in

ප්‍රවීන ගී පද රචක පුජ්‍යපාද රඹුකන සිද්ධාර්ථ හිමිපාණන්

සම්මානනීය ප්‍රවීන ගී පද රචක පුජ්‍යපාද රඹුකන සිද්ධාර්ථ හිමිපාණන් අපවත් වේ.

බුදු දහමට මෙන්ම මෙරට ගීත ක්ෂේත්‍රයට අනූපමේය මෙහෙවරක් ඉටුකල සම්මානනීය ගේය පද රචක යතිවරයාණන් වහන්සේ නමක් වූ පූජ්‍යපාද රඹුකන සිද්ධාර්ථ හිමිපාණන් 18 වැනිදා අපවත් වූහ.

මෙරට ගායක ගායිකාවන් රැසක් වෙනුවෙන් උන් වහන්සේ ගීත රාශියක් රචනා කර තිබේ. එම ගීත අතර,

පණ්ඩිත් අමරදේවයන් ගායනා කරන

🔹සසර දනව්වේ

කරුණාරත්න දිවුල්ගනේ ගායනා කරන

🔹ලා දළු බෝපත්

🔹වෙහෙරක් වගේ පින් දුන් කෙනෙක්

විශාරද මාලනී බුලත්සිංහල ගායනා කරන

🔹හිමි සනරාමර

ටී.එම්.ජයරත්න ගායනා කරන

🔹සඳ වතුරක් සේ

🔹සියක් ආයු ලැබ

🔹අව්වට වැස්සට හුරු මිනිසුන්නේ

වික්ටර් රත්නායක ගායනා කරන

🔹බුදු හාමුදුරුවෝ

🔹කාසි වලට ගන්නත් බෑ

විශාරද එඩ්වඩ් ජයකොඩි සහ විශාරද චරිතා ප්‍රියදර්ශනී පීරිස් ගායනා කරන

🔹මේ ප්‍රේම කතා නවතා මොහොතක්

විශාරද ගුණදාස කපුගේ ගායනා කරන

🔹පිහිටක් නැති සරණක් නැති

විශාරද මාලනී බුලත්සිංහල සහ සන්ධ්‍යා බුලත්සිංහල ගායනා කරන

🔹සෙහෙහස පුදා අම්මාවරුන් වගේ

🔹පිපෙනා මලකට

විශාරද සමිතා මුදුන්කොටුව සහ අතුල අධිකාරි ගායනා කරන

🔹සඳ තරු මල් මට දන්දුන්

විශාරද දීපිකා ප්‍රියදර්ශනී පීරිස් ගායනා කරන

🔹කඳුළු හෙළා

විශාරද දිස්නා අතපත්තු ගායනා කරන

🔹බුදු අමා වැස්ස වහින කාලෙට

අබේවර්ධන බාලසූරිය ගායනා කරන

🔹මලක මෙලෙක සිතාගන්න බැරි අතකින්

විශාරද එඩ්වඩ් ජයකොඩි ගායනා කරන

🔹මේ ඉරහඳ යට

🔹බණ කියන රටක්

🔹නුඹට හිතැති නුඹ හිත ඇති

සීතා නානායක්කාර ගායනා කරන

🔹මටත් හොරා මා හද සෙනෙහෙ වඩා

නිරංජලා සරෝජිනී ගායනා කරන

🔹අනුරාධපුරේ අනුරාව නැගූ

ප්‍රියා සූරියසේන සහ නිරංජලා සරෝජිනී ගායනා කරන

🔹ගෙල වට බැන්ඳා වූ මුතු පොටේ

අයිවෝ ඩෙනිස් ගායනා කරන

🔹සාමයේ කොඩිවැල්

ඇතුළු අතිශය ජනප්‍රිය ගීත රැසක් උන් වහන්සේ අතින් ලියැවී ඇත.

උන් වහන්සේ රෝගී තත්ත්වයක් හේතුවෙන් ශ්‍රී ජයවර්ධනපුර මහා රෝහලේ නේවාසිකව ප්‍රථිකාර ලබමින් සිටියදී අපවත් වනවිට 76 වැනි වියේ පසුවූහ.

