අක්කර ගාණක් පුරාවට විහිදිලා තියෙන, වෙනම නිදන කාමර, ළදරු කාමර සහ නානකාමර පවා තියෙන යෝධ භූගත නගරයක් ගැන හිතලා බලන්න. මේ අරුම පුදුම නගරය හදන්නේ “ප්‍රේරී ඩෝග්” (Prairie dog) කියන හරිම හුරතල් පුංචි සත්තු ජාතියක්. මුළු සත්ව ලෝකයේම ඉන්න දක්ෂතම ඉංජිනේරුවන් අතරින් මුල් තැනක් මේ සතුන්ට හිමි වෙනවා!
මේ හැම භූගත නගරයකම ප්‍රධාන දොරටුව කන්දක් වගේ හදලා තියෙන්නේ වැස්සට වතුර පිරෙන එක වළක්වන්න සහ සතුරන් එනවාද කියලා ඈතටම බලන්නයි. පොළොව යටට අඩි 10ක් විතර ගැඹුරට සහ අඩි 50ක් විතර දිගට විහිදෙන මේ උමං මාර්ග එකිනෙකට සම්බන්ධ වෙලා තියෙනවා. පවුල් කණ්ඩායම් (coteries) ගණනාවක් එකතු වෙලා මේ අතිවිශාල උමං ජාලය හදාගන්න නිසා, සතුරෙක් ආවත් ලේසියෙන්ම හැංගෙන්න මේ සතුන්ට පුළුවන්.
හැබැයි පුදුමහිතෙනම කාරණාව මේකයි. මේ නගර ඇතුළේ මිනිස්සුන්ගේ ගෙවල්වල වගේම වෙන වෙනම කාමර වෙන් කරලා තියෙනවා! පැටවුන්ට ඉන්න වෙනම කාමර (nurseries), නිදාගන්න වෙනම කාමර, කෑම ගබඩා කරන කාමර වගේම, පිරිසිදුකම ආරක්ෂා කරගන්න වෙනමම වැසිකිළි (latrines) පවා මේ ගුහා ඇතුළේ තියෙනවා. ඒ වගේම සතුරන්ගේ සද්දේ අහගෙන ඉන්න විශේෂ “listening posts” පවා දොරටුව ළඟ තියෙනවා. දහස් ගණනක් එකට ජීවත් වෙන මේ නගර ඇතුළේ, අනතුරක් ආවම එකිනෙකාට දැනුම් දෙමින්, එකමුතුව ජීවත් වෙන්න මේ සතුන් හරිම දක්ෂයි.
උපුටා ගැනීම : Beyond Imagination – නොසිතූ ලොවක්


