ලංකාවේ පැරණිම බිතුසිතුවම් තියෙන්නේ සීගිරියේ විතරයි කියලද ඔබ තාමත් හිතන් ඉන්නේ? එහෙමත් නැත්නම් අමුතු අක්ෂර ලියවුණු ගුහා තියෙන්නේ මහ කැලෑවල විතරයි කියලද? ![]()
අනුරාධපුරයේ ඉඳන් කිලෝමීටර් 35ක් විතර ඊසාන දෙසින්, කැබිතිගොල්ලෑව පාරේ පිහිටි රත්මල්ගහවැව කියන පුංචි ගම්මානය පැත්තට ගියොත් අඩි 650ක් උස කන්දක් උඩ මේ සියල්ලටම වඩා පුදුම හිතෙන අපූරු තොරතුරු රාශියක් දකින්න පුළුවන්.
ඒ තමයි “හඳගලකන්ද පුරාණ ලෙන් විහාරය” ![]()
![]()
දේවානම්පියතිස්ස රජතුමාගේ කාලයේ ක්‍රි.පූ. 250 – 210 උදේනි නැත්නම් මහනාග උපරජතුමා විසින් කරවපු මේ පූජා භූමිය, ලලාට ධාතුවංසයේ සහ සිංහල ධාතුවංසයේ සඳහන් වෙන්නේ චන්ද්‍රගිරි – සඳගිරි විහාරය කියලයි.
කඳු මුදුනේ තියෙන චන්ද්‍ර පාෂාණයට සමාන තැනිතලාවට, රෑට පායන හඳ එළිය කෙලින්ම වැටෙන නිසා පස්සේ කාලෙක මේකට හඳගල කියලා නම පටබැඳුණු බවට ජනප්රවාදයේ කියැවෙනවා! ![]()
![]()
කන්ද පුරා පැතිරුණු කටාරම් කෙටූ ගල්ලෙන් 40කට ආසන්න ගණනක් මෙතැන තියෙනවා. වැසි වතුර ගුහාව ඇතුළට වැටෙන එක නවත්තන්න ඉතාම අමාරු, දුෂ්කර කඳු බෑවුම්වල පවා එදා හිටපු ශිල්පීන් කටාරම් කොටලා තියෙනවා.
ඒ කියන්නේ එදා මෙහි වැඩසිටි භාවනානුයෝගී හිමිවරුන් කොච්චර නම් දුෂ්කර තැන්වල වැඩසිටියාද කියලා හිතාගන්න පුළුවන්.
මීටර් 35ක විතර ගල් පඩිපෙළ නැගගෙන යනකොට, භික්ෂූන් වහන්සේලාගේ ජල අවශ්‍යතා වෙනුවෙන් අනුරාධපුර යුගයේදී අඩි 15ක් ගැඹුරට හදපු අඩසඳ හැඩැති අපූරු පොකුණකුත් හමුවෙනවා. ![]()
මෙතැන තියෙන වටිනාම දේ තමයි සීමා මාලකය අසල තියෙන එක්තරා ගුහාවක, ප්රාග් ඓතිහාසික යුගයෙන් පස්සේ ලංකාවේ මුලින්ම භාවිත වුණු රූපාක්ෂර වගයක් කොටලා තිබීම. ![]()
පුරාවිද්‍යාඥයන් විශ්වාස කරන්නේ මේවා පුරාණ වැදි අක්ෂර බවයි. තාමත් කිසිම කෙනෙකුට මේ අක්ෂර කියවා තේරුම් ගන්න බැරිවීම ඇත්තටම විශේෂත්වයක්. ඒ වගේම මෙහි පූර්ව බ්රාහ්මීය ලිපි 15ක් සහ අපර බ්රාහ්මීය ලිපි 12ක්ද සටහන් වෙලා තියෙනවා. ![]()
![]()
ලෙන් විහාර ගෙයි නුවර යුගයට අයත් සූවිසි බුදුවරුන්ගේ අලංකාර බිතුසිතුවම් වගේම, සිරස්පත සහිත සහ රහිත බුද්ධ ප්‍රතිමා රැසක් දැකගන්න පුළුවන්.
වඩාත්ම සුවිශේෂී දේ තමයි, 1892 දී එච්.සී.පී. බෙල් මහතා විසින් සොයාගත්, සීගිරි බිතුසිතුවම්වලට සමානකම් දක්වන චිත්‍රය! එහි දක්නට ලැබෙන්නේ ඇඳුම් පැලඳුම් සහ බෙර වාදනය කරමින් රංගනයේ යෙදෙන නාට්‍ය ශිල්පීන් දෙදෙනෙක්.
හිස සහ දෙපා නැති පිරිමි රූපයක් සහ කාන්තා රූපයක් සහිත මේ සිතුවම, 2011දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සියුම් ලෙස අධ්‍යයනය කර නැවත සංරක්ෂණය කළා. ![]()
![]()
විහාර භූමියේ හතර මහා නිධානේ නමින් හඳුන්වන විශාල ගල් පර්වතයක් තියෙනවා. ඒ ආසන්නයේම එක මත එක පිහිටි, විශාල ලිග්ගල් තුනක් වගේ පෙනෙන ගල් කුළු තුනක් දකින්න පුළුවන්. ගම්වල අය මේකට කියන්නේ බෝලගල කියලයි.
එපමණක් නෙවෙයි, මෙහි ඇති දේවාල ගුහාව ඇතුළේ ක්‍රි.ව. 2 වන සියවසට අයත් විෂ්ණු සහ කතරගම දේව ප්‍රතිමා පිහිටා ඇති අතර, එහි බිත්ති මත ක්‍රි.ව. 5 වන සියවසට අයත් සලකුණු සහ පෙති 4ක විශේෂ මල් සංකේතයක්ද දැකගත හැකියි! ![]()
![]()
ඔබත් අනුරාධපුරේ පැත්තේ ගමනක් යද්දී, හැමෝම යන පාරෙන් මිදිලා, කැලෑව අස්සේ පැතිරුණු මේ හඳගලකන්ද රාජමහා විහාරයට ගිහින් ඒ අතීත උරුමය අත්විඳින්න අමතක කරන්න එපා! ![]()
![]()
මේ වගේ නොදන්න ලස්සන තැන් ගැන දැනගන්න ආස යාලුවෝ එක්ක මේ Post එක Share කරන්නත් අමතක කරන්න එපා!
උපුටා ගැනීම : Hela Rahas