මාතර දිස්ත්‍රික්කයේ මොරවක් කෝරළයට අයත් රඹුකන ගමෙහි අදින් දශක හතකට පෙර වෙසක් පුන් පොහෝ දිනක උපන් සෝබනහාමි ලියනගේ සහ ලියනගේ සයිමන් යුවළට දාව, සහෝදර සහෝදරියන් සය දෙනෙකුට වැඩිමහල්ව උපන් ආනන්ද ලියනගේ කුල කුමරුවන්, කුඩා කල සිටම බුදු දහමට සහ ශාසනයට තිබූ ලැදියාව මත 1963 ජූලි 22 වැනිදා වැලිව ගංගාතිලක විහාරස්ථානයේ දී “රඹුකන සිද්ධාර්ථ” යන නමින් පැවිදි බිමට අවතීර්ණ වූහ.

ගාල්ල හෙට්ඨාචල පිරිවෙනින් සහ පැපිලියාන සුනේත්‍රාදේවි පිරිවෙනින් අධ්‍යාපනය ලද උන් වහන්සේ අනතුරුව කැළණිය විශ්ව විද්‍යාලයෙන් බෞද්ධ දර්ශනය පිළිබඳ විශේෂ උපාධියක් ලබා 1972 වසරේ මහනුවර මල්වතු විහාර උපෝසථාගාරයේදී උපසම්පදා ලැබූහ.

කොළඹ හුණුපිටිය ගංගාරාම ශ්‍රී ජිනරතන කාර්මික විද්‍යාලයේ ඉංග්‍රීසි හා ජනසන්නිවේදන අධ්‍යයන අංශය භාර ලේඛනාධිකාරි හිමියන් ලෙස කටයුතු කළ උන් වහන්සේ, සිය ධර්ම ප්‍රචාර කටයුතු සඳහා ගීතය මාධ්‍ය කොට ගනිමින් හෙළ ගී කලාවේ කහ එළිය සම්භාවනාවට පාත්‍ර වූහ.

ජපානය, කොරියාව සහ බුරුමය වැනි විදෙස් රටවල් ගණනාවක ධර්ම ප්‍රචාරණ කටයුතු සඳහා වැඩම කර ඇති උන් වහන්සේ “සඳකඩ පහණ” චිත්‍රපටය වෙනුවෙන් ලියූ “පෙර සංසාරේ…” ගීතය සරසවිය සම්මානයෙන් ද, මෑතකදී තිරගත වූ චත්‍ර වීරමන්ගේ “අලෝකෝ උදපාදී” චිත්‍රපටය සඳහා විරචිත විශාරද සමන්ත පෙරේරා ගායනා කරන “සැඩ පහරක් සේ එකමුතු වූ දා…….” ගීතය “දෙරණ” සිනමා සම්මානයෙන් ද පිදුම් ලැබූහ.

1987 වර්ෂයේදී “සංසාරේ අපි” කැසට් පටය නිකුත් කරමින් ඇරඹෙන රඹුකන සිද්ධාර්ථ හිමිපාණන්ගේ ගීතාවලෝකනයේ,

“ගම්මානේ අපි”

“සමනල කන්ද”

“සංසාරේ ගී යාතිකා”

“බුදු අමා වැස්ස”

“සංසාර චාරිකා”

යන කැසට් පට සහ සංයුක්ත තැටිත්, “සසර දනව්ව” වැනි සම්මානනීය ගේය පද සංග්‍රහයත් අතිශය ජනාදරයට පාත්‍රවිය.

ජනප්‍රිය ගායිකාවක ද වන විශාරද දිස්නා අතපත්තු උන් වහන්සේගේ ඥාති දියණියක ද වේ. ඇය ද උන් වහන්සේ විසින් රචිත ගීත නිර්මාණ කීපයකට ද දායක වී ඇති අතර, එම ගීත ද මේ වන විට ඉතා ජනප්‍රියය.

#රඹුකන සිද්ධාර්ථ හිමියනී, ඔබ වහන්සේට අමාමහ නිවන් සුව ප්‍රාර්ථනා කරමි.

✍🏻 සටහන – ප්‍රදීප් ප්‍රසන්න

උපුටා ගැනීමකි

What do you think?

Written by Mic

ආදරය, විශ්වාසය සහ අවසන් සමුගැනීමේ සැබෑ කතාව

අතීතයේ පස් යට හැංගිලා තිබ්බ වටිනා උරුමයක් එකපාරටම එකතැනකින් එළියට ආවොත් කොහොමද?