෑමයි. මේ නිසා විද්‍යාඥයන් ඒක “Denmark Strait Cataract” හෙවත් “ඩෙන්මාර්ක් සමුද්‍ර සන්ධියේ දියඇල්ල” කියලා හඳුන්වනවා.
මේ දියඇල්ලේ උස අඩි 11,500ක්, ඒ කියන්නෙ කිලෝමීටර් 3.5කට ආසන්න වෙනවා. ඒක ලොව උසම ගොඩබිම් දියඇල්ල වෙන වෙනිසියුලාවේ ඒන්ජල් දියඇල්ලට වඩා තුන් ගුණයකටත් වැඩි උසක්. ඒ විතරක් නෙවෙයි, ඒ වගේම එහි පළල: කිලෝමීටර් 160ක් විතර වෙනවා. මෙහි ජල ප්‍රවාහය තත්පරයකට ඝන මීටර් මිලියන 5ක් විතර වන අතර, ලෝකයේ සියලුම ගංගාවල එකතුවටත් වඩා විශාල ජල ප්‍රමාණයක් මෙහි ගමන් කරන බව ගණනය කරලා තියෙනවා. මේක නයගරා දියඇල්ල වගේ 2,000 ගුණයකට වඩා වැඩියි.
ඇත්තටම මුහුද යට දියඇල්ලක් හැදෙන්නේ කොහොමද කියන එක ඔබට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. මේකට හේතුව තමයි ජලයේ ඝනත්වය සහ උෂ්ණත්වය අතර තියෙන වෙනස. ආක්ටික් සාගරයේ ඉඳන් එන අධික ශීතල ජලය ඉතාමත් ඝනකමිනුත්, බරිනුත් වැඩියි. අත්ලාන්තික් සාගරය පැත්තෙන් ඉර්මින්ගර් මුහුදෙන් (Irminger Sea) එන ජලය මීට වඩා උණුසුම් වගේම ඝනත්වයෙන් අඩුයි. මේ ශීතල සහ උණුසුම් ජල ධාරාවන් දෙක ඩෙන්මාර්ක සමුද්‍ර සන්ධියේදී මුණගැසුණාම, බරින් වැඩි ශීතල ජල කඳ, බරින් අඩු උණුසුම් ජලය යටින් ඉතා වේගයෙන් සාගර පතුල දෙසට කඩාගෙන හැලෙනවා.
වඩාත් සරලව කිව්වොත් ආක්ටික් කලාපයෙන් එන ජලයේ ලුණු ගතිය සහ අධික ශීතල නිසා එහි අණු එකිනෙකට ඉතා ලංව පිහිටනවා. උණුසුම් ජලයේ අණු ඈතින් පිහිටනවා. මේ නිසා ශීතල ජල කඳට පෘථිවි ගුරුත්වාකර්ෂණය තදින්ම බලපානවා, හරියට වතුර ඇතුළට දමපු ගලක් වගේ ඒ ශීතල වතුර දියකඳ මුහුදු පතුලටම ඇදිලා යනවා. සාගර පතුලේ තියෙන මහා ප්‍රපාතය දිගේ මේ ජලය පහළට ගලා යන්නේ හරියටම ගොඩබිම තියෙන දියඇල්ලක් වගේමයි.
මේ දියඇල්ලෙන් පහළට කඩා හැලෙන ශීතල ජල කඳ, එතැනින් නතර වෙන්නේ නෑ. සාගර පතුලේ තියෙන මහා නිම්න දිගේ දකුණු දෙසට ගලාගෙන යන මේ දිය ප්‍රවාහය, අත්ලාන්තික් සාගරයේ පතුලෙන්ම කිලෝමීටර් දහස් ගණනක් ඈතට (ඇන්ටාක්ටිකාව දෙසට) ගමන් කරනවා. මේක හරියට මුහුද ඇතුළේ තියෙන, ලෝකයේ දිගම ගංගාවලටත් වඩා දිගු රහස් මඟක් වගෙයි.
මේක නිකන්ම නිකන් ස්වභාවික දර්ශනයක් විතරක් නෙවෙයි.මේක ඇසට නොපෙනුණත්, ඒකෙ බලපෑම මුළු පෘථිවියටම දැනෙනවා.අපේ පෘථිවියේ දේශගුණය පාලනය කරන්න මේ දියඇල්ල සෘජුවම දායක වෙනවා. මේ ප්‍රවාහය Global Thermohaline Circulation හෙවත් “සාගර මහා සංසරණ පද්ධතියේ” අත්‍යවශ්‍ය කොටසක්.
මේ දියඇල්ල හරහා පහළට වැටෙන ශීතල ජලය, සාගරයේ ගැඹුරු පතුල දිගේ සමකයට දෙසට ගලා යනවා. මේ ක්‍රියාවලිය හරහා පෘථිවියේ උෂ්ණත්වය සමබරව තබාගන්නවා. ඒ වගේම මේ ජල සංසරණය මගින් උණුසුම සහ පෝෂක ද්‍රව්‍ය ලෝකයේ විවිධ සාගර ප්‍රදේශවලට ගෙනියන්න විශාල දායකත්වයක් සපයනවා.
ඔහොම වුනත් මේ දියඇල්ලත් දැන් තියෙන්න තර්ජනයකට මුහුණ දීලා. ගෝලීය උණුසුම නිසා ආක්ටික් කලාපයේ අයිස් කඳු (ග්ලැසියර) වේගයෙන් දියවෙමින් පවතිනවා. මෙයින් වෙන්නේ මුහුදට අධික ලෙස “මිරිදිය” එකතු වීමයි. මිරිදිය එකතු වුනාම ආක්ටික් ජලයේ ඝනත්වය (බර) අඩු වෙනවා. එහෙම වුණොත් මේ දියඇල්ලේ වේගය අඩාල වෙන්න හෝ සම්පූර්ණයෙන්ම නතර වෙන්න පුළුවන්. ඒක මුළු පෘථිවියේම දේශගුණික රටාව උඩුයටිකුරු කරන්න ඉඩ තියෙනවා.
මේ මුගුද යට දියඇල්ල මිනිස් ඇසට සෘජුවම දැකගන්න බැරි වුණත්, නවීන සෝනාර් තාක්ෂණය, උෂ්ණත්ව මිනුම් සහ ගැඹුරු සාගර තාක්ෂණික උපකරණ සහ සිතියම් විද්‍යාව හරහා විද්‍යාඥයන් මේ විශ්මිතය ලෝකයට අනාවරණය කරගෙන තියෙනවා. මේක අද සාගර විද්‍යාවේ වඩාත්ම වැදගත් ස්වාභාවික සංසිද්ධීන්ගෙන් එකක් විදියටත් සැලකෙනවා.
සොබාදහම කියන්නේ හැමදාමත් අපව පුදුමයට පත්කරන, අපි නොහිතන මානයන්ගෙන් අසිරිය මවන මහා මායාකරුවෙක් කියන්න ඩෙන්මාර්ක සමුද්‍ර සන්ධියේ දියඇල්ල හොඳම උදාහරණයක්.
✍️ Timeline Tales


